~~ හැටේ දශකයේ ශ්‍රී ලාංකික ග්‍රාමීය පාසලක් ඇසුරිනි. ~~
ගල්ලැහැ මල්ලට දමාපු
පොත් මිටියත් කරේ තියන්
හිමිදිරියෙම රැළත් එක්ක
ඉස්කෝලෙට ගෑටුවානේ.
සරන් කමිස ඕනැ එකක්
නිල ඇඳුමට අයිති වුණා
බොත්තම විතරක් හරියට
එක පෙළකට එන්න ඕනැ.
සපත්තු ගැන වගේ වගක්
අපි දැනැගෙන හිටියෙත් නැහැ
කිසිම කෙනෙක් ඇහුවෙත් නැහැ
උදේට පෝලිම ගස්සල
දත් මැදලද බලනවානෙ.
හිස මුදුනේ තෙල් තට්ටුවෙ
ඝනකම ගැන හොයනවානෙ
‘ඇෆ්ලටොක්සින්‘ කියා යමක්
අම්මපල්ල හෙව්වේ නැහැ.
බාගෙට දත් මැදපු එවුන්
එලවනවා ළිඳ පැත්තට
ගුරු නිවාසෙ ලිප්බොක්කෙන්
අඟුරු අරන් කාල කාල
එඩරු නැටිවලින් හූරල
දත්ටික යහපත් කරනවා.
පොතේපතේ වැඩ ටිකකුයි
වතුවැඩ වැඩිපුර ටිකකුයි
ඉවර වෙලා බෙල් වදිනවා
තට්ටු බනිස් ගිලල දමලා
මැද හරියෙන් බෝල හදලා
පෙම්පත් ඇතුලට ගිල්වල
පන්ති ගානෙ විසිකරනවා
‘ලැයිකා‘ ‘වයිටා‘ ඒවා කනවා.
පොල් කට්ටෙන්, බාල්දියෙන්
‘ඇදිහැස‘ කිරි තොල ගානවා
ආසම බෙල් එක වදිනවා
ගණිත නවෝදය හංගලා
පොත්ටික මල්ලට කොටනවා.
පාසැල ඇරුනට පස්සේ
ඉස්කෝලේ වරක ගහෙන්
හොරාට ගෙඩි බාගන්නවා
ලොකු ගස්වල ගහලා ගහලා
දෙකට තුනට කෑලි කඩන්
බෙදාහදාගෙන ගිලිනවා.
ඔලුවෙ තියෙන වැඩි පොල්තෙල්
අතේ උලලා ‘ක්ලීන්‘ වෙනවා
පොල්තෙල් මදිනම් වැඩේට
විමලෙගෙ ඔලුවත් උලනවා.
වෑකන්දට ගොඩවෙනකොට
නාන්න යෝජනා වෙනවා
පිලගස්වල අමුණලා ඇති
සැර අව්වට වේලිලා ඇති
පොදු අමුඩය පිහිට වෙනවා.
පුහුපොල් බානක් අරගෙන
සුවිමින් පූල් එකට යනවා
මී ගහකට මුවාවෙලා
ඇඳුම් මාරුකර ඇදගන
බෑග් එකක් කරලා ගෙන
හොඳ බොරුවක් ගැටගහගෙන
පස්ස දොරෙන් හෙමි හෙමිහිට
විශ්වකෝෂයක් වාගේ
ආපසු ගෙදරට වදිනවා.
වසර හැටක් වෙන්නට ඇති
ගතවුණ ඒ අතීතයට
අපෙන් උපන් අපෙ දරුවෝ
විපරියාස, හැලහැප්පිලි
ගොඩක් මැදින් උඩින් ගිහින්
නවසීලන්තෙට වදිනවා
උන්ගේ පැටව් එහෙ හැදෙනවා.