පියතුමන් ගැන එකදු වදනක්
අහන්නේ නම් නෑ ඉතින්
කෙලෙස ගෙන එන්නෙම්ද කඳුළැල්
ඔය උතුම් දෑසට නිතින්
තුරුලෙ හොවමින් සෙනෙහෙ පුදමින්
මාව දැඩිකළ මවුනි පින්
දෙතිස් සලකුණු ගුණ ගැයුම් ඇති
අඳුරගන්නට පියතුමන්
ඇත් රජින්දෙකු විලස ගමනලු
දකින්නට ආසයි මටත්
සුපුන් සඳ දෙස බලා සැනසෙමි
උවන දකිනට නෑ ඉඩක්
දයා වෑහෙන උපුල් වන් නෙත්
කැලුම් විඳිනට හිත ඇතත්
කෙදින ඒවිද කියා සිතමින්
බලන්නෙමි මා තරු නැකත්
නව දිනෙක අරුණලු නැගෙන සේ
රැගෙන එන සුබ පණිවිඩේ
ඇහැල මල් යායක් වගෙයි
කවුරුන්ද එන්නේ මග දිගේ
හිරු පහස විඳ පිපුන නෙලුමක
පැහැය ඔබෙ ලවනත රැඳේ
උතුම් සිදුහත් මා පියාණන්
දකින්නට යමු විලසිනේ
මෙත් පිරුණු සඳවතින් බබලන
කුළුණු වෑහෙන සුනිල නෙත්
පළමු වරටනෙ දුටුවෙ හරියට
පියාණනි මා ඔබ පුතුන්
සුරත පෑ විට නොයා කොහොමද
පිය සෙනෙහසින් නැහැවුනෙම්
අවසරයි සමුගන්න මෑණිය
නැවත එමි දායාදය අරන්
චංගා කොඩි – ඕක්ලන්ඩ්






