fbpx
13.7 C
New Zealand
Friday, April 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

දැනමුතුකම් – A Short Story by Sarajani Perera – Wellington

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ


“Hey Sara, Are you free for a coffee in the evening” සාරදා පරිගණක තිරය මතට යොමුවෙලා තිබ්බ දෑස් හඩ ආව පැත්තට යොමු කළා. ජෙනිෆර් ඒ ආසන්නයේම තිබ්බ ෆොටෝකොපි මැෂිමෙන් වැඩගන්න ගමන්ම උත්තරයක් බලාපොරොත්තුවෙන් සාරදා දිහා බලාගෙන හිටියා. “Don’t give an excuse this time” ජෙනිෆර්ව හිනාවක් එක්කම තරවටු හඩකින් ඇහුවා.  “Today I’m definitely coming” හීන් හිනාවක් එක්කම සාරදා තිරසාර හඩකින් උත්තර දුන්නා.

සාරදා නවසීලන්තයට ඇවිල්ලා මේ ගෙවෙන්නේ දසවන අවුරුද්ද. වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වුන සිය සැමියා නිසල් එක්ක නවසීලන්තයේ කූඩු හැදුව සාරදා ටික කාලයකින්ම මවක් වුණා. ලංකාවේ ඉන්නකොටත් වෘත්තිය ගෘහනිර්මාණ ශිල්පිනියක් විදියට වැඩ කරලා තිබ්බ ඇයට නවසීලන්තයෙන් රුකියාවක් හොයාගන්න අමාරු වුණේ නෑ. සාරදාට ලැබුණ රුකියා ස්ථානයත්, වෘත්තිය සගයනුත් නිසාම ඇය රුකියාව කලේ හරිම කැමැත්තෙන්. වෘත්තිමය සීමාවෙන් ඔබ්බට ගිය බැදීමක් මේ රුකියා ස්ථානයේ වැඩ කළ සුළු පිරිස අතර තිබ්බා. ඒ නිසාමද මන්දා සෑම සතියකම සිකුරාදා දවසට කට්ටියම එකතුවෙලා අවන්හලකට ගිහින්  කේපි කොප්පයක් රසවිදින ගමන්ම පොඩි කයියක් දාගෙන ඉන්න එක දැන් මේ පිරිසට නං අලුත් දෙයක් නෙමෙයි. ඒත් පහුගිය සති කීපයේම ගෙදර තිබ්බ සමහර වැඩ රාජකාරි නිසා ඇයට මේ කෝපි පිලිසදරට එකතු වෙන්න පුළුවන් වුණේ නෑ. ඒත් අද නං මේ කෝපි පිළිසදර මගහරින්න හේතුවක් සාරදාට තිබ්බේ නෑ.
ඇය නිසල්ට දුරකථන ඇමතුමක් ගත්තා.
“මේ ඔයා අද දුවව swimming lessonsවලට එක්කන් යනවද? මතකනේ අද අපේ team එක coffee එකකට යන දවසනේ. දුවව දාලා මාව ගන්න එන්න. පහමාර පහුවුනාට පස්සේ කෝච්චියට සෙනග වැඩි.”
“Okey මැඩම්. මම ඔයාට එන ගමන් කොල් එකක් දෙන්නං. මම පොඩි වැඩක ඉන්නේ. බායි.”
නිසල්ව, සාරදාට හම්බවෙන්නේ මංගල යෝජනාවක් මාර්ගයෙන්. දැක්ක දවසේම නිසල්ට හිත ඇදිලා ගියේ මොකද කියන්න තාමත් ඇය දන්නේ නෑ. සංසාරේ පතාගෙන ආපු නිසා වෙන්න ඇති. ඇය හැමවෙලාවකට ඒකට උත්තරේ විදියට හිතුවේ එහෙමයි. ඉදහිටක බත් හැලිය ඉදෙනකං විතරක් තියෙන පොඩි පොඩි මතගැටුම් ඇතිවුනත් ඇත්තටම ඔවුන්ගේ විවාහ ජීවිතය බොහෝම සුන්දරව ගලාගෙන ගියා.
කෝපි බොන්න ඔක්කොම හත් දෙනෙක් එකතුවෙලා තිබ්බා. ගෑනු පිරිමි අනුපාතය වුනේ පහට දෙකයි. පිරිමි පරාණ දෙකකට හිටියේ රයන් හා ලූක් විතරයි. බොහෝම මනරම් වටපිටාවක් තියෙන අවන්හලක් තමයි හැමදාමත් මේ පිරිසගේ තෝරාගැනීම වුනේ. කාලගුණයෙන් බාධාවක් නැතිනං ජනාකීර්ණ මාර්ගයක පිහිටා ඒ අවන්හලේ මාර්ගයට මුහුණලා තිබුණ එහිමහන් පරිසරයේ මේසයක් තමයි මේ කට්ටියගේ තිප්පොල වුණේ. කට්ටියම තම තමන්ට අවශ්‍ය දේවල් ඇනවුම් කලාට පස්සේ රයන් කැමැත්තෙන්ම වේටර් වැඩේ කරන්න බාරගත්තා. මේ වෙලාවේ හැමදාමත් වගේ ලලනාවෝ ටිකට වොෂ්රෑම් පැත්තට යන්න අවශ්‍ය වුනත් එහෙම අවශ්‍යතායක් තිබ්බේ නැති සාරදා පාරට මුහුණලා ඇති ආසනයක වාඩි වුණා. කඩිගුලක් ඇවිස්සිලා වගේ එහාට මෙහාට දුවන ගෑනු මිනිස්සු අතරින් දැකලා පුරුදු මූණක් සාරදා දැක්කා. සමන්ත අයියා. සමන්ත, මැදිවියත් පහුකරලා සැදෑ සමයට ආසන්න වෙලා ඉන්න, අවුරුදු තිහකටක් වැඩි කාලයක් නවසීලන්තයේම ජීවත්වුණ කෙනෙක්. දරු දෙන්නත් දැන් දීගතලා ගිහින්. සමන්ත, නිසල් හා සාරදාගේ ගරු බුහුමනට පාත්‍ර වුණ කෙනෙක්. වැඩිහිටියෙක්, නෑදෑයෙන් නැතිව ඉන්න මේ රට ජීවිතයේදී ඇති වෙන නොයෙක් ප්‍රශ්නවලට ගුරුහරුකම් දෙන්න සමන්ත නොපැකිලිව ඉදිරිපත් වුණා. ඊට අමතරව තිබ්බ සමිති සමාගමවලත් නිලතල කිහිපයකටම ඔහු තේරී පත්වුණේ නිතරගයෙන්මයි. බර කල්පනාවකින් ඇවිදගෙන ආපු සමන්ත අය්යා තමන්ව දැක්කේ නෑ කියලා හිතුනු  නිසාම සාරදා වාඩිවෙලා හිටපු ආසනයෙන් නැගිටලා “සමන්ත අය්යා” කියලා ටිකක් හය්යෙන් කතා කලා. ඉද්ද ගැහුවා වගේ නැවතුන සමන්ත වටපිට බැලුවා. තමන් දිහාවට හැරුණු, හිනාවෙන මූණ අදුනගත්තු සමන්තත් හිනාවක් එක්කම සාරදා හිටිය තැනට ගියා. “ඒ මං මේ බැලුවා මේ වෙලාවේ කවුද මට සිංහලෙන් කතා කරන්න මෙහෙ ඉන්නේ කියලා. මේ අපේ සාරදා නංගිනේ. කෝ නිසල් මල්ලි” ඒ ප්‍රශ්නේ අහන ගමන්ම සමන්ත වටපිට බැලුවේ නිසල්ව කොහෙන් හරි දකින බාපොරොත්තුවෙන්. ඒ වෙනුවට එතනට ආවේ ඔවුන් ඇනවුම් කරපු කෑම බීම බන්දේසිය රැගත් රයන්. “I’ll be Right Back” එහෙම කියන ගමන්ම කෑම බන්දේසිය මේස උඩ කියපු රයන් ආයෙත් අවන්හල ඇතුලට ගියා.
“නෑ අය්යේ නිසල් ආවේ නෑ. මම මේ අපේ ඔෆිස් එකේ අයත් එක්ක ආවේ. අය්යත් එන්න මොනා හරි බීලා යන්න.”
සාරදාගේ ඇරයුම පිළිගන්නෙත් ප්‍රතික්ෂ්ප කරන්නෙත් නැතුව ටිකක් වෙලා බලන් හිටිය සමන්ත “ආ වෙන දවසක බැරියැ නංගි. මට පරක්කු වෙනවා. මං ගිහිල්ලා එන්නං.” කියාගෙනම කඩිමුඩියේ පියවර කීපයක්ම ඉස්සරහට තියලා මග නැවතිලා, නිසල් මල්ලිවත් මතක් කලා කියන්න” කියලා උස් හඩින් කියාගෙනම ජනගංගාව අතරටම එක්වුණා.
සාරදාගේ කාර්යාලීය සගයන්ගේ සාද කතාබහ ඉවරවේගෙන යනකොටම වගේ නිසල්ගේ දුරකථන ඇමතුම ආවා. “තව විනාඩි දෙකෙන් ඔතන.” ඒ විධානයත් එක්කම සගයන්ට සමුදුන්න සාරදා, නිසල් පදවන් ආ මෝටර් රථයට නැංගා.
“කොහොමද කට්ටියත් එක්ක ඔපදූප කියවලා මහන්සිත් ඇති නේ.” සාරදා රථයට නැංග ගමන් නිසල් සරදම්කාරි ස්වරූපයකින් කිව්වා. “අනේ අපි ඔය ඔපදූප කියවන්නේ නෑ හරිද?” ආදරණීය සිනාවකින්ම නිසල්ට සංග්‍රහ කරන ගමන්ම සාරදා හරිබැරිගැහිලා වැඩිවුණා. “දුව මුකුත් අමතක කරන්නේ නැතුව Swimming Lessonsවලට ගියා නේද?” නිසල්ට ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නත් ඉස්සෙල්ලා නිසල්ගේ ජංගම දුරකථනය නාද වුණා. “බලන්න කවුද කියලා.” නිසල් ගේ ඉල්ලීම ඉටු කරන්න ජංගම දුරකථනය අතට ගත්ත සාරදා දැක්කේ දුරකථන තීරයේ සමන්ත අය්යා ලෙස සටහන්ව ඇති බවයි.
“සමන්ත අය්යා”
“මොකද සමන්ත අය්යා මේ වෙලාවේ’ කොල් එක ස්පීකර් දන්න.” නිසල් කියපු දේ ඉටු කරන්න කලින් සාරදාගේ ගෑනු හිතට දැනුන දෙයක් නිසා “ඔයා මම මෙතන ඉන්නවා කියලා කියන්න එපා.” කියන ගමන්ම දුරකථනයට පිළිතුරු දෙන බොත්තම එබුවේ ඒ ඇයි කියලා අහන්නවත් අවසරයක් නිසල්ට නොදෙමින්.
“හෙලෝ”
“නිසල් මල්ලි, මේ සමන්ත අය්යා.”
“ආ.. අය්යේ ඉතිං කොහොමද”
“හොදින් ඉන්නවා මල්ලි. ඔයා මේ වැඩකද ඉන්නේ.”
“නෑ අය්යේ කියන්න.”
“අනේ මන්දා මල්ලි, මම මේ කල්පනා කළේ මේක කියනවද නැද්ද කියලා. මම මේ කියන්න යන දේ අහලා මල්ලි කලබල වෙන්න එපා. අද මට සිටි එකේදි සාරදා නංගිව හම්බවුණා. තනියම නෙමෙයි. තවත් කොල්ලෙක් එක්ක හොටේල් එකක. මාව දැක්ක ගමන්ම නංගිගේ මූණ වෙනස්වුන විදියෙන්ම මම දැනගත්තා මල්ලිත් එක්ක නෙමෙයි කියලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මම අර කොල්ලව දැක්කේ. මේවා දැක්කත් නොදැක්ක ගානට යන එක අපේ යුතුකමක් නෙමෙයිනේ මල්ලි. අපේ මේ කොණ්ඩේ කළු වුණේ අකලටම නෙමෙයිනේ මල්ලි. ඔය වගේ සිද්ධි නං මෙහේ ඔන තරං. මම මේ වැඩිහිටියෙක් විදියට ඔයාට දැනමුතුකමක් දෙන්න කථා කළේ. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න තියාගන්නේ මොකටද? නේද? පොඩ්ඩක් සාරදා නංගි ගැන ක්ලපනාවෙන් ඉන්න. පව්, අන්තිමට ඉතින් අර පොඩි කෙල්ලට අම්මා කෙනෙක් නැති වෙන එක තමයි වෙන්නේ.”
නිසල් සාරදාගේ මූණ බැලුවේ මේ මොන විලම්බීත කතාවක්ද කියලා හිතාගන්න බැරුව. හැබැයි සාරදා නං කටින් පනින්න හදන හිනාව නවත්ත ගන්න උත්සාහ කරන ගමන්ම මම පස්සේ කින්නං කියලා ගොලු බාසාවෙන් නිසල්ට සංඥා කළා.
“ආ.. ඔව් අය්යේ මං දන්නාවා.”
“මොකක්? ඔයත් දැනුවත්වද ඔය ආශ්‍රය තියෙන්නේ”
“අද සාරදා එයාගේ ඔෆීස් එකේ කට්ටිය එක්ක කො‌ෆි එකකට යනවා කියලා මට කියලා ගියේ. මම මේ දැන් එයාව ගන්න යන ගමන්. අය්යා දකින්න ඇත්තේ එයාගේ ඔෆීස් එකේ යාළුවෙක්ව. යාළුකටම ගෑනු පිරිමි බාධාවක් නෑනේ අය්යේ. අනිත් එක සාරදාව මට විශ්වාසයි. දෙන්නට දෙන්නගේ විශ්වාසේ නැතුව මේ වගේ රටවලට ඇවිල්ලා ඉහගහගෙන ඉන්න එකත් ලේසි නෑනේ.. නේද අය්යේ. මොනා වුනත් අය්යගේ දැනමුතුකමට ගොඩක් ස්තූතියි. මම සාරදාටත් කියන්නංකෝ.”
“ආ ඒකත් එහෙමද? මම තියන්නං මල්ලි. බායි”
…..සරාජනී පෙරේරා……
wellington
Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.