ගඩොල් කළුගල් යකඩ දමලා
සිරස තරමට බැම්ම බැඳලා
අලුත් පෙනුමක්, අලුත් හැඩයක්
නිවස වටකර නව රටාවට
තාප්පය ඉදිකලා ගැම්මට
එබුව පමණින් රිමෝට් ඊතල
වරක් ඉහළට නැවත පහළට
කැමරා මදිවට ලයිට් සෙන්සර්
අනේ මන්දා අපේ දියුණුව
නොමිලේ ගෙට ආ සුළං රැළි ටික
හැරී යනවා ආ දිසාවට
නැන්දම්මේ අපි ගිහින් එන්නම්
මාමා තවමත් දුර පළාතෙද
පුතා දැක්කෙත් නැහැනෙ කලකින්
පන්සලේ හෙට කඨින පිංකම්
කඩේ යනවා ආයෙ එන්නම්
අක්ක තවමත් රෝහලේ නොවැ
අදත් ශ්‍රමදානයක් තිබ්බා
නොයා හිටියොත් වදිනවනෙ දඩ
ලෝකයම නැවතුනා වාගේ
ගමේ තොරතුරු එන්නෙ නැහැ දැන්
ඉදලා හිටලා වදින බෙල් එක
පියන් නැත්නම් ලයිට් බිල් නොවැ
වැස්සකට කිසි කෙනෙක් එන්නැති
තේ ටිකක් දිය බිඳක් දුන්නැති
මෙහෙම සීමා වැටකඩොලු ඇයි?
තාත්තගේ ඉදිකඩොලු පොලු වැට
රැක්ක මතකනෙ සියලු මිතුදම්
ආව පිටවුණ ගණන දන්නවා
බුලත් විට හුණු ඇතුල්ලුව තැන්
සාගර වික්‍රමසිංහ – මාස්පොත, ශ්‍රී ලංකාව






