ගැස්සෙමින් ඇවිදිද්දි
රතුම රතු බස් එකේ
අදින් කලකට පෙරදි
නුඹ මගදි හමුවෙද්දි
ඊ මේල්, ෆේස්බුක්
වෙබ් සයිට් තිබුණෙ නැහැ.
කාකි නිල ඇඳුම ලා
පියන් ගම් වදින තුරු
බෙල් හඬක් ඇහෙන තුරු
මග බලා හිටිය හැටි
මගෙ නෙතට හොදට හුරු
ගෙස්ට් හවුස්, අර හවුස්, මේ හවුස් තිබුණෙ නැහැ
රිදී තිර, මුහුදු තෙර නිතර අප දුටුවෙ නැහැ.
සව් කොළෙන් රැළි වැටුණ මඟුල් මඩුවේ ඉඳන්
මම ගියා හනි හනික නුඹව ගෙපැලට අරන්
දරුමලුන්, මුනුබුරන් වරින් වර හමුවුණා
දුක් සුසුම් තුටු කඳුළු අතර දිවි ගතවුණා
ඇඟිලි වල දැවටිච්ච මඟුල් මුදු ගිලිහුණා
ගතේ වාරුව දරන, සැරයටිය අත රැඳුණ
මගේ හිත ඔබ ළඟයි තවම අතින’ත බැඳුණ.