මන්දාකිණියට මඳක් මෙපිටින්
එක් කුඩා අවන්හලක් වේ…
පැහැයක් නොපෙනෙනා …
මෘදු කානේශන් සුවඳ වෑහුනු
බිම මල් රේණුයෙන් ගැවසුණු…
කෙළවර තිබුණු මේසයක්
සෑම දිනකම
රස්නෙ ඇති කඳුළින් තෙත් වූ…
ඒක, හදවත්වල නැවතුමකි..,
කැඩුණු හදවත් හා
බිඳුණු වචන ගැන…,
නැවත නැවතත් මිමිණූ …
ඊට මෙපිටින් වූ, තවත් මේසයකි…
සිලිටි අත්පිස්නා මත
බලාපොරොත්තුවේ කවි ලියැවු..,
බොහෝ විට බිඳී සුන්වූ…..
ඉඳහිටෙක, … කුඩා සැනසුම්
සුසුම් උණුසුම් මුසු වූ…
වැඩිපුරම ඉල්ලුම තිබූ
තරු විසුල අහස යට
විවෘත මේස කිහිපයක් වේ…
ඒවා අතර දුර ද,
ආලෝක වර්ෂ කිහිපයක් වේ…,
එක් දිනක් …. හිඳගෙන කතා කළ අය
නැවත කිසිදා…. ,
ඇස් මානයක දී හමු නොවූ…
මේ කුඩා අවන්හලේ…,
සියලුම වීදුරු හිස් ය…
රිසි වයින් නාමාවලියක් නැත…
ඉතිං..
මත් වී මතක රැඳ වූවන් ද,
මෙහි නැත…!
කුඩා කවුන්ටරය අසල අයකැමියෙකු නැත…
එබැවින්, මිලක් ගෙවනු නොහැකි ය…
උණුසුමක් රැඳවූ යමක් වේ නම්…,
යන්තමින් ඉතිරි වූ…
මැකීයන උණු…
ඇරෝමා කෝපි සුවඳක් පමණක් ය…
අජටාකාශ රියදුරන්ගේ..
උමතු ඝෝෂාකාරී නලා හඬින් පිබිදී..
මා, ඔබෙන් අසමි..,
“දැන්.. ඔයාට, දුක නැද්ද?”
‘දැන් ඒක දුකක් නෙවෙයි’
ඒ, ඔබ…!
ඉතින් … මට කළ හැකි එකම දේ
ඔබ සමඟ මෙහි …
කැමති මේසයක හිඳගැනීම, පමණක්ය…
මධුවන්ති වික්‍රමආරච්චි – ශ්‍රී ලංකාව