යෝධයන් කොයි වගේ මට මවා පෙන්නාපු
අශ්වයින් ගැන එහෙම බොහෝ ම විස්තර කියපු
ටවුමේ ඇති පැණි ම රහ ලොසින්ජර මට දීපු
මගේ ලොවේ වීරයා කෙසඟ සිරුරක් තිබුණු
පින්න පෑගෙන හිත යටි හිතේ අලවාපු
ගස් යන්න පීනන්න හොර හොරෙන් උගන්නපු
‘ගහක ගෙඩියක් හරි කාල උඹ රැකීයන්’ කියපු
ඔහු හිනා අහුරක් ය දෙපද රස ගලපාපු
බස් පිටින් වන්දනා නඩ එක්ක ගිය විත්ති
පිචර් බලලා රෑට මග දිගට කළ ගෝරි
ගැන්සි ගැහිලා රැක්ක මළ ගෙවල්වල කාරි
හිතින් ඉව කර කර හිටිය ඒ මතක රන් කාසි
යාපනේ සුරුට්ටුව හෙමින් අමතක කෙරුව
අත්තම්මා ගිය පසුව හිනා හිත විසි කෙරුව
ලෝ දහම මේ තමයි නිහඩව ම බණ කියුව
වීරයා නික්මුනා ගැඹුරු සටහන් තියුව
නයනශාන්ති දිසානයක – ශ්‍රී ලංකාව






