ඉස්කෝලෙ උසස්පෙල වානිජ පන්ති වලට අල්ලපු වැටේ තියන හිස් ඉඩමට ටවුන් එකේ මාළු කඩකාරයො කුණු ගෙනත් දානව. ඒ ගදට ඉගෙන ගන්නව තියා අහලකින් යන්නවත් හිතන්න බැහැ. ඉස්කෝලෙන් පෙත්සම් ගැහුවට , දේශපාලකයින්ට කිවුවට වෙනසක් වුනේ නැහැ. ඉතින් අපි තිරණය කලා උද්ඝෝෂණයක් පවත්වන්න. හැබැයි සාමකාම්ව.

” එකෙක් හරි වලියක් දාගත්තොත් මම උඹලගෙ හතර හන්දි කඩනව ”

පාරට බහින්න ලැස්ති වෙලා මම සෙක්ෂන් එකේ කොල්ලො ටිකට අනතුරැ ඇගෙව්ව.

” උඹ කියනව නම් පන හරි දෙනව සරා….. ” චානකය කෑ ගැහුව.

“නිම්සරා… කිසිම කලබලයක් නැතුව සාමකාමිව මේ උද්ඝෝෂණය තියන්න ඕන”. පුධාන ශිෂ්‍යනායිකාව වෙච්ච මට ඒ අවවාදය මුල් ගුරැතුමාගෙන්.

අපේ විරෝධතාවය දැක්වෙන කාඩ්බෝඩ් ටිකත් උස්සගෙන කිසිම කරදරයක් නැතුව අපි පැයක් විතර ඉන්න ඇති. පස්සෙ කොල්ලො පුරෝගත්ත වෑන් එකක් ඇවිත් නවත්තද්දි අපි හැමෝම එකරොත්තට ලං වෙලා හිටගත්තෙ එනපොට හොද නෑ කියල දැනුන හන්දයි.

” මොකද නංගිල මල්ලිලට ඉස්කෝලෙ ඇතුලෙ ඉඩ නැතුවද පාරට බැහල ”

” අපි සාමකාම් විරෝධතාවක් අයියෙ. බෝඩ් ටික අයියලට කියවගන්න පුළුවන්නෙ… ” දමිත් කිව්වෙ විරෝධතාවෙ පෙරමුණෙන් හිටපු මගෙ ඉස්සරහින් හිටගන්න ගමන්.

“අම්මෝහ්…..”

ඉස්සෙල්ලම ගඩොල් කෑලි පාර වැදුනෙ දමිත්ට. මම පැනල දමිත්ව වාරැ කරගෙන ඔළුව ඉස්සුවෙ ගහපු එකා බලාගන්න. ඒත් එතකොටත් මම පරක්කු වැඩියි. උඩින් පියාඹගෙන ආපු ගඩොල මගෙ නලළ මැද්දෙ වැදෙන්න තප්පරයක්වත් යන්න නැතුව ඇති. දමිත්වත් ඇදගෙනම මාව බිම ඉන්දුනා ඒ පාරට.

“අඩෝව්….. ”

” ඔක්කෝමල ඉස්කෝලෙ ඇතුලට යමල්ල දැන්…. ” මම කෑගැහුවෙ අපේ කොල්ලො ටික රණ්ඩුවට පනින්න හදද්දිමයි. දර්ශි මගෙ අතින් අල්ලල නැගිට්ටවද්දි දමිත්ව වානක වාරැ කරගන්නව මම දැක්ක.

“උඹට අමාරැද දමියො… ? මං ඇහුවෙ දමිත්ගෙන්.

“මට එච්චර අවුලක් නැ බං. උඹට නම් බෙහෙත් දාන්න වෙයි.උඹේ නලළ පැලිල. ”

දෙසැරයක් විතර වටාපිටාව අදුරැ වෙද්දි මම හයියෙන් ඇහිපිල්ලම් ගැහුවෙ කලන්තෙ දාල ඇදන් නොවැටෙන්න හිතන්. ඒත් කන් දෙකත් හෝ ගාගෙන ඇස් නිලංකාර වෙද්දි මම දර්ශිගෙ අත තදකරල අල්ල ගත්ත. දර්ශි මං දිහාට හැරැනෙත් කවුරැහරි තදට අල්ලන් මාව තුරැල් කරගත්තෙත් ඒ තප්පරේට.

“තාත්තෙ….. ” ඒ ලෙංගතු උනුහුම මාව තවත් තදට තුරැළු කර ගත්ත.

ආපහු ඇස් ඇරෙද්දි මම උන්නෙ ඇදක. ඒසි එකේ හිතලට මට හිරිගඩු පිපෙද්දි කාමරේ පැත්තක තිබුන දොරකින් දර්ශි එළියට ආවා.

” සරා…… උඹට ගොඩක් අමාරැද…. මගෙ නම් පණ ගියා බන් උඹ එහෙම වැටුනම. දැන් ඩොක්ට උඹව එක්ස්රේ එකක් ගන්න යවයි. අපි හොදටම බය වුනා බන්. ” දර්ශි හැල්මෙ කියවගෙන ගියා.

“සිතලයි දර්ශි…… ” මම කිවුවම දර්ශි කකුල් වලට දාල තිබුන බෙඩ්ෂිට් එකක් මගෙ උරිස්ස ලගටම දැම්ම. එතකොටයි මම දැක්කෙ දර්ශිගෙ ඇස්දෙකෙන් එලියට පනින්න පොරකන කදුළු කන්දරාව.

“ලොකු අමාරැවක් නැ දර්ශි… බයවෙන්නෙපා. උඹ මේ මාව කොහාටද ගෙනාවෙ ”

“ මේ දෙහිවල මෙඩිකල් සෙන්ටර් එක සරා… උඹ වැටෙද්දි දෙනෙත් අයිය කෙහෙන්දෝ මතු වෙලා උඹව උස්ස ගත්ත. මට යමු කියල උගෙ කාර් එකට අපි දෙන්නවම දාගෙන මෙහෙට අරන් ආවා. දැනුත් පිස්සෙක් වගේ ඩොක්ටර් පස්සෙන් වැටුන උඹට සිරියස්ද අහගෙන. ඌ පව් සරා…. ”

දෙනෙත්ගෙ නම ඇහෙද්දි මම ඇස් දෙක තදකරල පියා ගත්ත. නලලෙ වේදනාවට වැඩි වේදනාවක් දෙනෙත් මාව අරන් ආපු එක හිතට එකතු කලා.

අපේ ගමේ සල්ලිකාර පවුල්වලින් එකක් වෙච්ච තෙන්නකෝන් නඩුකාරයගෙ එකම දරැව වුන දෙනෙත් රන්සර තෙන්නකෝන් මට ආදරෙයි කිව්වෙ තාත්ත නැතිවෙච්ච දවසෙ ගමේ කනත්තෙදි. මම දර්ශිට වාරැ වෙලා විලාප තියද්දි දෙනෙත් එයාගෙ තාත්ත පස්සෙන් ඇවිත් ” දුර්වල වෙන්නෙපා සරා…. ඔයාට මම ඉන්නම්. ආදරෙයි පණටත් වැඩියෙන් ” කියල කිවුවෙ මගෙ හිස්මුදුනට අත තියාගෙන. එදා ඉදන් අද වෙනකන් අවුරැදු දෙකක් මම ඔළුව උස්සල දෙනෙත් දිහා බැලුවෙ නැහැ. ඒ හුස්මක් වැදෙන දුරකටවත් නොයා ඉන්න මම දැගලුව. එහෙමයි කියල දෙනෙත් ඈත් උනෙත් නැ. මෙඩිකල් කොලේජ් ගිහින් ඇවිත් හවසට මගෙ පන්තිය ලග ඉදන් අපේ ගෙවල් පේන මානෙකට වෙනකම්ම හැමදාම දෙනෙත් මගෙ පස්සෙන් ආවා. ආපහු මගෙ කනට ඇහෙන්න සරා කියලවත් නොකිව්වට මගෙ හෙවනැල්ල උනේ දෙනෙත්. රත්නායක මදලාලිගෙ කඩේ හවසට අපි දාන ඉදිආප්ප . පෑන්කේක් ඉතුරැ වුනොත් එව ඔක්කොම උස්සන් යන්නෙ දෙනෙත්. ඒ අපිට පාඩු නොවෙන්න.

“සරා දැන් දෙනෙත් අයිය ආවම නපුරැකම් කරන්නෙපා බන්. මං වෙනුවෙන් සද්ද නැතුව හිටපන් ”

ඉතින් එක්ස්රේ එකකුත් අරන් නලළට බෙහෙත් දාල ගෙදර යන්න අපි හොස්පිට්ල් එකෙන් එලියට එනකන්ම මම ආපහු ඇස් උස්සල බැළුවෙ නෑ.

ඒත් එලියට ඇවිත් දර්ශි දෙනෙත් පස්සෙන් කාර් පාර්ක් එකට යන්න යද්දි මම නැවතුනා. දර්ශිට කලින් මාත් එක්කම දෙනෙත් නැවතුනා.

” ඔයාට පින් මාව හොස්පිට්ල් අරන් ඇවිත් බෙහෙත් කලාට. මට දැන් අමාරැ නැහැ. ඒ නිසා අපි බස්සෙකේ ගෙදර යන්නම් ” මම කිව්වෙ දෙනෙත්ගෙ ෂර්ට් එකෙ බොත්තම් පේලියට.

වචනයක් වත් නොකියා අතින් ඇදන් ගිහින් දෙනෙත් මාව ඉන්දෙව්ව කාර් එකේ පිටිපස්සෙ සිට් එකෙ. ඊට පස්සෙ දර්ශිත් ඇවිත් වාඩි වුනා.

ආපහු මම කතාකරන්න හැදුවෙ දෙනෙත්ගෙ වාහනෙ අපේ ගෙවල් පාරට හැරවෙද්දි. වාහනේ මැද තියෙන කණ්නාඩියෙන් බලල දෙනෙත් ඇස්වලින් කිවුවෙ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මාව ගෙදර දොරකඩටම ගෙනියනව කියලයි. නහයෙන් උඩටම වතුරෙ ගිලුන එකේ තවමොනවට කැගහන්නද කියල මම කරබාගත්ත.අද ඉතින් අම්ම කොහොමත් අතේ පයේ හිරි ඇරගන්න එකනෙ.

” ආ ….. ඔය එන්නෙ රස්තියාදුකාරි… අම්මප උඹට ලැජ්ජ නැද්ද ලොක්කියෙ අපිට මෙහෙම ලැජ්ජ කරන්න…”

අම්ම දෙස්දෙවොල් දෙන්න ගත්තෙ මම කාර් එකෙන් බහිනකොටමයි.

” හෙට හම්බවෙමු දර්ශි . යන්නම් ⁣අයියෙ ” කියාගෙන මම වත්තට ඇවිත් ගෙටගොඩවෙන⁣ කොටම අම්ම ඇදල අරන් ගහපු කම්මුල් පාරට මාව මිදුලට විසික් වුනා. එතකොටත් මිදුලටම ඇවිත් හිටිය දෙනෙත්ගෙ අත මිට මෙලවුනෙත් දර්ශි ඒ අත් තදකරල අල්ලගත්තෙත් එක සැරේට.

“සරාගෙ වරදක් නැ ඇන්ටි. අපි හැමෝටම තුවාලයි. සරාට තමා ලොකුම ගල් පාර වැදුනෙ.ඒකයි නලළට මැහුම් දැම්මෙ… ” දර්ශි නිදහසට කාරනා කිවුවෙ මාව නැගිට්ටවන ගමන්. අපි හැමෝටම පොදුවෙ රවල අම්ම ගෙට ගිහින් දොර වැහු⁣ව.

“මාව අපේ ලොකු පුංචිලගෙ ගෙදරින් බස්සන්න ” මම දෙනෙත්ට කිව්වෙ ආපහු කාර් එකේ වාඩි වෙන ගමන්.

ඉතින් ආපහු උසස්පෙල ඉවර වෙනකම්ම මම නැවතුනෙ ලොකු පුංචි ලග.

 
මතු සම්බන්දයි…
තවත් යශෝධරාවක් – කෙටි කතාව 
– Part 02 –
A Short Story by Inoka Dilmini – Auckland

_____________________________________________________

You can make a contribution from as little as $1.

Be part of our story, and help us tell yours.