සුදෝ සුදු හිමයායට බරවූ
විලෝ අතු සෙවණ සැදි
කඳු බෑවුමේ කුඩා පැල්පත
පහන් එළි නිවෙන උදෑසන
දවසක් දා
මව් තුරුලේ වදන් මිණිකැට විසුල
හැඩ රුව කියන අරුමැසි කැඩපත
වළාකුළු සේලයේ පාවෙන මාළිගා
වර තුනක් දුන් ඉන්ද්‍රජාලිකයින්
කාන්තාර මිටින් ගත් මයාකරුවන්
පහනක නැගී ඉගිල ගිය
සුරඟන තාරුකා මන්දාකිණි
අද කොහේ හෝ ඈතක ඇය
සත් මුහුදු දෙබෑ කළ
යෝධ මකරුන් රුපු බිඳ
සිප්සතර කඳු සිරස
මා හිඳවූ
මහා විද්වත් සමුළුව අවසන්ව
සෝපානය බසිමි
ටයි ගැටය වැරදී
කණ්ණාඩියට එබෙන විට
කිරි රැවුල ඇඳ සිනාසෙන
කුඩා දරුවෙකු තවමත්
අතීතකාමීන් බඹයක් ගිලුණු
උමතුවෙන් හඹා යන තරඟයක
විසිරුණු කවි කැබලි
මග දිගට ඇතුරූ වී ඇට
පරෙවියන් ඩැහැගෙන
වනයේ අතරමංව හඬන
කුඩා දරුවෙකු තවමත්
බරට පොත් ගොන්නක් රැගෙන
කුටියේ දොරකඩ, හූමිටි යදින
දෙනුවර අන්දරය – මැකීගිය දඩමං
මිටියාවතේ බර්ච් ගස – ගුරුගීතය
හිම කබාය – හෙලන්ගේ මරණය
ඔලිවර් ට්විස්ට් – ඩබ්ලිනර්ස්
අසලියා මල්…..
සොරොව් බිඳගෙන ගලා එන
දිනක,දයාබර හඬින් මහද නැහැවූණු
සිහින වරුසා
දවසක්දා හිම කුමාරී …
ඒ.එම්.එල්.අත්තනායක – ඕක්ලන්ඩ්