ඉඩෝරයකට මැදිව
වැහිබර වලාකුළු වලින් පිරුණු අඳුරු අහස, ඈත ක්ෂිතිජයෙන් හෙමින් හෙමින් හැංගිලා යන්න උත්සාහ කරන, රතුම රතු ඉරට ලබා දුන්නෙ පුදුමාකාර සහයෝගයක්. රාස්සිගේ අව්ව වැටිල පැයක් යන්නටත් කලියෙන් ඇද හැළුණු ධාරානිපාත වැස්ස, හෝරාවකට දෙකකට පස්සෙ පෑව්වත්, ලාවට වැටෙන හිරි පොද වැස්සෙ නම් අඩුවක් තිබුණෙ නෑ. වැස්ස තුරල් වෙනකන් ගස් වල අතු අස්සෙ හැංගිලා හිටපු කුරුල්ලොත්, වෙනද වගේ එහෙ මෙහෙ හක්කලං නොකර පුලුවන් තරම් වෙර දරල කැදලි කරා පියාඹගෙන ගියේ, තවත් මහ වැස්සක් අත ලඟ කියල උන්ට දැණුනු ඉව නිසා වෙන්න ඇති. තමන්ගේ සීමිත අඩුමකුඩුම ටිකත් පටවගෙන දියඹ කරා දියත් වෙන්නට සූදානමින් තිබුණු ධීවර බෝට්ටු කිහිපයකුත් ඔය අතරෙ වෙරළ සීමාවෙ ගාල් වෙලා තිබුණෙ, වැසි අන්ධකාරය මැදින් තමන්ගෙ අඹු දරුවන් රකින්නට මසුන් දඩයමේ යාමට නියමිත ධීවරයන් පිරිසක් ලන්තෑරුම් එලි දල්වාගෙන වෙරලට එන තුරුයි. මුලු ලොවට ජීවය බෙදා තමන්ගේ දවසේ වැඩමුරය නිමවූ දිනිදා, මූදේ ගිලී වෙහෙස නිවා ගැනීමට සූදානම් වෙන මේ වෙලාවේ, වැස්ස නිසා පමා වූ, දවසේ වැඩමුරය නිමා කිරීමේ අදහසින් පොල් ගහකට නැග සිටි සේතං, එහි මල තලා කපා, යුෂ එකතු වීමට නිසියාකාරව මුට්ටිය සැකසීමෙන් පසු ඊලඟ ගසට යාමට අතුරේ ගමන් කරමින් සිටියා.
සේතං. සේතං කියන්නෙ මල් තලන්නෙක්. ඒ කියන්නෙ රා මදින්නෙක්. තමන් විසින්ම හදා ගත්තු කහට කෝප්පයකින් උදේ වේල සප්පායම් වෙන සේතං, තමන්ගේ ආයුධ ටිකත් අරගෙන, තමන්ට හිමි එකම වටිනා වස්තුව වන අබලන් බයිසිකලේ නැගල පාන්දරම ගෙදරින් පිට වෙන්නෙ, අවුරුදු 34ක් තිස්සේ බඩගෝස්තරේ රැකගන්න නියැළුණු රස්සාවට යාමටයි. තමන් ගැටවර වියේදී නොයෙකුත් රැකියාවන් අත්හදා බැලුවත් ඒ කිසිවක් තමන්ට අල්ලා නොගිය බවත්, අවසන නැවතුනේ පොල් කරටියේ බවත්, ගමේ පිරිස රැස් වන තැන් වලදී සේතංගේ කටින් පිටවී ඇති වාර ගණන අනන්තයි. “ඒ ඉතිං සේතං මාමට හැමදාම හවසට රා වඩියක් ගහන්න ඕන හින්දනේ” යි ගමේ කොල්ලො කුරුට්ටන් විහිලු කලත්, අහිංසකව සිනහ වී ඒවා ඉවසුවා මිස කෙදිනකවත් සැර පරුෂව ඔවුනට බැණ වැදුනේ සේතං නොවේ. උදෑසන නිවසින් එලියට බසින සේතං, ආයුධ පෙට්ටියත් ඉනේ බැඳගෙන තම පාපැදිය පාගා සියනේරිස් මුදලාලිගේ කඩේට එන්නේ, දවසේ වැඩ පටන් ගන්න කලියෙන් බීඩියක් පත්තු කරගැනීමට පමණක්ම නොව, දවසේ පත්තරේ තිබූ රට තොට විස්තර දැනගැනීමේ අදහසද ඇතිවයි. අකුරු කියවීමේ හෝ ලිවීමේ නිපුණතාවයක් තිබූ උගතෙකු නොවූ සේතං, සමාජය කියවා ජීවිතය ගොඩනගා ගත් වියතෙකු බව ගමේ සෑම කෙනෙක්ම පාහේ දන්නා කරුණක්. සියනේරිස් හා විනාඩි 5ක් 10ක් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටින සේතං, බීඩියේ අවසාන හරිය දැල්වෙද්දී කඩපිලෙන් නික්මෙන්නේ, තමා විසින් පෙරදිනයේ කැපූ මල් වලින් වෑස්සුණු තෙලිජ්ජ එකතු කිරීම සඳහායි. හොඳින් ඉර පායා ඇති දිනයන්හි තමාගේ රාජකාරිය කිරීම පහසු උවත්, වැසිබර දින වලට, සේතං ශාප කලේ නම් නෑ. පොල් ගස් තෙමී ඒවාට නැගීමට ඇති අවධානම සහ අන්තරාදායක බව වැඩි දිනවලදී පවා ජේන් නෝනා සහ දරු දෙදෙනා වෙනුවෙන් එදා ඔහු වෙහෙස වුවත්, අද ඔහු මේ රස්සාව කරන්නේ රකින්න පවුලක් ඇති නිසා නොව තමන්ගේ පාලුව කාන්සිය මගහරවාගෙන කාලය ගෙවා දැමීමේ මූලික අරමුණෙනුයි.
ඉර මූදේ ගිලිලා යන්න තව නම් වැඩි වේලාවක් නෑ කියල සේතංට තේරුණේ, අතුර දිගේ ගිහින් ඊලඟ ගහට ගොඩ වෙලා බලද්දි, ගොදුරකට ලංවෙන මෘගයෙක් වගේ හාත්පස වෙලාගනිමින් තිබුණු අඳුර දැක්කමයි. ඒත් සේතංට නම් අඳුරෙන් භාධාවක් තිබුණෙ නෑ. මොකද, මේ වැල්ල කිට්ටුව පොල් ගස් මදින එක සේතං කලේ අදක ඊයෙක ඉඳල නෙමේ. ඉතිං මේ ගස් වලට ගොඩ වෙන එක සේතංට කඩපාඩමින් වගේ කරන්න පුලුවන්. අඩිය තියන්න හදල තියෙන පා රුකුල් වගේම, අතුර තියෙන සීමා මායිමුත් සේතංට හොඳට හුරුයි. ඒත්, තවත් වැස්සක් ඇදහැලෙන්න හොඳටම කිට්ටු වග තේරුණු නිසාවෙන්ම ඔහු යුහුසුළුව තමන්ගේ වැඩේ නිරත උනේ, තව ගස් 3,4කටම ගොඩ වීමට තියෙනවා කියල මතක් උන හින්දයි. ඒත් උදේ ඉඳන්ම වැඩ කරපු නිසා ඇඟට තිබ්බ තෙහෙට්ටුවයි, වැහි හිරිකඩ වැදීම හින්ද ඇඟට තිබ්බ අපහසුතාවයයි වගේම දිනෙන් දින වයසට යන තමන්ගෙ අතපය සේතංට දක්වපු වලංගු නැති බවයි හින්ද ඔහු හිතපු තරම් ඉක්මනටම වැඩ ටික කරන්න හම්බුනේ නම් නෑ. මේ වෙලාවට, ඇඟේ පතේ අමාරුවටයි, සීතලටයි හරි යන දිව්‍යමය ඖෂධය, උණුම උණු තේ කහට කෝප්පයක් කියල සේතංට හිතුණත්, ගෙදර ගිහිල්ලත් තේකක් හදාගත යුත්තේ තමන් විසින්ම යයි සිහිවන විට, තේකක් බීම ගැන ඔහුට ඇති උනේ උදාසීනත්වයක්. කොන්ද නමාගෙන තමන් කල කාර්යය නිමවූ හෙතෙම, යලිදු කෙලින් වී ඊලඟ ගසට යාමට පෙර ගිමන් හරිද්දී, ඔහුගේ හිත අතීතයට ඇදිල ගියේ අසුරු සැණිනුයි.
ජේන් නෝනා ඉන්න කාලෙ, තමාගේ ජීවිතය කොයිතරම් නම් සුවපහසු ලෙස ගත වුණාද කියල, සේතං මතක් කෙරුවෙ ශෝකයෙන් බර වුණ සිතින්. සරල ජීවිතයක් ගත කරපු අඹුසැමියො දෙපල, ගමේ කොයි කාගෙත් දුකට සැපට හවුල් වෙමින් සුහදව හිටපු හැටි මතක් වෙද්දි, සේතංගේ හිතට පුංචි ආඩම්බරයකුත් නොදැණුනාම නෙමේ. තමන්ට දරුවන් නොමැතිව සිටි කාලයේ තමන් විඳි සිත් වේදනාවන් නිසාවෙන්ම, අනාත නිවාසයකින් කෙලි පොඩ්ඩක් ගෙන, තමාගේම දියණියක මෙන් හදා වඩා ගත් සැටිත්, එයින් වසර දෙකක් ගෙවුණ තැන ජේන් නෝනා ගැබ්බර වූ සැටිත්, තමන්ගේම ලෙයින් සැදුනු පුතු පැටියෙකුට ජේන් නෝනා ජිවය දුන් සැටිත්, ඉඳින් පසු දුව සහ පුතා ඇස් දෙක මෙන් රැක බලා ගැනීමට තමාත් ජේන් නෝනත් දිවා රෑ නොබලා වෙහෙසුණු සැටිත්, ඉගෙනීමෙහි දක්ෂයෙකු වූ පුතා පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වුණ සැටිත්, එදායින් පසු ගමේ ඉස්කෝල මහත්මාගේ සහ පංසලේ ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි බෝඩිමක නවතා, පුතාව කොළඹ ලොකු කොලීජියකට යවපු සැටිත්, ගමට කුලී වැඩ සඳහා පැමිණි පුද්ගලයෙකු හා රැවටී දුව වහන් වී ගිය සැටිත්, එදා සිට දුව ගැන කිසිදු ආරංචියක් නොමැති කමින් ජේන් නෝනා ඇඩු කඳුලින් දවස් ගෙවූ සැටිත් සේතංගේ ඇස් ඉස්සරහ මැවිල පෙණුනෙ, දැනට අවුරුදු ගණනාවකට උඩදි, ටවුමෙ හෝල් එකේ බලපු චිත්‍තරපටියෙ වගේ, විශාල රූප රාමු වලින්. කෙතරම් දුක් මහන්සි වී කොල්ලාට උගන්වා විස්ස විද්දාලෙට යැව්වත්, කුරිරු ඊර්ෂ්‍යාකාරයින්, නවක වධය මුවාවෙන් තම ආදරණීය පුතාගෙ ජීවිතය උදුරා ගත් සැටිත්, සේතං මතක් කලේ කීරිගැහෙන හදවතින්. ජේන් නෝනාගෙ තුන් අවුරුද්දෙ දානෙත් දීල දැන් මාස දෙකක් විතර ගත වුණා නේද කියලත් ඔය හැමදෙයක් අස්සෙ සේතංට මතක් වුණා. මේ අල්පේච්ඡ ජීවිතයක් ගත කරන සරල අහිංසක මනුස්සයගෙ ඇස්, කඳුළින් බර කරන්නට, ඒ අතීත මතක සටහන් ටික නොමසුරුව දායක වෙලා තිබුණා.
හිරි පොද වැස්ස අතරේ ඉඳහිට වැටෙන මොරගෙඩි තරම් විශාල වැහි බිංදු මැද, සේතං එහා ගහට යන්න අතුරට ගොඩ උනේ ඇස් වල කඳුළු පිහා ගන්නවත් කාලය අපතේ යවන්නේ නැතුවයි. තමන්, මේ පාලු මූසල හැන්දෑවේ පොල් ගහක් උඩට වෙලා කඳුළු හෙලනවා බලන්න තරම් තමන් ගැන උනන්දු වන කෙනෙක් මේ පොලව උඩ දැන් නෑ කියන එක මතක් වෙන වාරයක් පාසා සේතංගේ හිත පෑරී කඳුළු අලුත් උණා. සුළගේ වේගය එන්න එන්නම දරුණු වුවත්, විදුලි කෙටීමෙන් ඇස් නිලංකාර වී ගියත්, ඉතිරි ගස් කීපයේත් වැඩ අහවර වන තුරැ ඔහු අතුරෙන් බැස්සේ නෑ. අනිත් හැමදාම වගේ අදත්, සියනේරිස් මුදලාලි තමන් වෙනුවෙන් වෙන් කර තබන පාන් බාගය ගෙදර යන ගමන් රැගෙන ගොස්, ලූණු ගෙඩියක් සමග සප්පායම් වී ඉක්මනින්ම නින්දට යාමට සේතංගේ ගත ඔහුට බලකරන අතරවාරයේ ඔහු අවසන් ගසෙන් බිමට බැස්සා.
ඒ සමගම වාගේ අහස දෙදරා හඬන්නට වූයේ, මේ අසරණයා තම වැඩ කොටස අවසන් කරන තුරු වැස්ස වළාහක දෙවියන් බලා සිටියාක් වගේ. සෙනෙහස් ඉඩෝරයකට මැදිව සරල ජිවිතයක් ගෙවන මේ අහිංසක මිනිසා, අසරණකම දෝරේ ගලන මහ වරුසාවේ නිවස කරා යාමට තම පාපැදියට බර දුන්නා.
මලිත් චතුරංග සමරසිංහ
Auckland