ගොදුරු සොයා යළි මා මෙහි වඩින තුරා
ඉවසා සිටිනු මැන සංකා හදෙහි දරා
දිනකර රැස් නගද්දී මුළු ගුවන අරා
හද මෙහි තබා පියඹමි නීලඹර කරා
උණුසුම් කැදැල්ලේ සුව දෙන මව් තුරුලේ
සියුමැලි පොඩි පැටව් සැතපෙති සැනසිල්ලේ
හමනා මද පවන් රැල්ලක් නැළවිල්ලේ
මා ගත පෙළයි මම පියඹමි සිතිවිල්ලේ
සරතැස මකා රන් එළියක් නැග එන්නේ
පිබිදී වැනෙන වෙල් යායකි දිස් වන්නේ
සුවඳැති මුදු කුසුම් රුක් ගොමු පිනවන්නේ
හද ඔබ වෙතයි මා කෙලෙසද තුටු වන්නේ
තුරු ගොමුවක අතු පතරක බැඳි සිඟිති
කැදලි කොනේ දරුවෝ උණුසුම සොයති
වටපිට කෙරෙහි විමසිලිමත් වුණු නෙතැති
විලසින් කල් යවනු මැන සොඳුරියෙ හිතැති
කයින් දුබල වුන් හට හිරිහැර පෑම
බලවතුනගෙ ගතිය වෙයි උන් රිදවීම
නිකැළැල් වන ලොවේ තිරසර මෙම දහම
පිළිගත යුතුය කළ නොහැකිය පිටුපෑම
පසුවන හැම මොහොතකම ඔබ ගැන සිතමි
මා එනතුරා ඔබ ළතැවෙන බව දනිමි
අප පොඩි කැදැල්ලේ සුරලොව සුව විඳිමි
සුවබර ඉසව්වට යළි පියපත් සලමි