දුෂ්කරය ජීවිතය කටුඅකුල් මැදින් යන
දකින්නේ සුදුමැලිව ගිලන්වූ
අපගේම සොයුරන්ය නන්දෙසේ
හැඟෙනමුත් කළයුතු යමක් ගැන
දෙපා වාරු නැත යන්න පියඹා එදෙසේ …
කෑගසා, තර්ජන, වර් ජන කළත් රට වටා
ඉදීද කිසිවෙක් අප කියන්නක් අසන
ශීතකාමරේ සැප සොයන රජ පෙළපතට
ඇසේද මා ගයනා සත්‍යය …
පිස්සෙක් , බොරුකාරයෙක් යැයි කියා
සත්‍යය එළිපෙහෙළි කළ පවට
මා දමනු ඇත සිපිරිගෙට හෙට දිනේ
ඒත් කොතරම් කළක්
යටපත් කල හැකිද සත්‍යය
රබර් පන්දුවක් හොවා නිල් ජලේ
එබුවත් එය උඩට එන ලෙසේ
ලෝක ධර්මතාවයත් උඩට එයි
එයයි වන්දිබටයන් නොදන්නා
අන්හැමදෙනා දන්නා සත්‍යය.