~~ භද්‍ර යෞවනයෙකුගේ ශෝකාලාපයක තවත් කොටසක්……. ~~
ඇය ගොසින්ය. නොඑන්නටම ගොසින්ය…
සරච්චචන්ද්රයන් ‘මළවුන්ගේ අවුරුදු දා‘ හී කියූ සේ;
‘ලොව ඇත්තේ යාම ඊමය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය‘.
ඇය නොඑන්නටම ගොස් ඇති බැවින් මාද යා යුතුය. ඈ සමඟ ආපසු ආ හැකි වන්නේ ගියෝතින්ම පමණි. ඊටත් වඩා, ඇය ඉතුරු කොට ගිය ‘දුක‘ දරාගැනීම අතිශයින්ම දුෂ්කරය.
සේකර ‘නොමියෙමි‘ හි ලියු සේ;
‘සියලු දුක් අවසනෙහි,
සියලු සැප අවසනෙහි,
ජීවිතේ වරක් පමණක් විඳින,
පරමනන්දයකි මෙය (මරණය)’.
එහෙයින් මේ කටුක වූ දුක අවසන් කරගත යුතුය. එහෙත්, ජීවිතය කෙළවර කර ගැනීම හිතන තරම් ලේසි කරුණක් නොවේ. මා පියන් ඇතුළු පවුල හැරුණුකොට නෑදෑ සනුහුරේ මා කෙරෙහි තබා ඇති බලාපොරොත්තු සිද බිඳ දැමීමද අසීරුය. කළහැක්කේ කුමක්ද? ඈ පිළබඳ මතකය හිත දරා මියෙන තුරු ජීවත්වීමද?
අසිරිමත් පෙරදිනෙක මතකයට ඉඩ දෙමින්,
හිනැහුනෙමි අඳුර හා ඔබේ රුව රැඳී හෙයින්,
තරු බොඳව ගිය අහසේ සඳු කොහේදෝ ගිහින්,
සිහිනයකි තාම මට නමුදු ඔබ මිය ගිහින්.
සිහිනයෙන් අවදිවුණු විගස නෙතු දකින්නේ,
මළාවූ ආදරයේ දිරාපත් නටබුන්ය,
කඳුකරයේ ඔබ නිදන සුසානෙන් හමන්නේ,
රෝස මල් සුවඳ නොව මරණයේ සුවඳමය.
තාරුකා ඔරු නොමැත අහස් ගඟ කළුවරේ,
මා පමණි අවදියෙන් නගරයේ කෙළවරේ,
සිත උපන් සිතුවිල්ල සැඟව යයි මීදුමේ,
හුදකලා ආදරය ඉකිබිඳියි මැදියමේ.
නිරන්තරයෙන් හිනාවුණු නෙත් යුවලදෝ අඳුරේ දිලෙන්නේ,
දෙඩූ හුරතල් කවට බස් වල දෝංකාරයදෝ ඇසෙන්නේ,
මතක අතරේ හුදකලාවේම නෙතු ඇරී මැදියම ගෙවෙන්නේ,
ඔබේ උණුසම නොවේ කඳුළේ උණුසුමයි මට තුරුළු වෙන්නේ.
පිළිකන්නේ ගිගුම් දෙන රෑහි හඬ මූසලය,
එළිය නෑ බිඳක්වත් රාත්‍රිය කළුවරය,
ඇදුරුතුමියක ලෙසින් ආදරය කියාදුන්,
ඔබ නොමැති දා පටන් ජීවිතය කඳුලක්ය.
වළාවන් පිරි අහස තාරුකා කැට හලයි,
ඔබ නොමැති දා පටන් මල් යාය මල් වරයි,
ලෝකයෙන් වසන් වී හැමදාට ඔබ නිදන,
සොහොන් කොත අබියසදි මතකයන් නිදිවරයි.
ලොව නිදන මැදියමේ රෝස මල් සුවඳ මැද,
ම’සිත සමවැදී ඇත කඳුළු භාවනාවක,
පෙර දිනෙක මාවතේ මා තනිව සිටින විට,
ඔබ ගෙන සිනහවද අද නෙතඟ කඳුලක්ය.
හිමිදිරියෙ මල් පිපුණු වසන්තයෙ එක දිනෙක,
අහිංසක දෙනෙතකට ලොබ බැඳුණු දූගී සිත
කුළුඳුලේ ඔබට පිදු සෙනෙහසේ නාමයෙන්,
හදවතේ පත්ලෙන්ම උපන් ලේ කඳුලක්ය.
තවත් කොටසක් මතුවට….
Chrishantha Wevita – Wellington