“කොරෝනා වසංගතයත් සමග මිනිසුන් ගේ ජීවිත වෙනස් වුණා. රෝගය වැළඳුණු පවුල් ඉතාමත් අසරණ වුණා. යමක් උපයා ගන්න බැරි තත්ත්වයකට පත්වුණා. දින 14ක විස්සක කාලය ඉතා පීඩාකාරී ව ගෙවා දැම්මා. මේ තත්ත්වය තේරුම් ගත්ත අපේ ගම්වැසියන් රෝගී වූ පවුල් තනි කළේ නැහැ. අසල්වාසීන් වෙනුවෙන් තම ලෙන්ගතුකම් ඉස්මතු වුණා. එකිනෙකාට හැකි විදියට උදව් උපකාර කරගත්තා. වියළි ආහාර, පිසූ ආහාර, අත් බෙහෙත් වැනි දෑ පාර්සල් කරලා රෝගීන් සිටින නිවෙස්වල ගේට්ටුවක වැටක අත්තක එල්ලුවා. කෙතරම් අගහිඟකම් තිබුණ ද අනෙකාට උදව් කරන්න දන්න අපේ සමාජය මේ හැම පවුලක්ම හැකි විදියට රක්ෂා කළා. ප්‍රායෝගිකව මමත් මේ අත්දැකීම අත්විඳි නිසයි “හිතවත්කම් රැඳුණේ වැට උඩ මල්අත්තේ” යන සිතුවිල්ල ඇති වුණේ”
හොරැහින් බල බලා වෙනතක රැදෙයි නෙත
හිත ඇත හමුවෙන්නේ තොරතුරු දැනගන්න
කොහොමද අනේ ලං වෙන්නේ බයයි සිත
කෙනෙකුට කෙනෙක් හමුවෙන්නැති රෝග බිය
වැට උඩ මල් අත්තේ හිතවත්කම් එල්ලා
නොදොඩා නොබලාම යනවා යන්න
අහරවලින් නෑ අඩුවක් දැනුනේම
හිතවත්කමේ ගුණ සුවඳයි ඒ ලෙසම
දුරකථනයට නෑ නිවනක් ශබ්ද නගයි
අයියේ අක්කේ කොහොමද දැන් සුව ද අසයි
එන්න හිතයි නෑ වෙනසක් නුඹේ සුවඳයි
කෑම මල්ල වැට උඩ මල් අත්තේ රැඳෙයි
අපි නම් දුටුවෙ නෑ කවුරුත් යනෙන වග
එනමුත් මල් අත්ත හදුනයි ආව අය
තුන් වේලටම ගෙනැවිත් දුන් අහර හොඳ
සෙනෙහස රැඳුණේ මෙහෙමයි මල් අත්ත උඩ
ඇසුවත් නෑසුවත් දන්නවා අඩුපාඩු
පොලකට කඩේකට යන්නට බැරුවාලු
ලෙඩෙකුට ඕන දේවල් අපමණ වේලු
පිරිමහගන්න බැරිවෙයි මේ බඩු මාළු
By W.M. Dissanayake – Kurunegala