තුරුපතක් මලක් සිප ගනිද්දි මහ පොළව
යන්නට බැරි ඇයි අහක බලාන නොදුටු විලසට?
ඉඳුදුනු පායා හිනැහෙද්දි ගඟන පුරාවට
දැනෙන්නේ ඇයි මිරිඟුවක සැඟවුණු අනියත බව?
තරුවක් දිදුලද්දි තනිවම සීත රෑක
පාළුවක් දැනෙන්නෙ ඇයි පිරිවරක් සිටිනා තැනක වුව?
දුකින් පෙලෙනා කෙනෙක්ගෙ තතු වැදෙද්දි සවනත
කඳුළු වැල් කොපුල් සිඹින්නෙ ඇයි අත් නොවිඳි දුකකට?
පරක් තෙරක් නොපෙනෙන නිල් සයුර දුටුවම
ජීවිතයේ ගැඹුර දැනෙන්නේ ඇයි මේ තරමට?
සමනළයෙක් මලින් මලට රොන් ගන්නවා දුටුවම
වරා මලක් මෙන් පාවී යන්නෙ ඇයි හිත අකීකරුව?
හිමි අහිමි දසුන් කළඹවන හද කම්පනය
නිමිති වෙයි නොදැනීම කවි සිතකට
එහෙත් විටක නොදැනෙනවාම නොවෙයි
මේ තරම් බර ඇයිද ජීවිතය
By Achala De Silva – Auckland