කන්දෙ පන්සලේ සන්සුන් ගමනින් පිය මැන යන්නී
වැලිකැට වලටත් රිදෙයි කියා කසාවතින් සැරසී
මගෙ පොඩි අක්කන්ඩී
දෑස් අද්දරින් කඳුලක් වැටුනා
මහා කාන්සියක් පපුවට දැනුනා
වටා පතින් වැසි මුව අග කොනකින්
යාන්තමට නුඹ බැලුවා මං දැක
දාංගලේට හිටි මගෙ සුදු අක්කන්ඩී
හිතාගන්න බෑ මේ සන්සුන් කම
සාන්ත දාන්තව දෙඇස් බිමට කර
හිස අතගෑවා මං වඳිනා කොට
නුඹ නැති පාලුව මට විතරක් නොව
අම්මා රහසින් ඉකිබිඳිනා හඬ
නිදි පැදුරේදිත් මට ඇසුනා
මටත් වැඩිය අම්මාට දැනෙනු ඇති
නුඹ සොයමින් යන සසරේ කෙලවර
නුඹට ලැබේවා මෙහෙනිය වූ මගෙ අක්කන්ඩී
සන්ධ්‍යා විජේසුන්ඳර – ඕක්ලන්ඩ්