පියාපත් නොලද අපි,
අහස විජයග්‍රහණය කළෙමු;
සිසිර තරණය කරන ලිහිණි මංපෙත්
මැඩ, විශ්වය ඉම තෙක්ම
වරල් පෙඳ නොලද අපි,
තරු ලකුණු දැන; නෞකා පෙළහර
තල්මස් රහස් කෙඳිරිලි බිඳ
මහද්වීප යා කළෙමු
අපර භාග 11.58 ට පමාවී එළි බසින
හෝමෝ සේපියන් පසුපස
ඩාවින් වරම ගෙන; දුර්වලුන් පිසැර
විසිපස් ආයුෂ, අසූවස් කළෙමු
පෘථිවි මව් සෙනෙහස් බන්ධන
ගුරුත්වාකර්ෂණය නමින් වෙස් බැඳ
නිව්ටන් නියම තුළ සිරකර
යුරේකා ජය නදින්, ප්‍රාතිහාර්‍ය පෑවෙමු
එහෙත්, කළුදුම් වැසී දිනක අහස
පිරමීඩ මුදුනේ ගී සාද නැවතුණු
රොබෝ සේනා වීදි බැස
ආපසු හැරෙන්නට නොහැකි,
කෘතිම බුද්ධිය හා ගල උඩ සටන;
ටියුරිං වාද පරාජය වූ දින, මෙසේ
මී මුණුපුරා වෙත ලියමි.
අඳුන් ගා තුරුපත් විෂ පිරි මලින්
හැඩවූ නෙක වර්ණ බඹර කැළ
මියෑදුණු මග දිග පියනගන ඔබ
සල්ෆයිඩ් වරුසාවේ
ලිහිණි සංධ්වනි වියැකී,
තල්මස් රෑන වෙරළ ඉම නිසලව
ඩ්‍රෝන සමනලුන් හඹාගොස් රැවටී
සුසුමක් නැගෙන දිනක් උදාවන
මී මුණුපුරා වෙත ලියමි;
සඳවල් දහසකට පෙර
ඔබෙන් උදුරාගත් සියලු දේ නැවත
ලියා පිළිගන්වමි ඔබට;
රතු දත්ත පොත
අවසන් වෙළුම.
(මුද්‍රණයේ)
ඒ. එම්. එල්. අත්තනායක – ඕක්ලන්ඩ්






