fbpx
4.1 C
New Zealand
Thursday, October 21, 2021

දැනුම සහ අත්දැකීම් තිබෙනවා නම්, රාජ්‍ය සේවයේ ආත්ම ශක්තියක් ඇතිව තීන්දු තීරණ ලබාගැනීම අභියෝගයක් නොවෙයි – නීතීඥ රෝෂීණී දිසානායක

Must read

ශ්‍රීLankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

“දැනුම සහ අත්දැකීම් තිබෙනවා නම්,  රාජ්‍ය සේවයේ ආත්ම ශක්තියක් ඇතිව තීන්දු තීරණ ලබාගැනීම අභියෝගයක් නොවෙයි”   නීතීඥ රෝෂීණී දිසානායක      

                                                          නාගරික කොමසාරිස්  – කොළඹ මහ නගර සභාව

                                      

ලක්දිව ප්‍රථම මහා නගර සභාව ලෙසත්, විධිමත්ව ස්ථාපිත ලක්දිව ප්‍රථම පළාත් පාලන ආයතනය ලෙසත්, කොළඹ මහා නගර සභාව නම් කළ හැකිය. මෙය අසියාවේ පැරණිතම නගරසභාව වන අතර, කොළඹ නගර සභාව දෙවැනි වන්නේ පාර්ලිමේන්තුවට පමණක් යන්න විචාරක මතයයි.  නගර සභා ආරම්භයේ සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු අණ පණත් තුළින් පාලනය වුණු නගර සභාව 1865 අංක 17 දරණ ආඥාපනතින් පළමු නගර සභාවට නාගරික මන්ත්‍රීවරු පත්කර ඇති අතර, එහි මංගල රැස්වීම  1866 ජනවාරි 16 දින පවත්වා ඇත. එලෙස ස්ථාපිත වු කොළඹ මහනගර සභාවට නිශ්චිත ස්ථානයක් නොවු අතර1873 කොළඹ කෙලින්වීදියේ ගෑස්පහ හන්දිය සමීපයේ ඇති නගරශාලාව තුළ ( මේ වන විට හදුන්වන්නේපැරණි නගරශාලාව යන නමිනි) ස්ථාපිත කෙරි ඇත. මීට වසර 152 කට පෙර එවකට යටත් විජිත ආණ්ඩුකාරවරයා විසින් කොළඹ නගරය පළාත්පාලන ආයතනයක් මගින්  පාලනය කිරීමට තීරණය කර ඇත්තේ නගරයේ පවිත්‍රතාවය, ජලසම්පාදනය, සෞඛ්‍ය  හා සංරක්ෂණය ආදී අවශ්‍යතා ක්‍රමවත්ව මෙහෙයවීම උදෙසා ය. ගෑස්පහ හන්දියේ පැවැති නගර ශාලා ගොඩනැගිල්ල තුළ පවත්වාගෙන ගිය නගරසභාව වසර 55 කට පසුව එනම්, 1928 වර්ෂයේදී වික්ටෝරියා උද්‍යානය අසල බිම් කඩෙහි  මේ වන විට කොළඹ මහ නගරසභාව පිහිටා ඇති ගොඩනැගිල්ල භාවිතයට ගෙන ඇත. එවකට කොළඹ නගරයේ ගෘහමූලිකයන් අතර කොළඹ කච්චේරියේදී පවත්වන ලද ඡන්ද ක්‍රමයකින් නාගරික මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගෙන ඇත.  ශ්‍රී ලංකාවේ දේශපාලනයට සෘජුවම සම්බන්ධවූ දේශපාලන පාතාකයින්ගේ සුහුඹුල් අවස්ථාව බිහිව ඇත්තේ මෙම  කොළඹ මහ නගර සභා ඡන්දයෙනි. ජේ.ආර්.ජයවර්ධන, එස්.ඩබ්ලිව්.ආර්.ඩි බණ්ඩාරනායක, ඇන්.ඇම් පෙරේරා ආදීන්ගේ දේශපාලන ගමනේ ආරම්භය වන්නේ එම ස්ථානයයි. යටත් විජිත ආණ්ඩුව යටතේ කොළඹ නගරසභාවේ ප්‍රථම සභාපති තනතුර එවකට කොළඹ දිසාපති විසින් නම් කරන ලද අතර, ඒ අනුව ප්‍රථම සභාපති ලෙස  සී. පී. ලෙයාඩ් මහතා පත්කර ඇත. ලේකම් ලෙස සැම්වෙල් ග්‍රෙනියර් මහතා පත්කරගෙන ඇත. කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙකු පත්කර ඇත්තේ 1939 දීය. එසේ පත්වූ මුල්ම ලාංකික නගරාධිපති වූයේ දොස්තර රත්න ජෝති සරවනමුත්තු මහතාය. 

ඒ අනුව වසර 152 කට ප්‍රථම බිහිවූ මෙම පරිපාලන ආයතන සීමාව තුළට අද වන විට ජනගහණය ලක්ෂ 6කට ආසන්නවත්, භූමිප්‍රමාණයෙන් කිලෝමීටර 37 පමණ ඇත. මුල් අවස්ථාවේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යටතේ තිබුණු මෙම පරිපාලන ව්‍යුහය1972,1978, ව්‍යාවස්ථාවන්ගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 13 වන සංශෝධනයට අදාළව පළාත් සභාක්‍රමය යටතේ ව්‍යුහාත්මක වෙනස්කම් වලට භාජනය වී ඇත. නගර සභාවේ ප්‍රධාන ප්‍රධන විධායකය වන්නෙ ඡන්දයෙන් පත්වන නගරාධිපති තනතුරයි. ඡන්දයකින් පසුව පත්වන මහනගරසභා මන්ත්‍රීන්ගෙන් සැදුම්ලත් දේශපාලන අධිකාරිය නියෝජනය කරන්නේ මෙම නගරාධිපති ප්‍රමුඛ මන්ත්‍රී මණ්ඩලය විසිනි.  

මහනගරසභා ආඥා පනතින් නාගරික කොමසාරිස් යනුවෙන් තනතුරක් නිර්මාණය  කළ අතර, එම පනත යටතේ නාගරික කොමසාරිස්ගේ කාර්යය භාරය සඳහා වෙනම ප්‍රතිපාදන සකස්කර ඇත. ඒ අනුව නාගරික කොමසාරිස් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු පත්කෙරේ. එම නාගරික කොමසාරිස් යටතේ රාජ්‍ය නිලධාරි යාන්ත්‍රණයක් තිබේන අතර, නගර සභාවේ සේවයට අනුයුක්ත කර ඇති ස්ථිර රාජ්‍ය සේවකියන්ගේ ප්‍රධානියා වන්නේද නාගරික කොමසාරිස් ය.   ඒ අනුව මහනගර සභාවේ දෙවන විධායක නිලධාරියා සහ ගණන් දීමේ නිලධාරියා වන්නේ නාගරික කොමසාරිස් වේ.

මේ  වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පරිපාලනමය බල ප්‍රදේශයක ලක්ෂ 6 කට අධික ස්ථිර පදිංචිකරුවන්ටත්, ලක්ෂ 6 කට අධික කොළඹ නගර සීමාව තුළ උදේ සිට සවස දක්වා සංක්‍රමණික ජනගහනයේත් සියලුම පරිපාලනයමය කටයුතු භාරව සිටින්නේ නාගරික කොමසාරිස්වරිය ප්‍රමඛ ඇය යටතේ සිටින 6000 ක පමණ  වූ සේවක පිරිසෙනි.  නාගරික කොමසාරිස්වරියගේ කාර්යය භාරය නිහඩ සේවයකි. 2003 විවෘත පරිපාලනසේවා විභාගයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයට පිවිසි ඇය, පරිපාලන සේවය තුළ වසර 20 ක අත්දැකීම් සහිත ය. එමෙන්ම, විද්‍යාවේදී උපාධිය (BSc) තම ප්‍රථම උපාධිය වුණු ඇය  පශ්චාත් උපාධි 04ක් ලබා ඇත. ව්යාපෘති කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය (MPM), නීතිවේදි උපාධිය (LLB)  නීතිවේදී පශ්චාත් උපාධිය (LLM)   සහ  ජාත්‍යන්තර සබදතා සහ සහ  දේශපාලනය පිළිබඳ පශ්චාත් වූ උපාධි පාඨමාලාව ද ඇය සම්පූර්ණ කර ඇත මේ වන විට ජපන් රජය මගින් පිරිනමන ලද තරගකාරී  ශිෂ්‍යත්ව ප්‍රදානයක්  මත නීතිය සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය හදාරමින් සිටියි. 2020 වර්ෂයේ දී  දකුණු ආසියානු  කලාපයෙන් තේරී පත් වුණු එකම ආචාර්ය උපාධි ශිෂ්‍යත්වලාභිනිය ඇයයි. එමෙන්ම, 2014 වර්ෂයේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයෙන්  දිවයිනෙන්ම ප්‍රථමයා වෙමින්  රාජ්‍ය සේවයේ නිරතවන අතරතුර එම විභාගය සඳහා පෙනී සිට ප්‍රථම පංතියේ ගෞරව සමාර්ථයක් ලබාගෙන සමත්ව සිටින ඕ, ශ්‍රී ලංකා පරිපාලන සේවය තුළ දිදුළන තාරකාවක් කීවොත් නිවැරදි වේ. ඇය පරිපාලන ක්ෂේත්‍රයට තම අධ්‍යාපනික දැනුම මුසුකර කොළඹ මහනගර සභාව නවමු මාවතකට ගෙන එමින් සිටියි. කොළඹ මහ නගර සභාවත්, මහනගර සභාවේ කාර්යය භාරයන් සම්බන්ධයෙන් අද දින අප සාකච්ඡාවට පිවිසෙන්නී වර්තමාන කොළඹ නාගරික කොමසාරිස් නීතීඥ රෝෂිණී දිසානායක මහත්මියයි. 

  • කොළඹ නගරසභාව යටතේ සිදුකරන කාර්යයන් සංෂිප්තව පැවසුවහොත් කේසේද?

සංඛ්‍යාත්මක වශයෙන් කොළඹ ජනගහණය ලක්ෂ 6-7 ක් වූවාට, අපගේ සේවය ලබා දෙන්නෙ එම පිරිසට පමණක් නොවෙයි. කොළඹට විශාල සංක්‍රමණික පිරිසක් පැමිණෙනවා, පාසල් සිසුන් දිනකට 45,000 පමණ, රාජකාරියට පැමිණෙන ජනතාව, අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවා සපයන්නන් සහ වාහන, කොළඹ නගරයට ඇතුළු වෙනනවා. ඒ වගේම තාවකාලික පදිංචිකරුවනුත් මේ අතර වෙනවා. ඒ නිසා මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පිරිසට වඩා අපගේ සේවය ලබා දෙන පිරිස වැඩියි. අපගේ ප්‍රධාන සේවාවක් වන්නේ කැළිකසල ඉවත්කිරීම. ඒ සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන වගේම ස්ථිර පදිංචිකරුවන්ට අප මූළික වශයෙන් සේවාවන් සපයනවා. නමුත් අපගේ කාර්යය භාරය තුළ කැළිකසල ඉවත්කිරීම කියන්නේ එක් දෙයක් පමණයි. අප නගර සභාව තුළ පුළුල් කාර්යයන් කොටසක් සිදු වෙනවා. ඒ සඳහා අපගේ මහනගර සභාව තුළ දෙපාර්තමේන්තු 16 ක් ස්ථාපිත කර තිබෙනවා. මේ දිනවල සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරන නිසා මම පළමුවෙන්ම, අපගේ සෞඛ්‍යයට අදාළ දෙපාර්තමේන්තු 04 සහ එහි කාර්යයන් හදුන්වන්නම්. ප්‍රධාන වශයෙන්ම ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදු වන්නේ මාතෘ සායන පැවැත්වීම, දරුවන්ට එන්නත්කරණය, මේ දිනවල නම් Covid 19 වසංගත තත්ත්වය හේතුවෙන් එන්නත්කරණය  හා  PCR පරික්ෂණ පැවැත්වීම සිදු කිරීමයි. මේ සඳහා වෛද්‍යවරු ඇතුළු කාර්යය මණ්ඩලයක් මා යටතේ සේවය කරනවා. ඊට අමතරව නගරය තුළ ඩෙංගු මර්දනය, වෙලඳ බලපත්‍ර අලුත්කිරීම, ආපනශාලා පරික්ෂණය කිරීම, ආදිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින්ම සිදු කරනවා.  නගරයේ ඇති කෘමීන් හා මීයන් හා ඩෙංගු මර්දනය කිරීමේ කටයුතු සහ  කොළඹ නගර සභාව යටතේ පාලනය වන බොරැල්ල මාදම්පිටිය, ජාවත්ත හා කිරුළපන ආදි ප්‍රදේශයන්හි පවතින සුසානභූමී 4 ත් ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වනවා. 

මීලගට රෝග නිවාරණ දෙපාර්තමේන්තුව යටතේ බටහිර වෛද්‍යවරු 33 දෙනෙකු සේවයේ යෙදෙනවා. එමගින් බෝ නොවන රෝගවලින් පීඩාවිදින ලියාපදිංචි නාගරික වැසියන් 20000 කට පමණ අප සේවා සපයනවා. ඔවුන් දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ කොලෙස්ට්‍රෝල් යන රෝගී තත්වයෙන් පෙලෙන අය. ඔවුන්ගේ මාසික සායනික බෙහෙත් අප මහනගර සභා අරමුදලින් නොමිලේ  ලබාදෙන අතර, මොවුන්ව කොළඹ මහ රෝහලින් අප වෙත යොමු කිරීමක් සිදු වෙනවා. දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් සිද්ධි,යුනානි ඇතුළු දේශිය වෛද්‍ය ක්‍රමතුළින් නාගරික ජනයාට අවශ්‍ය දේශීය වෛද්‍ය ප්‍රතිකාර සිදු කරනවා. මෙම වසංගත තත්ත්වයෙදී අප මහ නගර සභාව විසින් ප්‍රතිෂේධ පානයකට වට්ටෝරුවක් සකස්කරන ලද අතර, එය අප නොමිලෙ ලබාදීම සිදු කළා. මේ වන විටත් මිනිසුන්ව මාර්ගගත ක්‍රමය ඔස්සේ දැනුවත් කිරීමේ කටයුතු සිදු කරනවා. කොවිඩ් 3 වන රැල්ල තුළ නිරෝධාන ඇදිරිනීතිය සහිතව ගෙවන මෙම නාගරික ජනයා වෛද්‍ය මධ්‍යස්ථාන කරා ඒමට බියක් දක්වන හෙයින්, අප විසින් ජංගම වෛද්‍ය සේවාවක් මේ වන විට අරඹලා තිබෙනවා. එයට දේශීය වගේ ම බටහිර වෛද්‍යවරුන් දෙගොල්ලන්ම එකවිට සහභාගී වනවා. මේ නිසා කොළඹ ජනයාට තමන් කැමති වෛද්‍යක්‍රමයකින් තම නිවස අසලටම පැමිණෙන වෛද්‍ය වරුන් හරහා ප්‍රතිකාර හා උපදෙස් ලබාගැනීමට අප විසින් අවශ්‍ය කටයුතු සිදු කර තිබෙවා. ඒ සදහා හොද ප්‍රතිචාරයකුත් මේ වන විට ලැබිලා තිබෙනවා. 

පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදු කරන්නේ සුනඛයින් එන්නත්කරණය, නගර සභා පරිපාලය යටතේ ඇති වෙළදපළවල් අධීක්ෂණය සහ බලපත්‍ර නිතුක්කිරීමේ කටයුතුයි. එමෙන්ම නගර සභාව සතු තවත් ඉතාම වැදගත් දෙපාර්තමේන්තුවක් වන්නේ මහජන ආධාර දෙපාර්තමේන්තුවයි. ඒක තිබෙන්නෙ මා යටතේ කටයුතු සිදු කරන පුණ්‍ය කටයුතු කොමසාරිස් යටතේයි. නගරයේ පදිංචි අඩු අදායම් ලාභීන් වෙත සුභසාධන කටයුතු සිදු කරීම තමයි එතැන සිදු වන්නේ. මේ වන විට එම ප්‍රතිලාභය ලබන පුද්ලයින් 13,000 ක් පමණ සිටිනවා. ඊට අමතරව අවමංල්‍යාධාර ලබාදීම, දිළිදු දරුවන්ට අධ්‍යාපන උපකරණ ලබාදීම, අඩු අදායම් ලාභීන්ගේ පවුල්වලට මහන මැෂින් ලබාදීම වැනි කටයුතු සිදු වන්නෙත් එමගින්. ඊට අමතරව පාරවල් නඩත්තු කිරීම, වීදි ලාම්පු නඩත්තු කිරීම, ආදි කටයුතු වෙනුවෙන් ඉංජිනේරුසේවා දෙපාර්තමේන්තුව  තිබෙනවා. කොළඹ නගරසභාව සතු විශාලම දෙපාර්තමේන්තුවත් මෙයයි. කොළඹ මහනගර සභාව සතුව කිලෝමීටර 318 පමණ ඇති මහමාර්ග නඩත්තු කටයුතු මේ මගින් සිදු වෙනවා. ඒ වගේ කොළඹට පැමිණෙන වාහන, සංක්‍රමණික පිරිස නගරය තුළ ඉතිරි කර යන්නෙ කුමක්හෝ අප ද්‍රව්‍යන්. සෑම දිනකම ඒවා විධිමත් පරිදි අප විසින් බැහැර කිරිම සිදු කළ යුතුයි.කොළඹ මලාප්‍රවාහණ පද්ධතිය ගත්තොත් ඒක වසර 150 ක් පමණ පරණයි. එම පද්ධතිය යන්නේ කොළඹ පොළව යටින්. එහි අලුත්වැඩියාවන් වගේ ම වැඩිදියුණු කිරීම් සියල්ල අප සිදුකරන නමුත් ආසියානු සංවර්ධන බැංකුව හා ලෝකබැංකුව යටතේ ජාතික ව්‍යාපෘති 02ක් මේ වන විට සිදු කරන අතර, එය මධ්‍යම රජයේ මැදිහත්වීමෙන් සිදු කරනු ලබනවා. නාගරික ලේකම් දෙපාර්තමේන්තුව මගින් සිදු කරන්නේ මහසභා පැවැත්වීමට කටයුතු සිදුකිරීම, සංදේශ නිකුත් කිරීම සහ භාරදීම, මන්ත්‍රිවරුන්ගේ දීමනා සැකසීම, මන්ත්‍රීන්  නියාමනය කිරීම වැනි කාර්යයන්. මීලගට ගිනිනිවන දෙපාර්තමේන්තුව ගත්විට, එය හරි ජනප්‍රියයි. එහි සේවාව කොළඹට පමණක් නොව කොළඹ තදාසන්න ප්‍රදේශවලටත් ලබා දෙනවා. භාණ්ඩාගාරික දෙපාර්තමේන්තුව තමයි අපගේ අදායම් එකතු කිරීම සහ වියදම් කිරීම යන දෙකම සිදු කරන්නේ. මීට අමතරව අවශේෂ දෙපාර්තමේන්තු ගණනාවක් තිබුණට, මා ඉදිරිපත් කළේ ප්‍රධානම කාර්යයන් ඉටුකරන දෙපාර්තමේන්තු යි. 

  • මෙම ආයතනය ඉහතකාර්යයන් සදහා පරිපාලනවියදම් සොයා ගන්නෙ කෙසේද?

මේ සඳහා මහනගර සභා අරමුදල පවතිනවා. එය සැකසෙන්නෙ මහජනයාගේ බදු අදායම් සහ අප සභාව සතුව පවතින දේපළ වල බදු කුළියෙන්.  ඉහත කාර්යයන් සිදු කිරීම පිණිස අප වෙත දීප ව්‍යාප්තසේවා මගින් අනුයුක්ත කර සිටින රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන වැටුප් සහ දීමනා මධ්‍යම රජයෙන් ලබා දෙනවා. අප සාමාන්‍යෙයන් කරන්නෙ මහ සභා අරමුදලින් එම වැටුප් සහ දීමනා ගෙවලා පසුව මහභාණ්ඩාගාරයෙන් ප්‍රතිපුර්ණය කර ගැනීමයි. ඒ අනුව රාජ්‍ය සේවකයින්ට ලබා දෙන වැටුප් සහ සභිකයින්ට ලබාදෙන සභික දීමනා වල කටයුතු මෙමගින් සිදු කරනවා. 

  • නමුත් වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ නගර වැසියාගේ අදායම් තත්ත්වය පහත වැටුණා. එම නිසා නගරසභා අරමුදලට බදු අදායම් අවම වුණාද? මිනිසුන්ට ඔබලා විසින් ලබාදුන් සහන මොනවාද? 

මුළු රටටම සිදු වුණු ආර්ථික හානිය ඒ විදියටම නගරසභාවටත් බලපෑවා. නමුත් මහජන බදුමුදල් ගෙවීමට සභාව යම් සහන ලබාදීමකුත් සිදු කළා. ඒ අයට සහන කාලයක් ලබා දුන්නා. වසංගත තත්ත්වය හේතුවෙන් අපට අනපේක්ෂිත වියදම් පැමිණියා. එහි ප්‍රධානම දේ තමයි විෂබීජ හරණය සිදුකිරීම සහ නිසි පරිදි සෞඛ්‍ය සුරක්ෂිතතාවය පවත්වා ගනිමින් නගරවැසියා ආරක්ෂා කිරීමට සිදුවීම. මෙය මීට පෙර නරගසභා අරමුදලින් වැය වුණු මුදලක් නොවෙයි. නමුත් අප ඒ දේ අදටත් සිදු කරනවා. නගරය කොවිඩ් වලින් බේරාගන්නට නගර සභාව අමතර වැයක් තවමත් දරනවා. මේ නිසා 2020 දි මිලියන 600 ක පමණ ණය මුදලක් පවා අප ලබා ගන්නට සිදු වුණා. මේ ව න විට අප විසින් එම ණය මුදල පියවා අවසන්. 

  • නගර සභාවට කොවිඩ් බලපෑම කෙසේද?ආයතනය සෑම දිනකම විවෘතව තිබෙනවාද?

කොළඹ මහනගර සීමාව කියන්නේ දැඩි ක්‍රියාශීලි නගරයක්. එම නිසා නගර සභාව වහන්න බෑ. අප කාර්යාලය මගින් ඉටු කරන අත්‍යාවශ්‍ය සේවාවන් සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු වෙනුවෙන් අප පැය 24 පුරාම ක්‍රියාත්මක වෙනවා. 

  • ඉහත පැවසූ විශාල දෙපාර්තමේන්තු ප්‍රමාණයත්, එහි සංකීර්ණ කාර්යයන් අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, විශාල කාර්යමණ්ඩලයක් සමග කටයුතු සිදු කරන්නට වීම සහ විශාල ෆයිල් ගණනක කටයුතු සිදු කිරීමේදී ඔබට පැමිණි අභියෝග මොනවාද?

මම මේ තනතුරටට පත්වුණේ 2020.01.14 දිනයි.  මම පත්වෙලා පැමිණි විගසම වගේග තමයි කොවිඩ් වසංගත තතත්වය පැමිණියේ. ඒ මොහොතේ මේ  වසංගතය සම්බන්ධයෙන් කිසිම අත්දැකීමක් නොමැතිව සිටි අවස්ථාවක් එය. නමුත් රාජ්‍ය නිලධාරීන් විධියට අපට අනුවර්තනය වීමේ හැකියාව පැවතිය යුතුයි. මටත් පරිපාලන සේවයේ අවුරුදු 20ක තිබුණු පරිචය තුළින් එම අනුවර්තනය වීමේ හැකියාව තිබුණා. දේශපාලන අධිකාරිය විසින් ගනු ලබන තීන්දු තීරණ  අපගේ කාර්යය මණ්ඩලය විසින් මෙහෙවීම තුළින් සිදු කරනු ලැබුවා.  දිනපතා මා විසින් ම අධීක්ෂණය කළ යුතු ලිපිගොනු 300 ක් පමණ ඒ වන විට මගේ කාර්යාල මේසය මතට පැමිණියා. අපි මුලින්ම සිදු කළේ එම ලිපිගොනු එකින් එක අධ්‍යනය කිරීමයි. අප දුටු දෙයක් තමයි සමහර නිලධාරීන්ට එම ගොනුවල තීරණය ගන්න හැකියාව පවතින බව. ඒ අනුව අප විසින් ඔවුන්ට රාජකාරී ලැයිස්තු ලබාදී, පරිපාලන බලය බෙදන්නට හැකි සෑම ඉසව්වකටම එය ලබාදීම සිදු කළා. එයින් රාජකාරී ගොනු තවත් කාර්යයක්ෂම වුණා. මීට අමතරව, කොව්ඩ් හේතුවෙන් මාර්ග ගත ක්‍රමයට ගොනුවල කටයුතු සිදු කිරීම ආරම්භ කිරීමත්, මා ඇතුළු මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් 123 දෙනෙකුගේ ඩිජිටල් අත්සන තුළින් තීන්දු තීරණ ලබාගෙන ලිපි අත්සන් කිරීම මගින් 2021.01.01  දින සිට අපගේ කටයුතු තවත් පහසු කළා.  නගරසභාවේ සේවකයින් 3620 ක ගේ අතිකාල දීමනා ලබා ගැනීමට ඔවුන් සෑම දිනකම මුදල් කවුන්ටරයට පැමිණෙන්නට ඕන. අප සිදු කළේ එය ඔවුන්ගේ වැටුපට එක්කළ එක.එයින් ඔවුන්ට පහසුවක් ඇති වුණා. මේවා මහලොකු දේවල් නෙවී, පවතින නීතිරීති තුළින් අපට සිදු කළ හැකි සරල දේවල්. ඩිජිටල් අත්සන යොදන්නට අප විසින් ලබා ගත් එම තීන්දුව හේතුවෙන් දිනකට සංසරණය වුණු ලිපිගොනු 5000-6000 අඩු වුණා. මෙතනදි 2016 ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ තිබෙන සිදු කළ හැකි දේවල් තමයි සිදු කළේ. 

මීලගට  නගර සභාව තුළ පවතින තවත් අභියෝගාත්මක කාරණයක් තමයි, අපගේ ගැනුම්කරුවන්, සේවා සපයන්නන්, සහ සේවා දායකයින්ට ලබා දෙන චෙක්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනසකට ලක්කිරීම. මෙහිදී අප මහජන බැංකුව සමග සාකච්ඡා කර ඒ සඳහා යම් විධිමත් ක්‍රමයකට අපගේ ලියාපදිංචි ගැනුම්කරුවන්ට ක්‍රමවේදයක් සකස්කළා. ඒ අනුව රුපියල් 10,000 ට වැඩි සෑම ගෙවීමක්ම මේ වන විට සිදු කරන්නේ චෙක්පත් හරහා බැංකුවකින් බැංකුවකට. ඒවට මුදල් වැය වුණේ නැහැ. එයින් නගර සභාවට පැමිණෙන විශාල රථවාහන සංඛ්‍යාවක් වගේම පුද්ගලයින් පිරිසක් අඩු වුණා.  මේ දේවල් නිසා covid වසංගතය යටතේ අපගේ සේවාලාභියෝ විශාල වශයෙන් තෘප්තිමත් වෙලා තිබෙනවා. 

නමුත්, අභියෝග සම්බන්ධයෙන් කතා කිරීමේදී රාජ්‍ය නිලධාරියෙකුට තිබෙන අභියෝගය තමයි නියම වෙලාවෙදී හරි තීන්දුව ලබා ගැනීම.  එම තීන්දුව ගන්න නම් එම නිලධාරියාට දැනුම අවශ්‍යයි. දැනුම නැත්නම් නිවැරදි තීන්දුව ගන්න බැහැනෙ. ඒ වගේම තීන්දු ගන්න ආත්ම ශක්තිය අවශ්‍යයි.  එමෙන්ම රාජ්‍ය සේවකයෝ විධියට අපේ දෑත් පිරිසිදු වෙන්නට අවශ්‍යයි. අවංකව අපි රාජකාරි සිදු කරනවා නම්, මහජනයාගේ බදු මුදලින් ලබන වැටුපට සාධාරණව විනිවිදභාවයකින්  රාජ්‍ය මූල්‍ය අප පරිහරණය කරනවා නම්, ඒකත් අපිට නිවැරදි තීන්දු ගන්නට විශාල ශක්තියක් වනවා. මොකද අපි බැදිලා ඉන්නෙ මහජනයාගේ බදු මුදල් නිසි පරිදි අවශ්‍ය සේවයට සැපයීමට නිසයි. 

දැනුම ගන්න බොහෝ අය කාලය මදි කියන පුරුද්ද රාජ්‍ය සේවකයෝ අතර තිබෙන ප්‍රධාන මතයක්. ඒ සම්බන්ධව ඔබේ අත්දැකීම් ඇසුරින් යම් පණිවිඩයක් ලබාදිය හැකිද?

මම රජ්‍ය සේවයට ඇතුළත් වන විට තිබුණෙ කැළණිය විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් විද්‍යාවේදී උපාධිය පමණයි. නමුත්,  පරිපාලනසේවයට ඇතුළත් වුණු පසුව, මම විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී විභාගය (LLB) සම්පූර්ණ කළා. ඉන්පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී පශ්චාත් උපාධිය (LLM) අවසන් කළා. ඉන්පසුව, සංවර්ධන පරිපාලන ආයතනයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධියත් (MPM), ප්‍රසම්පාදනය පිළිබද උසස් ඩිප්ලෝමාවකුත්, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයෙන් ජාත්‍යන්තර සබඳතා හා දේශපාලනය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් අවසන් කළා. මේ වන විට විශ්ව විද්‍යාලයේ නීතිවේදය ආචාර්ය උපාධිය (PhD) හදාරනවා. සේවා අවශ්‍යතාවයක් වන ව්‍යාපෘති කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධිය හැර කිසිම අධ්‍යාපන වැඩකට රාජකාරි කාලය යොදාගෙන නැහැ. පෞද්ගලික නිවාඩුවලින් තමයි ඒ සියලු දේවල් කරන්නෙ. අපට රාජකාරි සිදුකරන්න පහසු වෙන්නෙ මේ දැනුම ලබා ගැනීම හරහා. අප එය අතපසු කරන්න අවශ්‍ය නැහැ. ඉතිං මම මෙතනදී කියන්නෙත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ට දැනුම සහ අත්දැකීම් ලබා ගැනීම වැදගත් කියලයි. රාජ්‍ය සේවයටම තිබෙන චෝදනාවක්නෙ තීන්දු ගන්නෙ නැ කියන එක. මම හිතන්නෙ දැනුම සහ අත්දැකීම් ලබා ගැනීම තුළිනුයි අපට ආත්ම ශක්තියක් ඇතිව නිවැරදි තීරණ ගත හැකි වන්නෙ.

  • ඔබගේ වෘත්තීය ජීවිතය තුළ දුෂ්ඨයෝ කැපිලි -කෙටිලි හමු වෙලා නැතිද?

ඒවා නැති වෙන්නෙ නැහැ නෙ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඒ දේවල් සිදු වුණා. දුෂ්ඨයෝ, වැරදි කරන  අය, හොරු, දූෂිතයෝ එදා සමාජයේ ඉදලා තිබෙනවා.  අදත් ඒ අය නැති වෙන්නෙ නැහැ. අපි සමාජයේ කොටසක් වශයෛන් අපිට පුළුවන් වෙන්න ඕන ඒවට යට නොවී, දූෂණ වලට යටනොවී, ආත්ම ශක්තියකින් සහ ධර්මතාවයකින් ජීවත් වෙන්න. වෙන කෙනෙක් කරන දුෂ්ඨකම වුණත් දුෂ්ඨකමක් වෙන්නෙ අපි ඒක භාර ගත්තොත්නෙ. මම මගේ ජීවිතයේ අදාළ නැති දේවල් බාර ගන්නෙ නැහැ. 

  • කොළඹ දරිද්‍රතා මට්ටම සෑම විටම එකම මට්ටමක පවතිනවා. මෙය වෙනස් කිරිමට ඔබ ආයතනය වැඩපිළිවෙලක් යොදා තිබේද?

මෙතෙක් නගරසභාවෙන් සිදු කර තිබෙන්නෙ සුභසාධන කටයුතු පමණයි. දුප්පත්කම නැති කරන්න දීර්ඝකාලීන වැඩ පිළිවෙලක්  නම් නගරසභාවෙන් දැනට මා දන්න තරමින් සිදුකර නැහැ. දුප්පත්කම උත්සාහයෙන් ජයගත හැකි බැවින් ක්‍රමවත්  වැඩපිළිවෙළක් අවශ්‍යයි.

නාගරික කොමසාරිස්වරියක ලෙස ඔබ දැනට ලබා ඇති පරිචය තුළ කොළඹ නගරය තුළ ඉදිරියේදි සිදු කරන්නට නියමිත ව්‍යාපෘති මොනවාද?

අප මේ වන විට ආරම්භකරන ලද ව්‍යාපෘතියක් තමයි, ‘කොළඹට ගසක් ඉතිරිකරමු’ කියන ව්‍යාපෘතිය. පරිසර අමාත්‍යාංශය සමග එකතු වී තමයි මෙය සිදු කරන්නෙ. කොළඹ කියන්නෙ යැපෙන නගරයක්. එම නිසා මූලික වශයෙන් ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් තමයි මේ වැඩසටහන ආරම්භ කළේ. ඊලගට විහාරමහාදේවි උද්‍යානයේ දරුවන් සඳහා ලංකාවේ දුර්ලභ පළතුරු ගස් වැවීමටත් අදහස් කරනවා. කොළඹ නගරය තුළ ශාඛ ගහණය වැඩිකිරීමත් මෙහි ප්‍රධාන අරමුණක්. 

සංඛ්‍යා ලේඛන බලපුවාම කොළඹ නගරය තුළ කාලෙකදී උෂ්ණත්වය ඉහළ යනවා. නමුත් මේ සඳහා පිළියම් සොයන්න නම් පර්යේෂණ සිදු විය යුතුයි. කොළඹ නගර සභාව තුල පර්යේෂණ සහ සංවර්ධන අංශයක් නැහැ. මා හිතනවා එවැනි දෙයක් ඇති කළ යුතුයි කියලා. එවිට කොළඹ උණුසුම අපට අවම කරන්නට අපට කළහැකි දේ කුමක්ද යන්නට හා  පාරිසරික ප්‍රශ්න වලට විද්‍යාත්මක පිළියම් අපට සකස්කළහැකියි.  

එමෙන්ම, නිසි අධ්‍යනයකින් තොරව කොළඹ පොළවට ඉන්ටර්ලොක් ගල් ඇල්ලීමත් පාරිසරික වශයෙන් බලපාලා තිබෙන බව පෙනෙනවා. පොළවට ජලය උරා නොගැනීම කෙටි වැස්සකදීත් කොළඹ ජලයෙන් යටවීමට සමහර විට මෙය හේතුවක් විය හැකියි. එමෙන්ම සහ උෂ්ණත්වය ඉහළ යාම වැනි කාරණා සදහාත් මේ දේවල් බලපාන්නට හැකියි.  නමුත් මේ සියල්ල සහ සංවර්ධන අංශයක් මගින් විද්‍යාත්මක නිගමනයන්ට යොමු විය යුතුයි. ඉදිරියේදී අප බලාපොරොත්තු වනවා නිපුණතාවය සහිත වෘත්තිකයන් සමග එකතුවී මෙවැනි අංශයක් සැලසුම් කිරීමට.

  • ඔබගේ විවේක වෙලාවන් ගත කරන්නෙ කෙසේද? ඔබට විවේකයක් තිබෙනවාද?

ඔව්. මම චිත්‍රපට බලන,පොත් පත්තර හොදින් කියවන කෙනෙක්. සිංහල භාෂාව තමයි මට තිබෙන සුන්දරම සහ මිහිරිම භාෂාව. මම කුඩා කාලේ පුවත්පත් වලට ලිපි ලියුවා. දැන්නම් හැකි වෙලාවට කාලය සඟරාවට නීතියට අදාළ ලිපි ලියනවා. මෑතකදී මම ගීත තුනක් ලිව්වා. අම්මා ගේ උපන්දිනයට ඇයට ගීතයක් ද ඇතුළුව. පරිසර අමාත්‍යාංශයේ ‘ලෝක මිහිතල දිනය’ වෙනුවෙන් ‘ හුස්ම දෙනතුරු’ කියන භාතිය- සන්තුෂ් ඇතුළු පිරිස ගයන ගීතයේ ගේය පද රචනය මගේ. නිරවුල් මනස ඇති තරම් අපිට විවේකය ලබා දෙනවා . මේ කුමන රාජකාරී තිබුණත් ඉතා සැහැල්ලුවෙන් ජීවිතය ගතකරන කෙනෙක්. මගේ තේමා පාඨය තමයි, ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි යන පාඨය.

  • ඔබගේ පවුලේ විස්තර මොනවාද? 

මගේ ගම කහතුඩුව. මම පාසල් 03 කට ගියා. ඔලබොඩුව විද්‍යාලය, වෑතර කණිෂ්ඨය සහ ශිෂ්‍යත්වය සමත්වීමෙන් පසුව කොළඹ දේවි බාලිකා විද්‍යාලයට. මම පවුලේ එකම දරුවා. ඒ වගේම මට පාසල් යන වයසේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ සියලුම කටයුතු වල නිර්මාතෘ මගේ මව. ඇයට මට ගෙවා නිමකරන්න බැරි ණයක් තිබෙනවා. ඇය මාගේ සියලුම කටයුතු වෙනුවෙන් දක්වන ආදරණීය සෙනෙහස මට මිල කරන්න බැහැ. ඒ වගේම මම තදින්ම බෞද්ධ දර්ශනය තුළ ජීවත් වන අයෙක්. දිනකට මම කුමන හෝ ලිපියක් බලනවා ධර්මයට අදාළව. ඊට අමතරව මාව මේ ස්ථානයට ගේන්නට ගොඩක් අය මට උදව් කරලා තිබෙනවා. ඒ අය සියලු දෙනාට මම කෘතවේදී වෙනවා. ඉතිං වැඩ රාජකාරී කොපමණ තිබුණත් මාගේ ස්වාමියා, දරුවන් දෙදෙනාත්, මගෙ මව සහ ඥාති හිතමිතුරන් සමඟ ජීවිතය බොහොම සැහැල්ලුවෙන් ගෙවනවා.

ලිපිය සැකසීම: රොෂානි ගාල්ලගේ

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article

error: Content is protected !!