fbpx
20.2 C
New Zealand
Monday, January 24, 2022

ආවර්ජනා-තාත්තා | ඉන්ද්‍රා දයාමණී කොළඹගේ | ඕක්ලන්ඩ්

Must read

ශ්‍රීLankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අවමංගල පෙරහැරේ දේහය තැන්පත් කර තිබු රන්සිවි ගෙය පිටුපස පද්මිණීගේ වත්තමින් ඇදී ගිය මම තුංමං හන්දියෙන් පෙරහැර සොහොන් බිමට හැරෙද්දී පාර දිගේ ඇදී ආ මහා සෙනඟ දුටුවෙමි. දේහය නිවසින් පිටතට ගනිද්දී අපේ වත්තේ පමණක් නොව පන්සල් වත්ත  පුරාද සෙනඟ පිරී සිටි හැටි මගේ මතකයේ විය. 

පාර දිගට මෙන්ම සුදුපාට කොඩි වැල්වලින්  මුළු සොහොන් බිමම සරසන්නට ඇත්තේ මල්ලීගේ මිතුරන් විය යුතුය. මේ තරම් සෙනඟක්. මැති ඇමැතිවරයෙකු හෝ වෙනත් ප්‍රභූවරයෙකු නොවූ මගේ තාත්තාගේ මළගමට මේ තරම් සෙනඟක් ඇදෙන්නට ඇත්තේ ඔහුගේ මනුස්සකම නිසා විය හැකිය. 

අනේ මගේ තාත්තා. අදින් පස්සෙ කවදාවත් නොදකින තාත්තා. කඳුළු කැට දෙනෙත් කෙවෙනි පුපුරා හැලෙමින් දෝර ගලන්නට විය. නංගීත් මල්ලීත් එකිනෙකා බදා ගෙන හඬමින් අම්මා පසුපස යන අයුරු මම අවසිහියෙන් මෙන් බලා සිටියෙමි. අදින් පස්සෙ අම්මා මොනවා කරයිද. කිසි දවසක කඩපිලකට හෝ නොගිය අම්මා හෙටින් පසු ජීවිතයට කෙසේ මුහුණ දෙයිද. තාත්තා කොයි තරම් වැඩ කන්දරාවක් කලාදැයි කීමටවත් මට මතක නැත. 

නිතරම මුහුණේ සිනහවක් ඇතුව කඩිසරව එහා මෙහා ගිය ඔහු අප තුන්දෙනාගේ සියළුම කටයුතු ඉටු කර දුන්නේ මහත් ඕනෑකමින්ය. මගේත් මල්ලීගේ හා නංගීගේත් මිතුරු මිතුරියන් අතර තාත්තා ඉතා ජනප්‍රිය කෙනෙකු විය. නිතරම විහිළු තහළුවෙන් කල් ගෙවු ඔහුට තරහකාරයෝ සිටියේ නැත. තාත්තා මිය ගොස් ගත වූ දින තුන මට සිහිනයක් මෙන් විය. අපට උදවු කරන්නට නෑදෑයින් හිත මිතුරන් මෙන්ම ගමේ විශාල පිරිසක්ද විය.  කවදත් හැම දෙනාගේම දුකට පිහිට වුනු තාත්තා කාරුණික මිනිසෙකු විය. ඔහු උදව් උපකාර කල මහා සෙනඟක් අද ඔහුට අවසන් ගෞරව දක්වන්නට පැමිණ ඇත.  

කාගේ හෝ විපතකදී මළගමකදී කෑම්බීම්වලින් හා මුදලින් අන් අයට උපකාර කල ඔහුගේ මළගමටද ප්‍රතිඋපකාර දැක්වූ මිනිස්සුන්ගෙන් නිවස පිරී තිබුණු අතර කෑම්බීම්වලින්ද අඩුවක් නොවීය. තාත්තාගේ දේහය දෙස අම්මා බලා සිටි අයුරු මගේ හද කම්පා කරවිය. නංගී පිටු ගණනක් දිග ලියුමක් ඔහුගේ දේහය තිබූ පෙට්ටියට දමා තිබුනි. ඇය එහි මොනවා ලිව්වාදැයි මට නිනව්වක් නැත. ලියුමක් නොලිව්වත් මුල්ලකට වී ඔහු දෙස බලා සිටි මම දහස් වතාවක් මා අතින් සිදු වූ වැරදිවලට සමාව ඉල්ලා සිටියෙමි. ඔහු අනුමත නොකල මගේ විවාහයෙන් මා දුක් විඳිද්දී ඔහු මට සිටි එකම පිළිසරණ විය. කිසිවිටකත් ඇද වැටෙන්නට ඉඩ නොදී මට ශක්තියක් වූ මගේ තාත්තා අද අප හැර ගොසිනි. හෙට සිට දුක කියන්නේ කාටද. 

හදිසියේ අසනීප වූ පියා කිසිදු බෙහෙතක් ගන්නට තරම්වත් කාලයක් නොතබා මිය ගියේ පවුලේ සියළු දෙනා මහත් කම්පාවට පත් කරමිනි.  අවුරුදු හැට හතක් වයසක්ද.  ඔහුට වඩා වැඩිමල් සොයුරු සොහොයුරියන් සිටිද්දී ඔහු දෙනෙත් පියා ගත්තේ කිසිවකුත් නොසිතූ අයුරකිනි. ආදරණීය තාත්තා. ඔහු සිටින තැනක කිසිවිටකත්  පාලුවක් නොවුනි. මත්පැන් බිඳක් නොබිවු ඔහු බීපු මිනිසුන් කියන කරන දේ රඟ දක්වමින් අන් අය හිනාගැස්සූ වාර අනන්තය. නෑදෑයින්ට, යාලුවන්ට හා පවුලේ අයට ඔහු මිතුරෙකු මෙන් විය. 

“ මොකද නිකම් දාහට අරන් සීයට දීලා වගේ, “ කවුරුන් හෝ මූණ එල්ලා ගෙන සිටියොත් ඔහු අසයි. “ හිනා වෙලා ඉන්න එපායැ. අපි කී දවසද ජීවත් වෙන්නේ “.  ජීවත් වෙන්නේ ටික කාලයක් බව ඔහු දැන සිටියේද. 

දිනක් රක්ෂණ සමාගමක නියෝජිතයෙක් ඔහු මුණ ගැසෙන්නට මෝටර් සයිකලයකින් පැමිණ රක්ෂණයක් ගන්නට යයි ඔහුට කියූ කල,“ මහත්තයා දැන් මම වයස අග්ගිස්සට යන්නෙ. රක්ෂණයක් ඕනෑ වෙන්නෙ ඔය යකඩ ගොඩ උඩ දුවන ඔය මහත්තයාටනෙ” මහ හඬින් සිනාසෙමින් කීවේය. නැවත කිසි දිනක රක්ෂණ නියෝජිතයා තාත්තා මුණ ගැහෙන්නට පැමිණියේ නැත. හැමදේකටම හිනාවෙන් පිලිතුරු දුන් තාත්තා ගත කලේ ඉතාමත් සරල ජීවිතයකි. 

වොලිබෝල් ඔහු වඩාත් ප්‍රිය කල ක්‍රීඩාව විය. වයසට ගියත් තරුණයෙකු මෙන් ඔහුට වඩා වසර විස්සකින් තිහකින් බාල තරුණයින් සමඟ ඔහු මහත් ජවයකින් ක්‍රීඩා කරනු දුටු අය ඔහුගේ ශරීර ශක්තිය ගැන පුදුම විය. වත්ත මෙන්ම කමතද වගා කල ඔහු දවසේ වැඩි හරියක් ගත කලේ වැවිල්ලටය. එයින් මහත් ආශ්වාදයක් ලද ඔහු මට නිතරම වගාවේ ප්‍රයෝජන ගැන කියා දුන්නේය.  අද වගේ දවසක වගාවට ආසා කරන මම ඔහුගෙන් ලද සියළු ගුරු හරුකම් සිහිපත් කරන්නේ මහත් බැතියකිනි.  

ජීවිතයේ හැම වැදගත් කටයුත්තකදීම මට ධෛර්යය දුන් මගේ තාත්තා මගේ වීරයා විය. ගස් නඟින්නට, බයිසිකල් පදින්නට ඔහු මට ඉගැන්වූයේය. මට වඩා වසර දොලහකින් බාල මල්ලීත් වසර දාහතරකින් බාල නංගීත් බලා කියා ගන්නටත් ඔවුන් දෙදෙනාගේ වැඩ කර දෙන්නටත් ඔහු මා මෙහෙය වූයේය. ජීවිතයේ ප්‍රශ්නවලදී පලා නොගොස් ඒවාට ශක්තියෙන් මූණ දෙන්නට මට කියා දුන් ඔහු මගේ හැම ජයග්‍රහණයකදීම නිහඬව සතුටු විය. ඔහුගේ මිණිබිරියටත් මුණුබුරාටත් ඔහු වඩාත් ආදරය කලේය. ජීවිතයේ  ස්වභාවය හොඳින් තේරුම් ගෙන සිටි ඔහු තුල අනාගත සැලසුම් නොවිණි. ඒ ගැන උරණ වූ අම්මාට සිනාසුන ඔහු අපව හැරදා ඉක්මනින්ම යන බව කලින්ම දැන සිටියේද.  

මළගමට පැමිණි අය අපට කතා කොට ශෝකය පල කලත් ඔවුන් දෙඩූ එකඳු වචනයක් හෝ මට තේරුනේ නැත. 

නංගීගේ විලාපය සොහොන්බිම පුරා විහිදෙද්දී තාත්තාගේ නිසල දේහය සහිත පෙට්ටියට වැටුන පස් හා ගල් කැටවලින් නැඟුන ශබ්දය අදටත් දෝංකාර දෙමින් මා අත් හැර නොගොස් මගේ හදවත පෙලමින් මා හා රැඳේ. 

අප වෙනුවෙන් මහත් වූ කැප කිරීම් කල ඔහු අප හැරදා ගොස් වසර විසි හයක් ගත වූවත් ඔහු පිලිබඳ මගේ මතකය මා මිය තුරුම සදාකාලිකවම ඔහු හා බැඳී තිබෙනු ඇත.  මිය යන තෙක්ම ඔබට ආදරේ යයි කියන්නට බැරි වූ මම හිත පුරා ඔබට ආදරය කල බව මෙහි සටහන් කරමි තාත්තේ.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.