පොළොන්නරුවේ ගල් විහාරය
අසල හිඳගෙන විඩාපත් ලෙස
පැසුණු රැවුලක් සහිත මිනිසෙකු
භාවනාවක නිමග්නව ඇත
‘එදා හැඩි දැඩි තුරුණු දෑතින්
සියුම් කැටයම් මැවූයේ උහු
පසක් කරගෙන ලෝකවිදු නැණ
අරිය අට මග මෛත්‍රී ගුණ’
වැටෙන ඩා බිඳු නළලතින් නැග
ගසාගෙන යයි මද නළේ කිඳ
මතකයට නැගි කාල ගැටුමන්
සැළේ සිත තුළ මහා රූ පෙළ
සමාධී ගල් පිළිම සිරසට
වෙඩි තැබූ නර නොරට උහු හට
වනේ රජිඳුන් පිඹිනු දැක දැක
දෙනෙත් ඇරියේ දකිනු බුදු රුව
ගල් තලාවේ සරස යන ඔහු
කුඹුක් ගස යට කුඹුක් පතුරක
නෙළා පිළිමය අලෙවි කරනා
කලාකරුවෙක් දෙනෙත ගැටුනෙය
මහා ගල මත නෙලූ සිතුවම්
දැයක් දිනු දින මැවේ සිත තුළ
කුඹුක් පතුරේ කොටන අසිරිය
හද පතුල මත සෙමෙන් බොඳවිය
ගල් විහාරේ මහා පිළිමෙට
වෙඩි තැබූ මිනිසා හඹා ගිය
වනේ ඇත් රජ අසල අගලක
වෙඩි වැදී මැරිලා වැටී ඇත
ඩී.අමරසිරි ගුණවර්ධන