මුදු රළක රැලක දැවටීලා සුළඟ ගෙනෙන නඳ
ඔබෙ සුවඳ රැඳුණ සුසුම් සුවය විඳිමි මතක මැද
රැය සරසන සුභ සිහිනයක්ව පිපිලා නිදි බිඳ
මද සිනහවක්ව දෙතොල් අතර නැවතීයන් සඳ
පත් හලා කලෙක තුරු රැක ගත් පණනල කැටිකොට
කල් බලා හෙමින් පූදින මල් හිනැහෙයි හෙමිහිට
හිත් පුරා විඳින සෙනෙහස හිඟ නොවෙනා පෙමකට
ඇස් වසා තනිව විඳවන්නට කරුණක් කුමකට
සුදු මීදුම් සළු කඳු හිස් සිඹ රහසේ මුමුණන
රස රහස් එකින් එක ඔබ හා එක්ව ලෙහන්න
මුදු කන් පෙති මත දෙතොලත උණුසුම අතුරන්න
මේ සිහිනය අසලින් ඇවිදින් ඔබත් නිදන්න
සත් ස්වර එකිනෙක ගැලපී වැයෙනා හද තත
ඔබ නමින් සුසර කර දවටා නෙතඟේ මුදු තෙත
තුඩ තුඩගේ මිමිණෙන කවියක අමුණා පිරිපත
ඔබ ආවත් යළි නාවත් පෙම පවතී හිතවත
නයනශාන්ති දිසානායක – ශ්රි ලංකා






