මට තිබුණෙ හදවතක් ලස්සන
හිතෙනවා එය තවම ඇති බව
හරිම ආසයි විඳින්නට
දැනෙන ආදරේ මගෙ හිතට
තිබු නිසා හදවතේ ලස්සන
ළං වුණේ සොදුරු මිනිසුන් හිතට
ඇති කළේ සෙනෙහසක් උතුරන
බැඳීමක් දුනි මගෙ සසර ගමනට
සමහරුන් දැනුනේ මගෙ හිතට
බොහෝ හුරු පුරුදු අය බව
හදවතෙන් කළ කී කතාවන්
දැඩි කළා මගෙ සිත් බැඳුම
ඇති වෙලා හැම දේම නැතිවෙලා
යන බවක් කියන මේ ලොව දහම
හේතු ඇති, නැති අපේ බැඳීමට
විතරක් ම වෙනසක් කරාවි ද
ඇතිවෙන්නේ නැති වෙන්න නම්
නැතිවෙන්නේ ද ඇති වෙන්න මයි
මුණගැසීම වෙන් වීමක් ම නම්
වෙන්වීම තව හමුවීමක් ම නම්
දුක් නොවෙමි මම වෙන් වීමකදී ඔබ
දනිමි මම ඔබ යළි මුණ ගැසෙන බව
ඔබ මගෙන් සමු ගන්න දවසට
හිතමි ඒ හමුවීම ළඟ බව…
චන්දි (චන්දිමා දස්කොන්) – ඩනිඩීන්






