පන්තිය ඉවරවුන ගමන් මම බෑග් එකත් උස්සගෙන දිග අඩි තියන්න ගත්තෙ ගෙදර ගිහින් කරන්න තියෙන වැඩ කන්දරාව ඊයෙට වඩා තප්පරේකින් හරි වේලාසන ඉවර කරගත්තොත් ඒ තප්පරෙත් තව ටිකක් නිදියගන්න පුළුවන් නිසයි.
වෙල මැද්දෙන් ගම්මානෙ පාරෙන් දුවගෙන වගේ ආපු ගමන බාල වුනේ දෙපැත්තෙ කුඹුරු වලින් හමාගෙන ආපු හීන් සුළන් රැල්ල විද ගන්න හිතට දැනුන ලෝභ කමට. සිලි සිලි ගාගෙන හමන සුළඟේ තාලෙට කිරි ගොයම් කරල් ටිකත් වැනෙනව. මට හිනා ගියා.
ගොයම් කරල් නටන්නෙ සුළඟට දැනෙන සනීපෙටද නැත්නම් තමුන්ගෙ ලස්සන විදහගෙන තාල අල්ලන්න පුළුවන් වුන ආඩම්බරේටද… මම කල්පනා කලා.
“උඹ දැන් ගිනිකසය වගේ දුවන් ආවෙ වෙල ලගට වෙලා ගොයම් කරල් අතගාන්නද සරා…. “
දර්ශිගෙ කටහඩට කල්පනා ලෝකෙ බිද වැටෙද්දියි දැනුනෙ මම ගමනත් නවත්තගෙනයි ඉදල තියෙන්නෙ කියල. හීල්ලුනේ ඉබේටම…
” නෑ බං හුලන් පාරට නැවතුනා ” මම ආපහු ගමන පටන් ගත්තා.
” දැන් ඉතින් ගිහින් අනිත් රාජකාරි පටන් ගන්න එපෑ නේද බං.” දර්ශි කිව්වෙ මගේ අතින් අල්ලගන්න ගමන්.
” හ්ම්ම්….. ” මම හර්ශිගෙ අත පද්දන්න පටන් ගත්ත අපි ඇවිදින වේගෙට ගැලපෙන්න.
“උඹ හරි පව් සරා…. මම වගේ නම් දමල ගහල ගිහින් ගොඩක් කල් ” දර්ශි නැවතිල කියද්දි ඒ ඇස් දෙකේ අනුකම්පාව දැකල ආපහු අළුතෙන් පපුව කීරි ගැහුන.
“ලොක්කි… නංගිට ඇග හෝදගන්න අර බැරල් එකට වතුර පුරවපන් ඉක්මනට ”
අම්ම කෑගැහුවෙ මම ගෙයි පඩියෙ කැන්වස් සපත්තු දෙක ගලවද්දි.ඉතින් පටන් ගත්ත මගේ අනිත් රාජකාරි ටික.
වතුර ඇදල ඉවරවෙලා කුස්සියෙ වලන් හෝදල අස්පස් කරන්න ඕන. ඊට පස්සෙ පාන් පිටි කිලෝ පහක් තැම්බෙන්න තියල රෑට කැම ටික කනව. ඊටපස්සෙ පැයක් විතර ඉස්කෝලෙ වැඩක් කරනව. ඊටත් පස්සෙ තැම්බුන පිටි ටික හලලා , පොල් සම්බෝලෙට , පෑන්කේක් වලට ඕන පොල් ගාලා නිදියද්දි දොළහ එක වෙලා. ආපහු පාන්දර තුනට නැගිටල අම්මට ඉදිආප්ප එකට පිටි අනල මම පෑන්කේක් හදනව. සමහර දවසට අම්මට අමාරැනම් ඉදිආප්ප මිරිකන්නෙත් මමම තමා.
තාත්ත නැති වුනාට පස්සෙ මට වුනේ අර කබලෙන් ලිපට වැටුන උන්දැට වුනදේම තමා. අම්මගෙයි නංගිගෙයි නපුරැකම් දරන්න බැරි තරම්. ඒත් මගෙ දුකෙන් මිදෙන්න සියදිවි නහගන්න තරම්වත් හිතහදාගන්න බැරි තරමයි.
නංගිගෙ බොරැ කේලමකට මුණ ඉදිමෙන්නම ගහලත් මම එක කදුළක් වට්ටගත්තෙ නැති කේන්තියට අම්ම මෝල් ගහෙන් මගෙ යටිබඩට ගහපු දවසෙනම් වේදනාව ඉවසගන්න බැරැව මම මී පාසානම් කන්න ගියා තමයි. ඒත් වස පෙට්ටිය අතට ගත්තම හිතුන මම මහ බයගුල්ලෙක් කියල. පන්තියෙ ඉන්න දගම කෙල්ල මම වෙච්චි එහෙම කොහොම පරාද වෙන්නද…
මතු සම්බන්දයි…
තවත් යශෝධරාවක් – කෙටි කතාව පළමු කොටස
– Part 01 –
A Short Story by Inoka Dilmini – Auckland