පෙරවරු 9.00 ට පසුව ඕක්ලන්ඩ් බස් රථවල බොහෝ විට ගමන් කරන්නේ මගීන් සුළු පිරිසකි. නගරය මධ්‍යයේ වාහන නැවතීම අසීරු වු බැවින් මින් පෙර ගොස් නොතිබූ ස්ථානයකට යාමට එක් දිනක් මම බස් රියකට ගොඩ වූයෙමි. රියදුරු මහතාට සුබ පතා මා යා යුතු ස්ථානය ගැන ඔහුගෙන් විමසූ විට ඉතා කාරුණිකව ඒ ස්ථානයේදී මට දැනුම් දෙන බව පැවසුයෙන් මම ඔහුට ආසන්නයේ වූ සුවබර අසුනකට බර වූයෙමි. මුළු බස් රියේම සිටියේ මඟීන් කීප දෙනෙකි. 

සුවබර අසුනේ පහසුව විඳිමින් සිටි මට එක්වරම ලංකාවේදී තරුණ වියේ සම වයසේ පසු වූ මිතුරු මිතුරියන් සමඟ බස් රියේ ගමන් කළ ප්‍රීතිමත් දවස් මතකයට නැගුණි.  උදේ 7.10ට පිලියන්දල සිට ටවුන්හෝල් දක්වා ධාවනය වූ බස් රිය අපේ රජදහන විය. සෑම දිනකම එකම වෙලාවට ගිය මඟීන් පිරිස සමඟ බස් රථයේ රියදුරා හා කොන්දොස්තරද දැන හැඳුනුම්කමක් ඇති කර ගෙන තිබූ අතර කා අතරත් සුහදත්වයක් ගොඩ නැඟී තිබුණි. පිලියන්දලින් පසුව ප්‍රධාන නගරවල පමණක් නැවැත් වූ බස්රථය අර්ධ සීඝ්‍රගාමී වූ අතර ගොඩ වෙන අයගේ හෑන්ඩ්බෑග්, කෑම පාර්සල්වලින් අපේ ඔඩොක්කු උඩ පිරී ගියේ කාලයත් සමඟ එකිනෙකා හඳුනා ගෙන සිටි බැවිනි. 

කලාතුරකින් දිනක බස් රියට ගොඩ වූ ගැබිණි මවකට හෝ ස්වාමීන්වහන්සේ නමකට ආසනය දෙන්නට සිදු වුණා හැරෙන්නට පිලියන්දල සිට ටවුන්හෝල් දක්වා හිඳ ගෙන ගිය ආසන අපටම වෙන් කරවා ගත් ලෙසට විය. 

එක් උදෑසනක නොසිතූ ලෙස කඩා වැණු මහා වැස්සකින් බස් පෝලිම හිරකඩින් වැසී ගියෙන් බස්රථයට ගොඩ වෙන විට අපේ සාරි තෙත බරිව ඇඟට වෙලී තිබුණි. තද වැස්ස නිසා බස් රියට මඟ දිගට නැගුණු සියල්ලන්ම මුහුණ දී තිබුණේත්  අප මුහුණ පා තිබූ ඉරණමටමය.  

නිතර සිනාමුසු මුහුණෙන් හා පිරුණු අඟපසඟින් යුත් විවාහක කාන්තාවක් මගදී අපේ බස් රියට ගොඩ නැඟුන අතර ඇය ඉතාමත් ඉක්මනින්ම අප හැම දෙනාම ප්‍රිය කරන චරිතයක් විය. ඇය ඉපදී ඇත්තේ මහනුවර බවත් විවාහයෙන් පසුව කොළඹට පැමිණි බවත් අප දැන ගත් අතර මෑතකදී විවාපත් වී සිටි ඇය සමහර සති අන්තයක සෑදු රසකැවිල්ලක් අප සමඟ බෙදා ගන්නටත් අමතක නොකළාය. ටික කලකදී ඇය සමඟ අපේ පෙම්වතුන් ගැන හා රැකියාව ගැන කතා කරන්නට අප පුරුදු වු අතර ඒ කතා බහ අස්සේ බස් රථය අපට එකම රසගුලාවක් විය. 

මේ අධික වැසි දිනයේ ඇයද හොඳටම තෙමී සිටි අතර බස් රථයද මඟීන්ගෙන් පිරී තිබුණි. අමාරුවෙන් මගීන් පසු කර අපේ ආසන කරා පැමිණි ඇය නහය හකුළුවා ගෙන බැරෑරුම් මුහුණක් පෙන්වූවාය. ඇගේ ආම්පන්න අපිට දෙන ගමන්ම මඳක් උස් හඩින්, “අද බස් එකත් කසාදෙ වගේ,” යයි කීවෙන් එය ඇසුණු සියලු දෙනාම සිනාවෙන්නට පටන් ගත් අතර ඈ ළඟ සිටි මගේ අවිවාහක මිතුරියක් ඒ ඇයිදැයි ඇගෙන් ඇසුවාය.  “කසාද බඳින්න ඉන්න අයත් වැස්සෙ තෙමෙන අය වගේනෙ. හැමෝම බලන්නෙ කොහොම හරි බස් එකට නඟින්න. ඒත් නැග්ගට පස්සෙ තමයි තේරෙන්නෙ වැඩේ ලේසි නැතිබව,” යයි ඇය කියූ විට සියලු දෙනාටම සිනාව නතර කර ගැනීමට බැරි වූයේ ඒ වන විට තෙමුණ පිරිසගේ ගඳෙන් බස් රිය පිරී තිබුණු බැවිනි.

කාලයකට පසුව ඇය මාරුවීමක් ගෙන නුවරට ගියත් එදායින් පසු වැසි වැටුණ සෑම දිනයකම අපි ඇය ගැන මතක් කරමින් සිනාසුනෙමු. 

ඒ සුන්දර දවස් මතක් වී මගේ මුවඟට සිනාවක් නැගුණ අතර මා සිටි අසුනට අනෙක් පසින් තිබු අසුනේ සිටි වයසක මහතා ” තනිවම හිනා වෙන්නේ ඇයිදැයි,” මගෙන් ඇසුවත් මට ඔහුට පිළිතුරක් දෙන්නට කාලයක් නොවූයේ රියදුරු මහතා මගේ ගමනාන්තය මට මතක් කළ නිසාය. ඔහුට සිනාවකින් සංග්‍රහ කළ මම රියදුරු මහතාට ස්තූති කොට බස් රියෙන් බිමට බැස්සෙමි.  කිසිවකු මඟ අවුරා ගෙන නොතිබූ ඒ බස් රථයෙන් කරදරයක් නැතුව බැස ගත්තත් ලංකාවේදී ඒ දවස්වල මගීන් පිරී තිබු බස් රථයෙන් බැස ගන්නට ගත් වෙහෙස මට මතක් විය. සාරි පොට කෙනෙක්ගේ අතේය. බෑග් එකත් කෑම එකත් තවත් කෙනෙක් අතය. පොරකා නැගුන බස් රියෙන් හිරවී බැස්සායින් පසුව ගතට දැනුණේ මහත් අස්වැසිල්ලකි.  මේ රටේ පිරිසිදු මහ මඟ ඔස්සේ ඒ දවස් ගැන සිතමින් ඉදිරියට ඇවිද ගිය මට සිතේ මහත් ශෝකයක් ඇති වුයේ අද දවසේ කොයි තරම් පහසුකම් තිබුණත් වගකීමක් නැතිව කෙලිදෙලෙන් ගත කළ ඒ දවස්වල ජීවිතය මීට වඩා සුන්දර වූ නිසා විය හැකිය.  

ඉන්ද්‍රා දයාමනී කොළඹගේ