කලාව අපට සත්‍යය වටහා ගැනීමට මඟ පෙන්වන බොරුවකි. 


නරක චිත්‍ර ශිල්පීන් කොපි කරති. හොඳ චිත්‍ර ශිල්පීන් සොරකම් කරති. 

මම ද්‍රව්‍ය දකින අයුරින් නොව ඒ ගැන සිතන අයුරින් ඒවා අඳිමි. 


මට රෆායෙල් මෙන් සිතුවම් ඇඳීමට වසර හතරක් ගතවිය. නමුත් ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක්ම ගතවිය. 


සිතුවම් ඇඳීම අන්ධයෙකුගේ වෘත්තීයයි. ඔහු අඳින්නේ ඔහු දකින දෙය නොව ඔහුට හැඟෙන දෙයයි. ඔහු දුටු දෙය කුමක්දැයි ඔහුටම පවසන දෙයයි.
ඇතැම් චිත්‍ර ශිල්පීහු ඉර කහ පැහැති ලපයක්
බවට පත් කරති. අනෙක් අය කහ පැහැති ලපයක් ඉර බවට පත් කරති.

වර්ෂ 1881 ඔක්තෝබර් 25 වනදින ස්පාඤ්ඤයේ උපන් පැබ්ලෝ පිකාසෝ උත්පත්තියෙන්ම චිත්‍ර කලාව හා සබැඳි දිවියක් ලද්දෙකි. ඔහුගේ පියා සිත්තරෙක් වූ අතර චිත්‍ර කලා ගුරුවරයෙකු ලෙස ද සේවය කලේය. පිකාසෝ කුඩා කල පටන්ම චිත්‍ර ඇඳීමට මහත් ඇල්මක් සහ දක්ෂ කමක් දැක්වීය. වයස අවුරුදු හතේ දී ඔහු සිය පියාගෙන් චිත්‍ර ඇඳීම පිළිබඳව මුල් පාඩම් ඉගෙන ගත්තේය. පිකාසෝගේ පියා සාම්ප්‍රදායික චිත්‍ර ශිල්පියෙක් වූ අතර උසස් මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් වීමට නම් ශාස්ත්‍රාලීය පුහුණුව, සජීවී මිනිස් රූප සහ ද්‍රව්‍ය ඇඳීමේ ක්‍රමානුකූල පුහුණුවක් ලැබිය යුතු බව විශ්වාස කල අයෙකු විය. දිනක් පියා විසින් අඩක් නිම කරන ලද පරෙවියෙකුගේ චිත්‍රයක් කුඩා පිකාසෝ විසින් නිම කරන ලදී. තම කුඩා පූත්‍රයා තමාවද අභිබවා ගොස් ඇති බව පිකාසෝගේ පියා තේරුම් ගත්තේය. වර්ෂ 1895 දී පිකාසෝගේ සත් හැවිරිදි බාල නැගණිය ඩිප්තීරියාවෙන් මියගියාය. මෙය කුඩා පිකාසෝ ගේ හද මහත් සේ සසල කල සිදුවීමක් විය.
ඉන්පසු ඔවුහු බාසිලෝනා නගරයට පැමිණියහ. පිකාසෝගේ පියා සිය පුත්‍රයාව එහි ලලිත කලා විද්‍යායතනයට යැවීමට කටයුතු සැලසුම් කලේය. එහි උසස් පාඨමාලාව සඳහා ඇතුලත් වීමට සමත් වියයුතු විභාගය සඳහා සාමාන්‍ය සිසුවෙකුට මාසයක පමණ කාලයක් ගතවුවද පිකාසෝට ඒ සඳහා ගතවුයේ සතියක පමණ කාලයකි. වයස අවුරුදු 13 ක් වන පිකාසෝ එම පාසලට ඇතුළත් විය. පිකාසෝ ගේ පියා නිවස අසල කුඩා කාමරයක් කුළියට ගෙන දී පිකාසෝ ව එහි නතර කරවා තනිවම සිය කටයුතු කරගෙන යාමට ඉඩ සලසා දුන්නේය. නමුත් ඔහු සිය පුත්‍රයාගේ කලා කටයුතු වල වර්ධනය ගැන අවධානයකින් පසුවිය.පිකාසෝ වයස අවුරුදු 17 දී එනම් 1897 දී මැඩ්‍රිඩ්ස් හි ශාන්ත ෆ’නැන්ඩො රාජකීය විද්‍යාලයට ඇතුළත් විය. එය එරට තිබුණු ප්‍රධානතම කලා අධ්‍යාපන ආයතනය විය. නමුත් පිකාසෝ සාම්ප්‍රදායික ඉගෙනුම් රටාවට එතරම් කැමැත්තක් නොදැක්වීය.

මැඩ්‍රිඩ් වල අධ්‍යාපනයෙන් පසුව පිකාසෝ 1900 දී පැරිසියට පැමිණියේය. එහිදී ඔහුට මාධ්‍යවේදියෙකු මෙන්ම කවියෙකුද වූ මැක්ස් ජේකොබ් ව මුණගැසුනි. ඔහු පිකාසෝට භාෂාව මෙන්ම සාහිත්‍ය ද ඉගැන්වීය. ඔවුහු එකම කාමරයක නවාතැන් ගත්හ. ඔවුහු ඉතා දැඩි මුදල් අසීරුතා මැද දිවි ගෙවූහ. ජේකොබ් රාත්‍රීකාලයේ නිදා ගත් අතර දිවා කල වැඩ කලේය. පිකාසෝ දිවා කල නිදා ගත් අතර රාත්‍රී කාලයේ සිය චිත්‍ර ඇඳීම් කරගෙන ගියේය. ඇතැම් විට සීත කාල වලදී සිය කුඩා කුටිය උණුසුම් කර ගැනීමට පිකාසෝ තමා විසින්ම ඇඳි සිතුවම් පවා ගිණි ලෑවේය.
පළමුවන සහ දෙවන ලෝක යුද්ධය මෙන්ම ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ද පිකාසෝ ගේ කාලයේ ඇති වුවද ඔහු කිසිම රටක් වෙනුවෙන් යුධ වැදීමට නොගියේය. මෙනිසාම ඇතැම් විටෙක ඔහු බියගුල්ලෙකු ලෙස හැඳින්වීය. ඔහුගේ යුධ විරෝධී ආකල්ප මෙන්ම ෆැසිස්ට් වාදයට ඇති පිළිකුලද ඔහුගේ කලා කෘති වලින් එළි දැක්වීය. 1944 දී පිකාසෝ ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයට බැඳුනේය. නමුත් ඔහු විසින් ඇඳි ස්ටාලින්ගේ සිතුවමක් අරභයා පක්ෂය තුළ වූ විවේචනය නිසා ඔහුගේ කොමියුනිස්ට් දේශපාලන අදහස් තරමක් හීන විය. නමුත් ඔහුගේ ජීවිත කාලය පුරාවටම එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කලේය. කොරියානු යුද්ධය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමෙරිකාව සිදුකල මැදිහත්වීම පිකාසෝ තරයේ හෙළා දැක්කේය. ඔහු එය සිය “කොරියාවේ සමූල ඝාතනය” (Massacre in Korea) නම් සිතුවමෙන් විදහා දැක්වීය. 1962 දී ඔහුට ජාත්‍යන්තර ලෙනින් සාම ත්‍යාගය ලැබුනේය.
පිකාසෝ ගේ චිත්‍ර කලා දිවිය මූලික වශයෙන් යුග කිහිපයකට බෙදිය හැකිය. මෙයින් 1901-1904 දක්වා යුගය හැඳින්වෙන්නේ “නිල් යුගය” නමිනි. මෙකල ඔහු විසින් ඇඳි සිතුවම් වල බහුලව දක්නට ලැබුනේ නිල් පැහැයයි. 1904-1906 කාලය ඔහුගේ “රෝස යුගය ” නමින් හැඳින්වෙයි. මෘදු උණුසුම් වර්ණ සහ රෝස පැහැයේ විවිධ යෙදීම් ඔහුගේ සිතුවම් වල බහුල විය. ඉන්පසු පිකාසෝ ගේ අවධානය යොමුවන්නේ අප්‍රිකානු චිත්‍ර හා මූර්ති කලාව වෙතය. ඉන් ඔහු ලබන ආභාෂය පසු කලෙක ඔහු විසින් නිර්මාණය කරනලද “ඝණක වාදය” ( Cubism) ට අඩිතාලම දමනු ලැබීය. “ජොර්ජස් බ්‍රැකේ” නම් චිත්‍ර ශිල්පියා සමග එක්ව පිකාසෝ විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍ර සම්ප්‍රදාය සෘජු රේඛා සහ ජ්‍යාමිතික හැඩතල බහුලව යොදා ගත්තකි. පිකාසෝ ගේ අද්විතීය නිර්මාණයක් වන “ගුවර්ණිකා” නම් සිතුවම මෙම සම්ප්‍රදායේ චිත්‍රයකි.
ලෝ පුරා කලා රසිකයන්ගේත් විචාරකයන්ගේත් පැසසුමට ලක්වුනු බොහෝ සිතුවම් පිකාසෝ අතින් නිමවුනද ඒ සියල්ල අතර වඩාත්ම ඇගයීමට ලක්වන සිතුවම මෙම “ගුවර්ණිකා” නම් සිතුවමයි. උතුරු ස්පාඥ්ඥයේ ඉපැරණි නුවරක් වූ ගුවර්ණිකා කේන්ද්‍ර කරගෙන ස්පාඤ්ඤ සිවිල් යුධ සමයේදී නව මාසයක්ම දරුණු යුද්ධයක් විය. එහි සිදුවුන විනාශය පිකාසෝ විසින් මෙම සිතුවමෙන් එළිදැක්වීය.
ලොව පුරා චිත්‍ර ශිල්පීන් දහස් ගණනක් බිහිවුනද මිහි මත සදාකල් පවත්නා වූ නිර්මාණයන් ඉතිරිකර යන්නේ ඉන් අතලොස්සකි. සිය ජීවිතයම දියකර කලාව තුළ තමන්ගේම ආත්ම ගවේෂණයේ යෙදුනු මේ ශ්‍රේෂ්ඨ සිත්තරා 1973 අප්‍රේල් 8 වන දින මෙලොවින් සමුගත්තේය.

Facebook Comments Box