1960 දශකයේ මාවලාන ගමේ ජීවත් වූ වික්‍රම කුඩා දරුවෙකි. එම පිටිසර ගම මැදින් මාතර දෙනියාය තාර පාර දිවෙයි. ගමේ සියළු දෙනාගේ ආදරයට පාත්‍රවූ චරිත දෙකකි. මුළු දවසම විශාල පාන් පෙට්ටියක් පිටුපස බැඳ ගෙන පාන් විකුණූ ජේමිස් අයියා එක් අයෙකු විය. ඔහු තරම් බර ගෙනයාමට දක්ෂයෙකු හතර ගම් පළාතේ සිටියේ නැත. මාළු මුදලාලි, සිරිල්ගේ මාළු පෙට්ටිය ද සුළු පටු බරක් නොවුණි. අප්‍රේල් මාසය එළඹෙන විට කුඹුරු වැඩ අහවර කොට, ගමේ ජනයා සූදානම් වන්නේ අළුත් අවුරුදු මංගල්‍යටයි. පාසැල් නිවාඩුව නිසා ගමේ කොල්ලො කුරුට්ටන් විවිධ ජන ක්‍රීඩාවලය.
අල්ලපු නගරය වන කඹුරුපිටිය තරුණ කැළ ප්‍රදේශයේ වෙළඳ සංගමයේ සහයෝගයෙන් අළුත් අවුරුදු බයිසිකල් ධාවන තරඟයක් සංවිධානය කර තිබුණේ අවුරුදු දිනට පෙර දිනය. හැඩි දැඩි තරුණයකු වූ මාළු සිරිල්, තමාට හුරු බයිසිකලයෙන් මෙම තරඟයට ඉදිරිපත් වීමට තීරණය කළේ ය. මුළු දවසම හිරු බහින තෙක් ,ගල් ගොඩැලි මත කඳු පල්ලම්වල කරක්ගහන, ගත හිත දෙකම හයිය සිරිල්ට තරඟයේ හපනා විය හැකි බව සැකයක් නැති තරමටම පළාත පුරා ලැව්ගින්නක් සේ පැතිර යාමට එතරම් කලක් ගතවූයේ නැත. වික්‍රම ඇතුළු කොලු රැළ පාන් මාමාට වැඩිපුර ආදරය කළෝය. ඊට පසුදින උදේ ඔවුන් ජේමිස් අයියා වට කර ගත්තේ පාන් විකුණන්න සිල්ලර කඩය ළඟ බයිසිකලය නැවැත් වු විටය.
‘මාමේ... මාමත් බයිසිකල් රේස් එකට යන්නකෝ,‘
‘ඔව්. ඔව්. මාමා විතර බර ගෙනියන කවුරුවත් කොහෙද මේ ගම් පළාතේ. ගියොත් ඉතිං චැම්පියන් තමයි,‘
‘අපි ඔක්කොම මාමට තමයි සපෝට්. මාමා යන්නම ඕන රේස් එකට,‘ කොල්ලො කුරුට්ටො එකිනෙකා පරයමින් පාන් මුදලාලිට කරච්චල් කළෝය.
‘අනේ පුතේ මට පුරුදු නැහැ ඔය රේස් පැදලා,’ ජේමිස් අයියා දරුවන්ගේ හිස අතගාමින් පැවසුවේ තරමක් හඬිණි.
‘මොකද ජේමිස් පුරුදු නැත්තේ? හැමදාම පාන් රාත්තල් 100 කට වඩා මේ ගම් නියම් ගම්වල හතර දිග්බාගේ කරක් ගහන ඔහෙට බැරිනං කාටද රේස් පදින්න පුළුවන්,’ ඒ?’ කඩේ මුදලාලි දුන් උත්තරයෙන් කොළු රැළ තව තවත් පාන් මුදලාලිව දිරිමත් කළෝය.
‘හරි. හරි. මම එදාට අපේ ළමයි එක්ක උදව් කරන්නම් වියදම් මගෙන්,’ මුදලාලි පොරොන්දු විය.
‘වරද්දන්න එපා. සුජානම්වෙන්න. දිනන එක ගැන සැකයක් නැහැ. මාළු මුදලාලිත් පරද්දන්න ජේමිස්ට පුළුවන්,’ කඩේ බංකුවේ වාඩි වී සිටි කැළෑ ජෝන්ද මුදලාලිට අලගු තැබීය.
‘ඔව්. ඔව්. ඔහෙල කියන කතාව ඇත්ත. මේ බරකුත් එක්ක උදේ හවස පදින මට පෙට්ටිය නැත්තං යන්න පුළුවන් කුරුල්ලෙක් වගේ. ඔන්න පුතාලා හෙටම මම කියන්නන්කෝ මගේ තීරණෙ.’
‘අන්න හරි මාමේ. අන්න හරි,’ කොලු රැළ සතුටින් උඩපනිමින් කෑ ගැසුවෝය.
අප්‍රේල් 13 වන දින අළුත් අවුරුදු දින උදේ කඹුරුපිටිය බස්නැවතුම්පොළ ඉදිරියෙන් තරගය ආරම්භ වුයේ පළාතේ මන්ත්‍රීතුමා කොඩිය වැනීමෙනි. ඉදිරියෙන්ම සිටි මාළු සිරිල් හා පාන් ජේමිස් තම ජවය පෙන්වමින් තරඟයේ පෙරමුණ ගන්නාවිට තිහක් හතලිහක් පමණ උදව්වට ගිය මුදලාලි ඇතුළු කොලු රැළ ජයපතා ඔල්වරසන් දුන්නෝය. මුදලාලිගේ මයිනර් රථයට ගොඩවැදුණු තරුණයින් වතුර බාල්දි හා බීම පැකට් සමග ජේමිස්ට මෙන්ම මාළු සිරිල්ටත් උදව් කිරීමට රේස් එක පස්සෙන්ම ගිය අතර සෙස්සො කඩපිලේ දොඩමළු වූහ.
‘වික්‍රම කෝ මල් මාලේ?‘
‘සාගරගේ බැග් එක ඇතුළේ.‘
‘ජේමිස් මාමට ඉතිං තරඟයක් නෑ. දැක්ක නේද ඉස්සර වෙච්ච හැටි.’
‘ඒ වුණාට මාළු මාමා දිනුවොත්?’
‘කමක් නෑ. මාළු මාමා මොකෝ? පාන් මාමා මොකෝ?’
‘එහෙම වුණොත් මල් මාලේ මාළු මාමාට දාමු.‘
‘අපරාදෙ, අපිට මල්මාලා දෙකක්. ගේන්නයි තිබුණේ නේ වික්‍රම?’
කතාව නිසා කොලු ගැටවුන්ට පැය දෙක තුනක් ගත වූ බව අමතක වූහ.
බයිසිකල් ධාවන තරඟය එන බව ශබ්ද විකාශනය කරන මෝටර් රථය හඬ ඇසෙන විට නගරයේ රැස්ව සිටි ජනයා තරඟ අවසන්වන තැනට එක්රොක් වූහ. වැඩියෙන් උත්සුක වූයේ ජයග්‍රාහක පාර්ශ්වකරුවන් ය. වික්‍රම ඇතුළු කණ්ඩායම මල්මාලා සහ බීම බොතල් රැගෙන ජයග්‍රාහකයින් පිළිගැනීමට ඉදිරි පෙළ පොරකමින් සිටියහ. රැස් වු ජනයාගේ අත්පොලොසන් හා ප්‍රීති ඝෝෂා මැද ඉදිරියෙන්ම එන්නේ වොලිබෝල් ගහපු රණසිංහය. දහසක් බලාපොරෙත්තු කඩවූ කොලු රැළ ගොළු වූහ. නමුත් ඒ සමගම එක පොදියට එන බයිසිකල් අතර මාමලා අනිවාර්යයෙන්ම සිටිය යුතු යැයි වික්‍රමට මෙන්ම යහළුවන්ට සිතුණි. දැන් නං සියලුම තරඟකරුවන් පැමිණ අවසන් වෙමින් ඇත. මල්මාලය බෑගයට ඔබාගත් මිතුරන් වෙච්ච සිද්ධිය ගැන අන්ද මන්ද වන විට මාළු මාමා ඉදිරියෙනි.
‘අවසානයේ පාන් විකුණන වේගයෙන්.‘
ඊට පසුපසින් තරඟය අවසාන් කරන විට සියලු හිත මිතුරන් ‘පාන් මුදලාලි‘ වට කරගත්තෝය.
‘අනේ ළමයිනේ. මම බයිසිකලේ පදින කොට හැම තිස්සෙම මට දැනෙන්නේ ප්..ප්.. පාන් පෙට්ටිය පස්සෙ තියෙනවා වගෙයි ඉතිං කොහොමද හයියෙන් පදින්නෙ?’
‘මටත් වුණේ ඒකමයි,’ මාළු මුදලාලි ද ලැජ්ජාවෙන් කියනවිට කොලු–කුරුට්ටන් හිනා නොවී නවත්ත ගත්තේ අමාරුවෙනි.
By Daya Prathapasinghe – Auckland