කුරුලු කූජන ඇසෙන මානය හිරු එළිය වටටම ගලන්නා
අලුත් දවසක අලුත් සිතුවිලි සීත සුළඟට කැටිව එන්නා
දවස ගානෙම වසර ගානෙම එකම උණුසුම නිතර ගැටෙනා
වාසනාවන් මගේ ලක්බිම සුහද මතකය තවම තියෙනා.
හිනා දෝතක් කතා සයුරක් හතර අත උදයට ඇසෙන්නා
නලා හඩ කලබලය තරමක් උදේ කාලය සැඩ කරන්නා
දවස පඩියට මාස් පඩියට හඹා යන්නන් දසත ඇදෙනා
ඒත් කොතෙක දහඩිය කඳුලු මැද වුව අපේකම මම එදා දැක්කා.
දුර රටක නොහඳුන මුහුණු මැද පුරුදු සිනහව මාත් දුන්නා
ලෝකෙ හිස මත වගේ මිනිසුන් රෝද හතරක බරට යන්නා
කතා ඕනෑ නැහැ වගේ මෙහෙ හිනාවත් මිල අධික වෙන්නා
දියුණු රටකට බැහැපු හින්දා හිත හදාගෙන මාත් උන්නා.
දොර ජනෙල් නිතරම වසාගෙන අහල පහළක කෙනෙක් නොදකින
අපෙ රටේ අය වුණත් තනිකර නොදන්නා ලෙස සිටිති ගෙයි වැද
පාළුලෝකෙක අනෙක පිරුණ සම්පත් දුක මැදින් අප සැප හිතාගෙන
විදින දිවියක් ලෙසින් විදවන ගතින් නොරටක හිතින් මවුරට.
කොතෙක් මිතුරන් අවට හිටියත් කුමට මවුපිය සොයුරු නැති රට
නොතිත් සම්පත් ගඟක් ගැලුවත් කුමකටද මට නොරට තනිකම
ලෙයත් ලේ නෑකමත් ඇතිවුන් ඒ රටේ තනිකර දමාගෙන
දඹක් නැග්ගත් කවුරු තුටුවෙද කාට කියමිද හිතේ තනිකම.
පිනට පහලවු නුවණ යොදවා මිලක් නොගෙවා ඉගෙනගත් මා
ඒ නුවණ මා වෙත තබාගෙන නොරට වුන් හට විය කරන විට
සුවහසක් මිනිසුන්ගෙ දහඩිය කඳුළු මිණි කැට මතින් ආ මග
මතක් වී කඳුළක් උනයි ඇස අනේ කොතරම් ණයද ඔබ හට.
ගතත් දුබලව යන්න මත්තෙන් හිතත් සවිබල තියාගෙන
හදත් හදවත තියෙන සුසුමත් අරන් එන්නම් ණය ගෙවාගෙන
එතෙක් තිස්තුන් කෝටියක් දෙවි පිහිට නිරතුරු උන් ලබාගෙන
යෙහෙන් දිවි සරි ගන්න අවසර කේවට්ට දෙස්පාලු කැල මැද…