ඇය නිර්වචනය කිරිමට මහා භද්‍රකල්පය ද දිග මදිය. උදෑසන හිරු කිරණින් ගනුදෙනු අරඹා රාත්‍රී සඳ එළියේ කිමිදුන ද නොනවතින කතාවක කතා නායිකාව ඇයයි. මදහසින් විශ්වය ද සුසුමකින් මහමෙර ද සසල කරන ශක්තිය ඇයයි. එනමුදු අවසානයේ නිහඬ වන සොබාදහමේ අපූරු නිමැවුම ද ඇයයි.
කඳුළු බිඳුවක් පැණි රසක් කොට
බිළිඳියක සේ පැමිණෙනා
සිඟිති පා පොඩි සෙමින් තබමින්
ළදැරියක වී දැඩිවෙනා
කැකුළු මල්පෙති කිතිකැවීගෙන
කුමරියක සේ පිබිදෙනා
සියලු මල්වල සුවඳ කැටිකොට
යෙහෙළියක වී රඟදෙනා
අනඟ හීසර පහස විඳමින
යුවතියක සේ හිනැහෙනා
පරම පිවිතුරු පෙම් වියන් බැඳ
පතිනියක වී හැඩවෙනා
මධු බඳුන් උතුරා පහන්කර
ගැහැනියක සේ ඉපදෙනා
නෑසියන් කුල දම් සිරිත් පෙල
කුලවමිය වී සුරකිනා
රන් කිරෙන් පිරි දූ පුතුන් ලැබ
මෑණියන් සේ සැනසෙනා
සිව් වනක් දරු මුණුපුරන් මැද
මිත්තණිය වී වැජඹෙනා
සියල්ලන් වෙත සසර කැපකර
මෙහෙණියක සේ සුවදෙනා
අනුන් වෙනුවෙන් තමන් නැතිකර
ගත්ත ඇය…. ගැහැනිය වෙනා.
චංගා – ඕක්ලන්ඩ්






