මීදුම් පටල අතරින් හිරුරැස් ගලන
මල්ගොමු අතර විකසිත සමනොළ රඟන
ළමාවියේ දුරු රට සුන්දර දසුන
මතකයෙ රැඳී ඇත ලෙස නොමැකෙන සිහින
නිල්වන් කඳු පෙලින් බොඳවී දුර පෙනුන
රිදී වණින් දිස්වෙයි දියඇලි ගලන
බැස යන හිරුගෙ දම් පැහැයෙන් ඔප වැටුන
කඳු මුදුනෙහිද දෙව්ලොව තිබුනේ දිලෙන
වැහිබර සීත දිනවල ලොව අඳුරු කොට
නුබගැබ ගුගුරමින් මහ වැසි වසින විට
උළුකැට තුලින් ගත හිරිපොද වැකෙන විට
හදතුල නැඟුනු ශෝකය සුන්දරය මට
ගරාවැටුණ දෙවොලේ නටබුන් බැද්දේ
දිරා වැටුණ ලී දඬු වල බෙන මැද්දේ
අරා නගති කුරුමිණියෝ ගුමු සද්දේ
එරාවයයි සිතුවෙමි බහිරව යුද්දේ
බාගෙට දිරාගිය සුවිසල් ණුග රුකක
සෙවනැලි පෙනෙයි තරු එළියෙන් මහ රැයක
අම්මා කියා දුන් හොල්මන් කතාවක
මායාකාරියක වාගෙයි බියජනක
රෑ පැල් රකින ගොවියකු ගී ගයන නද
අසමින් බකමූණො හූමිටි තියනවද
නිසසල රැයේ දිය ඇල්ලෙන් නගන නද
මතකයෙ උමං දොර ඇතුලෙන් ඇහෙනවද
සඳ නැති රැයේ දිදුලන තරු සත සහස
අතරෙහි අතරමං විය නිම් නැති මනස
නොම වැටහුනද මන්දාකිණියේ රහස
සංගීතයක් ලෙස දැනුණා එහි පහස
පුන් සඳ නැඟී බබලයි නිල් කඳු මුදුනේ
සුදුමැලි සඳකැණින් නැහැවෙයි ගම්මානේ
සිහිවන විටදි තිබු ලස්සන හඳපානේ
ශෝකය මුසුව සන්තෝසය දැනුදු දැනේ
සීතල සමයෙ මීදුම් තිර දකින විට
ගිම්කල අහස තරු කැට නෙත ගැටෙන විට
නවසීලන්තයේ නිල් කඳු දකින විට
ළමාවියට යමි ආපසු මොහොත කට
ප්‍රශාන්ත සේනාරත්න
වෙලින්ටන් – නවසීලන්තය