Home ShortStory ඔහුගෙ ජීවිතයේ හොඳම දවස – විකාස් ප්‍රකාශ් ජෝශී

ඔහුගෙ ජීවිතයේ හොඳම දවස – විකාස් ප්‍රකාශ් ජෝශී


පරිවර්තනය – චූලානන්ද සමරනායක

නරඹන්නො හැමෝම පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙද්දි ඇදගත්ත හුස්මෙන් බලා හිටියා. එයාලා හරිම කැළඹීමෙන් අත් එකටෙක අතුල්ලන්න ගත්තා. මේ තමයි ඒ හැමෝම පුල පුලා බලා හිටපු මොහොත.
පූනෙයි වලට සැප්තැම්බර් මාසෙදි පායන සෞම්‍ය උදා හිරු එළයෙ නැහැවෙමින් තිබුණ කාද්කි පාපන්දු ක්‍රීඩාංගනය පුරා ‘හැපිලා බලමු ඩිස් ’ කියලා වගේම ‘හාං, එමු බලන්න රෝයල්ස්ලා.’ වගේ ගිරිය යටින් කරන ගෝෂාව රැව් පිළිරැව් දුන්නා. මේ තමයි පූනෙයි වල වයස දහතුනෙන් පහළ පාසල් පාපන්දු තරඟාවලියෙ අවසන් තරගය පැවැත්වෙන දවස. ඩයමන්ඩ් ජාත්‍යන්තර පාසලේ දැල් රකින්නා හැටියට සෙල්ලම් කරන සින්නමන් පරන්ජාපේ දැල් රකින වෙලාවට දාගන්න එයාගෙ අත් ආවරණයි කොල පාට ජර්සියයි හරිගස්සගෙන දත කාගෙන බලා හිටියා. මේ දඬුවම් පහර වලක්ව ගන්න එක මොන තරම් තීරණාත්මකද කියලා එයා හොඳටම දැනගෙන හිටියා.

දැන් ඔන්න ලකුණු පුවරුවෙ සටහන් වෙලා තිබුණෙ 2.1 කියලයි. ඒ අවුරුදු දහයකට පස්සෙ පළමු වතාවට ඩිස්ලගෙ වාසියට. මේ වතාවෙ නම් ඩිස්ලට ප්‍රතිවාදී කණ්ඩායම වෙච්ච රෝයල් නැෂනල් ඇකඩමියෙ කණ්ඩායම පරාජයට පත් කරලා කුසලානය දිනාගන්න හැකියාව තිබුණා. තමන්ගෙ නිල ක්‍රීඩා ඇඳුම ඒ කියන්නෙ රතු පාට කමිසයයි කලිසමයි ඇඳලා දිග මේස් දාලා ආර්එන්ඒ කණ්ඩායම පිටියෙ වම් පැත්තට වෙන්න හිටගෙන හිටියා. ඒ අතරෙ තමන්ගෙ තද කොල පාට ක්‍රීඩා ඇඳුම ඇඳගෙන ‘වී ඩිස්’ කණ්ඩායම අනෙක් පැත්තෙ සූදානමින් හිටියා. සින්නමන් දකුණු පැත්තට හැරිලා තමන්ගෙ කණ්ඩායමට සහය පලකරන අය දිහා බැලුවා. මහා හයියෙන් කෑ
ගගා තමන්ව දිරිගන්වන කොල පාට ඇඳගත්ත දෙමව්පියන් සහ යාළු මිත්‍රයෝ රංචුවක්. එයාලා අතේ වතුර බෝතල්, කෙසෙල් ගෙඩි, ගැටොරාඩේ කියන ශක්තිජනක පළතුරු බීම බෝතල් වගේම තවත් ශක්තිජනක බීම ජාති තිබුණා- ඒ ඔක්කොම ඉතිං යෞවන ක්‍රීඩකයන්ට අවශ්‍ය දේවල් තමයි.

සින්නමන් කොළ පාට පෝලෝ ටී කමිසයකුයි කලිසමකුයි ඇඳගෙන තමන්ගෙ අයි පෑඩ් එකෙන් සියල්ලම වාර්තා කරගනිමින් ඉන්න තාත්තව ඇහැට කොටු කරගත්තා. සුදු පාට දිග කමිසයක් එක්ක කොල පාට සල්වාර් එකක් ඇඳගෙන එයා ළඟින්ම හිටපු අම්මා හරිම උද්‍යෝගයෙන් කැ ගැහුවා. ‘ගෝ සින්නමන් ගෝ. යන්න දෙන්නෙපා සින්නමන්.’ එහෙම කෑගාන ගමන් එයා ඇඟිලි දෙකක් කටට දාලා විසිල් ගැහුවත් එක්ක. ඔය අස්සෙ සින්නමන්ගේ හොඳම යෙහෙළිය පල්ලවී තාත්තා ළඟම වාඩිවෙලා පෝස්ටරයක් වැනුවා- ‘ලෝකේ කොයි අත බැලුවත්- ඩිස් ලා තමයි වැඩකාරයො.’ සින්නමන් ඉස්සරහ බැලුවා. එයාගෙ කණ්ඩායම පිට්ටනියෙ ඉන්නවා. නායක හර්ප්‍රීට්, චෝටා සිධූ, එයාලගෙ හොඳම ආරක්ෂකයා ඕනාම් කුට්ටි එක්ක ඩිස් පාපන්දු කණ්ඩායමේ අනෙක් සගයො. පුහුණුකාර ෂෙට්ටි සර් නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. ඒ අයගෙ මුහුණ වල තියෙන අසහනකාරී පෙනුම වැඩිවෙන හැටි සින්නමන් දැක්කා. තදින් හුස්මක් ගත්ත එයා යාඥා කරන්න වුණා.


රිශාබ් කෙශ්වානි ඒ කියන්නෙ ආර්එන් ඒ කණ්ඩායමේ හොඳම ප්‍රහාරකයා දඬුවම් පහර එල්ල කරන්න නියමිත ස්ථානයට වෙලා සූදානමින් බලා හිටියා. රිශාබ් ඒ වෙද්දිත් මුළු තරඟාවලියෙම වැඩිම ගෝල් අරගත්ත ක්‍රීඩකයා වෙලා ඉවරයි. ‘ඇර රිශාබ් ඇර. ඇර රිශාබ් ඇර.’ එයාගෙ කණ්ඩායමේ සගයො හයියෙන් කෑගානවා. රිශාබ් සාමාන්‍යයෙන් නියම මොස්තරයට තියෙන ඒත් දැන් දාඩියෙන් බත් වෙච්ච, පස්සට පීරපු කොණ්ඩෙ අතින් පිරිමැදලා පන්දුව තියෙන තැනට දුවගෙන එන්න පටන් ගත්තා. ඔය වෙලාවෙ පුහුණුකරු ෂෙට්ටි සර්ගෙ වචන සින්නමන්ගෙ දෙසවන් තුළ දෝංකාර දෙන්න ගත්තා. ‘හොඳට මතක තියා ගන්න, රිශාබ් තමුන්ගෙ ගෝල් වලින් වැඩි හරියක් අරගෙන තියෙන්නෙ ගෝල් එකේ වම් පැත්තෙ උඩට හරි යටට හරි පන්දුව එල්ල කරලයි. ඒ කියන්නෙ ඔයාගෙ දකුණු පැත්ත.’ සින්නමන් තදට හුස්මක් අරගෙන බිමටම පාත් වෙලා නියපොතුවලින් තමන්ගෙ දෙපාවල කලව හරිය මිරිකාගත්තා. චකිතය වැඩිකමටම නරඹන්නො ඉඳගෙන හිටපු ආසනවලින් නැගිට්ටා.
‘ඩහ්.’
සින්නමන් මහත් විශ්වාසයෙන් ඒ වගේම කිසිම බයක් නැතුව දකුණට බරවෙලා දැලේ සුදු පාට කනු ආසන්නයට පැන්නා. කාලය එහෙමම නතරවුනා වගේ වුනා.
සින්මන් ආයෙ දනිපනිගාලා නැගිටිද්දි වෙලා තියෙන දේ මොකක්ද කියලා රිශාබ්ගෙ මූනෙ හොඳට සටහන් වෙලා තිබුණා.
රිශාබ්ගෙ පහර නතර කරන්න දරපු උත්සාහයත් එක්ක බිමට ඇදගෙන වැටිලා සින්නමන්ගෙ අත් දෙකයි මුළු ඇඟමයි දැවිල්ලයි, ඒත් ඉතිං ඒකට මොකද මෙන්න කණ්ඩායම් නායක හර්ප්‍රීට් එයා ගාවට පිම්මෙ දුවගෙන එනවා. ‘වරේවා, ලම්බු දාස්.’ එහෙම කෑගාගෙන දුවන් ආපු හර්ප්‍රීට් ඉස්සරහට පැනලා සින්නමන්ව කිටිකිටියෙ බදාගත්තා.
‘සුබ පැුතුම් සින්නමන්.’
‘ගොල්කීපර්ට ජයවේවා. සින්නමන්ට ජයවේවා.’
දැන් නම් කෑගාලා කියන උද්යෝග පාඨ එයාගෙ කනට නිකං මී පැණි වගේ. අවුරුදු දහයකට පස්සෙ ඩිස් ලා පාපන්දු තරගාවලිය ජය අරගෙන. ටික වෙලාවකට පස්සෙ පුහුණුකාර ෂෙට්ටි සර් සින්නමන්ව කරට ගත්තා, ඊට පස්සෙ මුළු කණ්ඩායමම ජයග්‍රාහී සිතින් පිට්ටනිය වටේට දිවුවා.
ඊට පස්සෙ ඔන්න ඔක්කොම ඉණ හරියට එල්ලිලා තියෙන් පදක්කම් බෙල්ලෙ එල්ලගෙන, කණ්ඩායමේ හරි මැද රෝයල් ස්වර්ණ කුසලානය තියාගෙන සමූහ ඡායාරූපයක් ගන්න එකතු වුනා. වැඩිම ගෝල් ලබාගත් ක්‍රීඩකයගෙ පදක්කම ලැබුණෙ රිශාබ්ට. ඒ අතරෙ සින්නමන්ට තරගාවලියේ හොඳම දැල් රකින්නා පදක්කම ලැබුණා.
තරගාවසානෙන් පස්සේ තාත්තයි අම්මයි සින්නමන් ගාවට ඇවිත් සෙල්ෆි අරගත්තා.
ඊට පස්සෙ ළමයි ඔක්කොම එකතු වෙලා ගෙදර යන්න බස් එකට ගොඩවුනා. එහෙම යන අතරෙ හරිම සතුටින් එයාලා ඉක්බාල් ගායනා කරන අශායෙයින් කියන
ගීය ගායනා කරන්න ගත්තා. සින්නමන්ට නම් දැනුනෙ තමන්ගෙ ජීවිතේ වටිනාම දවස එදාය කියලයි.
අන්තිමේ ගෙරදර ගාවදි බස් එකෙන් බැස්සහම සින්නමන්ට එයාලගෙ ස්කෝඩා ඔක්ටාවියා කාර් එක නිවාස සංකීර්ණයෙ රථ ගාලෙ නතරකරලා තියෙනවද කියල බලාගන්න ඉවසිල්ලක් නැති වුණා. අම්ම ඇඳුම් මාරු කරගන්න කියලා රෑ හතට කලින් ගෙදර ඇවිල්ලා හිටියා.
තාත්තයි අම්මයි තාත්තගෙ කාර්යාල කාමරේ හිටියා. අම්ම ඒ වෙනකම් කියව කියවා හිටපු රතු පාට ලොකු නීති පොත පැත්තකින් තියලා එයාගෙ ඉලඇට කූඩුව ඇඹරෙන
තරම් තදින් එයාව බදාගත්තා.
‘උත්තමාචාර.’ තාත්තා එහෙම කියලා පහක් දාලා ආයෙම එයාගෙ පිටටත් තට්ටුවක්
දැම්මා. එයාලා එදා රෑට කෑවෙ පූරියි. අම්රාසුයි, බරාටා චී බාජියි.
සින්නමන් ඇස් දෙක බබලද්දි තරගෙ ගැන විස්තර කරන්න ගත්තා. ‘ රිශාබ්ව මෙල්ල කරන්න බලාගෙන ඉන්න ඕනැ කියලා අපි දැනගෙන හිටියා. ඒ හින්දා මුළු ටීම් එකම මිනිහා ගැන ඇහැ ගහගෙනයි හිටියෙ. මුල් වටයෙදි හර්ප්‍රීට් ගොල් දෙකක් ගැහුවනෙ. ඔන්න ඊට පස්සෙ රිශාබ් ගෝල් එකක් ගැහුවා. තරගෙ ඉවර වෙනකම්ම මං හිටියෙ බොක්ක රත් වෙලා. ඔය පෙනල්ටි කික් එක ඒ තරම්ම බය හිතෙනවා.’
‘හර්ප්‍රීට් ගොල් දෙකක් ගැහුවා තමයි. හැබැයි ඔයා ඊටත් වඩා අරගොල්ලන්ගෙ ගෝල් නතර කළානෙ. සර්දාරුයි අසර්දාරුයි, නියම කුට්ටම.’ තාත්තා විහිළු කළා.
‘ඉස්කෝලෙ යන කාලෙ මාත් ක්‍රීඩාවට හරි දක්ෂයි, සින්නමන්. දැන් මගෙ පුතත්.’ එයාගෙ ඔළුව අතගාන ගමන් අම්මා කිවුවා.
‘බසුන්දරා ගෝෂාල් පරන්ජාපේ, ඔයා ඉස්කෝලෙදි හැම විෂයකටම ඉහලම ලකුණු
ගත්තනෙ. ඒ වගේම ඔයා ක්‍රීඩා ශූරියකුත් වෙලා හිටියනෙ. ඔයා ගියෙ මොන ඉස්කෝලෙටද කියලා මට කියනවද?’
අම්මා තාත්තා කියපු දේ ගනං නොගෙන එයාගෙ පිපිලා තියෙන රන්වන් පාට පූරි එකත් එක්ක ඔට්ටු වෙන්න ගත්තා. හැබැයි තාත්තගෙ මූණෙන් නම් පෙනුනෙ අම්මගෙ පතුල තාත්තගෙ කකුලෙ පැටලෙනව කියලයි.
සින්නමන් තාත්තගෙයි අම්මගෙයි මූණු දිහා බැලුවා. ඒත් එක්කම එයාගෙ හිතේ හදිසි කල්පනාවක් පහල වුණා.
‘අම්මා, මගෙ මූණ කාගෙ වගේද? ඔයාගෙද නැත්නම් තාත්තගෙ වගේද?’

අම්මා බොහොම සැලකිල්ලෙන් රිදී පාට වයිරම් වැටිලා තියෙන, නළලට උඩින් කොටට කපල දාපු එයාගෙ කොණ්ඩෙ අතගාලා බැලුවා. ඒ තමයි එයාගෙ අලුත්ම කොණ්ඩ මෝස්තරය. එයාට තිබුණෙ ටිකක් ගොරෝසු, තෙල් ගතියක් තියෙන හමක්. ඒ වගේම එයා මිටියි.
තාත්තා ‘චක්’ ගාන ගමන් එයාගෙ කෙසඟ, තලෙලු කකුල් දෙක දිගෑරියා. එයාගෙ අළු පාටට හුරු ඇස් දෙක දිළිහුණා. ‘ඔයාට මේ අපි වාගෙ වෙන්න ඕනැ ඇයි? ඔයා ඔය ඉන්න විධිහටත් ලස්සනයි නෙ.’ එදා නිදාගන්න යන්න කලින් එයා කණ්නාඩියෙන් තමුන්ගෙ මූණ බැලුවා. කණ්නාඩියෙන් කොල්ලෙක් එබිලා බැලුවා. බොහොම සාන්තදාන්ත කෙනෙක්. මේක හැමදාම උදේට එයා දකින මූණ වුනත් මේ දවස්වල නම් එයා හැම තිස්සෙම ඒ දිහා බැලුවා.
නෙරළා ආපු කම්මුල් ඇට, අඳුරුවන් සම, පොකුටු කොණ්ඩෙ, එක්ක දඟකාර, කුතුහලයෙන් පිරිච්ච චොකලට් පාට ඇස් දෙක, එයා දිහාට එබිලා බැලුවා. ඔව්, සින්නමන්, නියම නම කියනව නම් රොෂාන් රිශිකේෂ් පරන්ජාපේ එයාගෙ දෙමවුපියන්ට වඩා වෙනස් තමයි-විශේෂයෙන්ම තාත්තට වඩා. එයා ඒ ගැන හුඟක් වෙලාවලදි එක එක තාලෙට අහලා තියෙනවා-කුතුහලයෙන්, සැකෙන්, කුඩුකේඩුකමින්, තවත් සමහර වෙලාවට නිකම් ප්‍රකාශයක් වගේ කියන හැටි අහලා
තියෙනවා.
‘ඔයාගෙ පෙනුම වෙනස්නෙ.’
ඇඳේ වකුටු වෙලා එයා කල්පනා කරන්න පටන් ගත්තා. ඒක ඇත්ත තමයි. මට තියෙන්නෙ තාත්තගෙ වගේ මූණක් නෙවෙයි. අම්මගෙ වගේ මූණකුත් නෙවෙයි. මට තියෙන්නෙ මගෙම මූණ. එයා එහෙම කල්පනා කළා. වැදගත්ම දේ ඒක තමයි.ඔන්න ඉතිං බ්‍රසීලයට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන අවසාන තරගෙදි තමුන් ඉන්දියානු දැල් රකින්නා හැටියට සෙල්ලම් කරනවා හීනෙන් දකිමින් එයා නින්දට වැටුණා. තරගය පැවැත්වුණේ මුම්බායි වල. අගමැතිතුමා සහ තවත් සම්භාවණීය අමුත්තන් ඉදිරිපිට. තව බොලිවුඩ්වල ප්‍රසිද්ධම සිනමා තාරකාවන් වගේම අම්මයි තාත්තයිත් හිටියා. ඇයි පල්ලවි අක්කා, පල්ලි, එයා බොහොම උද්‍යෝගයෙන් ඉන්දියානු ජාතික කොඩිය වැනුවා. නරඹන්නො ලවක් දෙවක් නැතුව එයාලගෙ වූවූසේලාවල් නාද කළා. සිනමන්ගෙන් ගැලවිලා එක ගෝල් එකක්වත් ගහන්න බැරිවුන හින්දා බ්‍රසීල කණ්ඩායම පරාද වුණා.
හැම ක්‍රීඩකයටම රන් පදක්කම ගානෙ ලැබුණා. තව කුසලාන එක්ක යෝධ චෙක්පතකුත් ලැබුණ කිවුවහම. හැබැයි සින්නමන්ට විශේෂම තෑග්ගක් තිබුණා. අගමැතිතුමා සින්නමන්ට තරගයේ වීරයා සම්මානය පිරිනැමුවා. ඊට පස්සෙ ඒ අය අර යෝධ තරාදියකට නැත්නම් තුලාබරණම් එකට සින්නමන්ව නග්ගලා බර බලලා එයාට
තමුන්ගෙ බරට සමාන හරිම මුදු යෝධ පෘට් ඇන්ඩ් නට් චොකලට් එකක් දුන්නා. ඒක ගෙදර ගේන්න නම් එයාලට කාර් එකකුත් කුලියට ගන්න වුනා. ඒක නම් ඉතිං රසම රස පැණි බේරෙන හීනයක්ම තමයි.

විකාස් ප්‍රකාශ් ජෝශීAbout the Writer

Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.