fbpx
5.3 C
New Zealand
Monday, August 8, 2022

The Only Sri Lankan Community Newspaper in New Zealand

නායකයෝ -සේවයක රස කතා | ජී.එස්.පෙරෙරා | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ශබ්ද විකාශන යන්ත්‍රය පන ගන්වා මම කතාව ආරම්භ කළත් රියැදුරු ජයසේකර පිටුපසින් පැමිණ මට බාධා කළේය. 

‘සර්. එපා-’

‘ඇයි?’ මම හිතුවක්කාර වුණෙමි. ‘සහෝදරවරුනි, සහෝදරියනි, අපි අද ආවේ නායකත්ව පුහුණු කදවුර පවත්වන්නයි. අපේ රටේ නායකයො කියල කියන්න පුළුවන් කෙනෙක් හිටිය නම් ඒ කවුද? මහාමාන්‍ය ඩී එස් සේනානායක. අප්පාහ්! පින්තූරයක් විතරක් බලන්න පරාක්‍රමබාහු-’ 

 ‘සර්…’

‘රජ්ජුරුවන්ගේ පදාස රැවුල. මහා කළු සිංහලයා. සුද්දට පයින් ගහන්න පුළුවන් අපූරු හැඩි දැඩි නැඩයා, සර් ජෝන් කොතලාවල. පුරා කූඹියෙකුටවත් හිංසාවක් නැති බෝසත් ඩඩ්ලි සේනානායක. සලමන් ඩයස් රිජ්වේ ඩයස් බංඩාරනායක. පේනවද නමකත් තියන දිග පළල විතරක්. ආර්.පේමදාස. පැල්පතින් ජනාධිපති කමට. ආන් නායකයෝ. ඒත් හරි-’ 

වැඩමුළුවට හෝ රැස්වීමට කිසිවෙක් පැමිණ නොසිටියහ. කොලොන්න, මහාවිද්‍යාල වත්ත ගෙවී ගිය තැන බස් පාර අයිනේ කරෝලිස් අප්පුහාමිගේ තේ කඩේ බංකු මත ඉඳගත් ගැමියෝ කීපදෙනෙක් වරිච්චියෙන් බැඳි කොට බිත්තියට මුවා වී එබිකම් කළහ. ගැමියන් නිවෙස් තුළම සිට අපට සවන් දෙන බව මම දැන සිටියෙමි.

‘සර්-’

‘මේ ඔක්කොම නායකයින් කරපුවා පුංචි තුණ්ඩු කෑල්ලකින් මුළු රටේම අස්සක් මුල්ලක් නෑර නවත්තලා දාන්න පුළුවන් අද නායකයා කවුද? රෝහණ විජේවීර. අන්න නායකයෝ. ’

‘සර්… මැස්සෙක්වත් නැති හිස් හෝල් එහෙකට කතා කරන්නෙ පිස්සුද සර් -’

‘නායකය කියන එක්කෙනා වෙලාවට මතුවෙනව-’ 

‘සර්…සර්…’ ජයසේකර මගේ උරහිසෙන් අල්ලා සෙලවීය. ‘මුන්ගෙ නියෝගය කිසිම රජයේ වැඩ කටයුත්තකට සහභාගි වෙන්න එපා කියලා.’

පාසල් භූමිය මායිමෙහි රිල්ල පඳුරු අස්සෙන් කළුවන් හිස් ගෙඩි කිහිපයක් මතු වී ආවේය. රැවුලින් නිකට වැසී ගිය තරුණයන් වූ ඔවුන්ගේ දෑස් රාත්‍රියේ එල්ල වූ කෑලි දොළහේ විදුලිය පන්දම් එළි මෙන් තියුණු වීය. බෝර දොළහේ තුවක්කු බට හතරක් පහක් අප දෙස කට අයා බලා සිටියේ ය. 

‘කවුද ඒ නායකයො කියන්නෙ? බස් එක එලෝන මාටින් අය්යගෙ ළමයි. ටිකට් කඩන පීටර අය්යගෙ ළමයි. මේ කොලොන්නෙ, මේ විජේරියෙ, මේ සූරිය කන්දෙ, මේ මඩුවන්වල, මේ ඇඹිලිපිටියෙ-’

‘සර්, ආන්න උන් තුවක්කු බට ටික පල්ලෙහාට දාගෙන ඉඳගත්ත.’ ජයසේකර විශාල හුස්මක් පිට කළේය.

‘ඒ මිනිස්සුන්ට වෙඩි තියල මරල දැම්මම, අපේ නායකයින්ට යන කල මොකක්ද?’

‘සර්. සර්. ආන් උන් ආයෙ එක්කාසු වෙනව. මෙතනින් මාරුවෙලා පැනල යමු. උන්ට ඉලක්කය වරදින්න තරම් සර් කොහොම වෙතත් මම නම් පිංකරල නෑ. දෙය්යම්ප.’ 

පඳුරු අස්සෙන් සැඟවුණ හිස් ගණන වැඩි වූ අතර ඊට සමානුපාතිකව බෝර දොළහේ යකඩ බටද වැඩි වන්නට වීය. එකවරම නැගුණු වෙඩි හඬක් සමග මිදුලේ වූ අඹ පැලයේ අත්තක කොළ දලු මල් සුනු විසුනු වී ගියේය. එය හඹා ආ තවත් වෙඩිල්ලකින් බොරලු පොළොව හෑරී වැලි පස් ගල් දුම් දා සීසීකඩ විසිවී ගියේය. ජයසේකර ශබ්ද වාහිනිය විසන්ධි කර දමා මගේ අතින් ඇදගෙන ගුරු නිවාසය මැදින් පිළිකන්නට වැද අයිනක නතර කර තිබූ ජීප් රථයට පැන ගත්තේය. මරහඬ දී ගත් පැජරෝව කොලොන්න-සූරියකන්ද පාරේ සියලුම වංගු පාලම් බෝක්කු කෙළින් කරගෙන විජේරිය හරහා ඉගිල්ලී යද්දී, ජයසේකරගේ දකුණු උඩුතොල සමච්චල් හිනා ඉරකින්  ඉහළට තල්ලු වී ගියේය. කඩමන්ඩිය පහුකරන විට ඔහුගේ වමැ’ස කොන මා දෙසට නැටුවේය .

‘සර්, මගේ ළමයි කණගාටු වෙන්නේ මං මැරෙනවට නෙමෙයි. මේ මෝඩ ඇට්ටිඹි කොල්ලන්ගෙ කිරිල්ල බට තුවක්කු වලින් වෙඩි කාලා ඇටමැස්සො වගෙ අහු මුල්ලක මැරෙන එක ගැනයි. මැරෙනවත් වෙලා මැරෙන්න ඕනැ උන් එකෙකුට මේං මගේ අප්පච්චි කියල මිණියවත් පෙන්නන්න පුළුවන් වෙන විදිහටයි,’ ඔහු කියවන්නට වීය.

‘රක්වාන කඩමණ්ඩියේ නවත්තලා තේ එකක් හෙම බීලා මහන්සි ඇරගෙන යමු .’ මම යෝජනා කළෙමි. 

‘බලමු,’ කියා සුක්කානම දෙස බලාගත් ජයසේකර තවත් වේගයෙන් පෑගුවේය. ‘මුන් අපි ෆලෝ කරන්න ඉඩ තියෙනවා,’ ඔහු කීවේය. ‘මිනිස් පුලුටක් නැති කැලේ…’ ඔහු තව මොන මොනවාදෝ කීවේය.

දහවන වංගුව ඉසව්වේ සිට බලන විට, හැතැප්ම හත අටක් පහතින් තැන තැන ඇටවූ කුකුල්කූඩු ලෙස රක්වාන නගරය හා ගෙවල් දොරවල් පෙනුණේය. අප යායුතු පාර, පළවැනි වංගුව දක්වා දඟරගසා පහළට දුව ගොස් තිබුණේය. සීතල මාරුතය පැඟිරි මානම තලව් කර ටෙලිපෝන් කම්බිපටවල හැපී ළතෝනි දුන්නේය. පාන් බාගේ වගේ පෙනුණේ බස්නැවතුමේ නතර කර තිබූ ලංගම බසයකි. තේ කහට රස ඉවට මගේ දිව-තොල නලියන්නට වීය.

ජයසේකර නැවත ජීප් රථයේ වේගය වැඩි කළේය. ‘ඔය නරිජ්ජ කොල්ලන්ට දවාලක නම් කාක්කෙකුටවත් වෙඩිල්ලක් තියාගන්න බෑ. ඒත් නරක වෙලාවට මෝල්ගහත් පත්තුවෙනව කියනව නෙව සර්.’ ඔහු කියවන්නට වීය. 

‘ඇත්ත. අපි යමු.’ මම මගේ ගැලවුම් කාරයට කීවෙමි. 

එහෙත් ක්ෂණයෙන් ඔහුගේ දෙපා තද වීය. ජීප් රථයේ ඉදිරි වම්පස බම්පරය යමක හැපී පාරෙන් ඉවතට පැන ගල් බැම්ම උඩ ඔංචිලි පැද්දේය. රේඩියේටර් දුම බොනට්ටු පියන ගස්සමින්  කැහැගෙන කැහැගෙන ගියේය. මම හිස හරවා පල්ලම දෙස බැලුවෙමි. රෝදය තව අඟල් කාලක් ඉස්සරහට ගියානම්! අප අවුරුද්දක් පැඟිරිමානමේ පෙරළෙනවා සිකුරුය.

‘පාර බ්ලොක් සර්. ගල් දාලා. පාදඩ බල්ලො.’ ජයසේකර දත් මිටි කෑවේය.

මිනිත්තුවකින්, වසා තිබුණු වීදුරුවලට, කවුදෝ තට්ටුවක් දැම්මේය. රතු තොප්පිය, කෙසඟ සිරුර, චේ ගුවේරා රැවුල ඒ කවුදැයි මට සංඥාවක් දුන්නේය.

‘ඇයි මොනවද ඕනෑ?’ යාන්තමට වීදුරුව පහත් කළ ජයසේකර ඇසුවේය. 

‘බිමට!’ බැටන්පොල්ලක් වනමින් අමුත්තා කීවේය. 

‘ඇයි?’ මම හදිසි අමුත්තාගෙන් ඇසුවෙමි.

‘සමාවෙන්න ඕනේ. සාකච්ඡා සම්මන්ත්‍රණ තියන්න බෑ. වරාය, ප්‍රවාහනය, විදුලිය, තැපෑල, බැංකු, ඔක්කෝම වහල. රට සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා. ධනපති ආන්ඩුව ගෙදර යවන දේශප්‍රේමී අරගලයට විරුද්ධ වෙන සෑම හොරිකඩයෙක්ම සාක්කි නැතිව මරා දමන්න අපට උපදෙස් ලැබිලා තියෙනවා. නිකරුනේ දේශප්‍රේමීන් දහස් ගණන් හැමතැනම ඝාතනය කර දාලා තියෙනවා. මේවට අපි ලේ වලින් පළිගන්නවා. බහින්න පුළුවන්.’ අමුත්තා බැටන් පොල්ලෙන් තර්ජනය කරද්දී තවත් දෙතුන් දෙනෙක් පොලු මුගුරු අත දරා අපගේ ඉරියවු වලට ඉව අල්ලමින් සිටියහ.

‘හරි.’ ජයසේකරගේ දොර ඇරුණේය. එකවරම රථයේ වහළින් අඩි තුනක පමණ දිග දිලිසෙන කඩුවක් ඇදගත් මේ නීලමහා යෝධයා සුළං දෙබෑ කරගෙන ඉදිරියට පැන්නේය. විදුලිය වේගයෙන් වැදුණ ජයසේකරගේ සපත්තු පාරට ළඟම සිටි මුගුරු කාරයා විසි වී ගොස් ඉවුර අයිනේ වූ වතුර කාණුවට වැටුණේය. ඒ සමගම හරියට  චිත්‍රපටියක වීරයාට ගහන්නට එන ද්‍රෝහියාගේ අනෙක් සගයා මුගුර අත දරා ඉදිරිපත් වීය. කඩුව ඔහුගේ නිකටෙන් තැබූ ජයසේකර බඩට දුන් පහරකින් ඔහු තාර පාරේම වක ගැසී ගත්තේය. අත තිබූ ලීමුගුර ඉවතට වීසි කළ තෙවැන්නා එතැනම තිබූ ටර්පන්ටයින් ගසේ බඳකට මුවා වීය. හැසිරුණ ආකාරයෙන්, අපට බිමට බැසීමට අණ දුන්නේ නායකයා විය හැක. ඔහු ඉදිරිපත් වීය.

‘මොකද?’ජයසේකර පොළවේ අඩි හැප්පුවේය. ‘ඔළු කටු සුනු විසුණු වෙන්න ඕනැද? බඩු තියනවා ජීප් එකේ. ගන්නද එකක්?’

‘කරදර කරන්න එපා. අපට කියන්නකො සර්ල කවුද කියල.’ නායකයා ඉල්ලා සිටියේය.

‘දැන ගන්නම ඕනද?’ ජයසේකර අතහැරියේ නැත. ‘විජේරිය, කොලොන්න, කෑල්ල, ඇඹිලිපිටිය හැමතැනම අපේ කොල්ලෝ මරලා දාලා තියෙනවා කියලා මට වාර්තාවෙලා තියෙනවා. මෙහෙ සංවිධානවල තරුණයො මට කෙලින්ම කතා කරනවා.’

අමුත්තා කරමල කඩා ගත්තේය. ‘එතකොට…,’ ඔහු යාප්පු වුණේය.

‘මම ඇඹිලිපිටිය කොලොන්න රක්වාන පොලිස් ඕ.අයි. සී. ල තුන්දෙනාම මාරු කරනව.’ 

‘එතකොට…’ අමුත්තා නැවතත් යමක් කියන්නට ඇඹරුණේය. 

 ‘ඔව්.’ ජයසේකර හිස වනා ප්‍රශ්න කෙළේය. 

‘අපට කියන්නකො සර්ල කවුද කියලා.’ 

‘අහගනිල්ල ඒ ඕ.අයි. සී. ලගෙන්ම, ඩී.අයි.ජී. රොද්‍රිගු කියන්නෙ කවුද කියල.’

‘එහෙනම් සර් අඳුරනවා ඇති අපේ චන්ද්‍රපාල සහෝදරයා.’ 

‘එහෙනම්.’ 

‘සර්ලා යන්න.’ කී ඔහු අනෙක් සගයන් දෙදෙනාට සංඥාවක් දුන්නේය. ඔව්හු ජීප් රථය පාරට තල්ලු කර හිස නමා කැලයට වැදුණෝය. රථය පල්ලම බැස රක්වාන පෙට්‍රල්ෂෙඩ් එක ඉදිරිපිට නතර වූ පසු අපි දෙදෙනා මුහුණට මුහුණ බලා ගත්තෙමු. එකම දින තෙවරක් මා මරණයෙන් බේරාගත් මේ දේහධාරී පුද්ගලයා රියැදුරෙකු පමණක් නොවන බව පසක් වෙත්ම ආදරය මුසුකරගත් ගෞරවයෙන් මගේ දෙතොල වියලී ගියේය.

‘ඇයි සර්?’

‘නෑ.’ ඔහුට සිනවකින් පිළිතුරු දුන් මම, මගේ කතාව නතර කළ තැන ආවර්ජනය කළෙමි. ‘නායකය කියන එක්කෙනා වෙලාවට මතුවෙනව-’ 

බාරවත්ත පැක්ටරියේ ඇඹරෙන තේ දලු සුවඳ යළි අප ආක්‍රමණය කළේය.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.