fbpx
11.8 C
New Zealand
Friday, April 26, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සර්නේලිස් නෙළුම් මහත්තයා | දයා ප්‍රතාපසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සර්නේලිස් නීලගිරි හොටලයේ අයිතිකරු වන්නේ අහම්බයෙන් නොවේ. මාතර නගරයේ පිහිටි ආපන ශාලාවක කම්කරු රැකියාවට පැමිණි ඔහුට අවුරුදු 35ක දී මාතර හෝටලයක අයිතිකරු වීම මහන්සියේ සහ කැපවීමේ ප්‍රතිඵලයක්.

කෙස් නිකට පැසුණු සර්නේලිස් මාතර සිට සැතපුම් කීපයක් දුරින් පිහිටි මාපලගම ගමේ ඉපදී මාතරට පැමිණියේ සොලොස්වියේදීය. තමන්ගේ පියා රැකියාව කළේ මාපලගම  රාළහාමිගේ වත්තකය. ඔහුගේ පුතා බර්නාඩ් කොළඹ පිහිටි ආයතනයක  ආර්ථික ප්‍රවර්ධන අංශයේ උපදේශකයකු බැවින් ගමට පැමිණියේ කලාතුරකිනි.

බර්නාඩ්ට පිය උරුමයෙන් අයිතිව තිබු අක්කර 28 ක ළඳු කැලෑ සහිත හෙල් හා කඳු ඉඩමේ අක්කර 15 ක්ම වගා  කළ නොහැකි ගංවතුර නිසා මඩ ගොහොරුවකි. කොළඹ පදිංචි බර්නාඩ් කිසිදු ඵල ප්‍රයොජනයක් නැති මෙම මඩ වගුර සහ තැනින් තැන සොදාපාළු වී ගිය  ගල්පර ඇති ඉඩම  අක්කරයක් රුපියල් 500 ගානේ විකිණීමට බලාපොරොත්තු විය. නමුත් නිසරු මඩ ගොහුරුවක් මිලට ගැනීමට කිසිවකු  ඉදිරිපත් නොවිය.  අන්තිමට සර්නේලිස් තමන් උපයාගත් මුදලින් තම උපන් ගමේ පිහිටි මෙම නිසරු ඉඩම මිලට ගත්තේ අවදානමක් ද සමගිණි. ඔහුට සැඟවුණු අරුම පුදුම සැලසුමක් තිබිණ.

විශාල  මඩ ගොහුරුව සහිත මෙම ඉඩම ගංවතුර කාලයට පිරී ඉතිරී යන අතර මාස ගණනක් යනතෙක් වතුර බැස නොයෑම ඉඩම නිසරු වීමට ප්‍රධාන හේතුව විය. ඉහළ කෙළවරේ පිහිටි ගම්වැසියන්ට වැඩිපුර දුර ගෙවා වට පාරකින් ගමන්කිරීමට සිදුවූයේ මෙම වගුර නිසාය.

එබැවින් සර්නේලිස් මුලින්ම එම ගම්මානයේ සියලු වැසියන්ට තම ඉඩමෙන් පාරක් ලබා දීමට එකඟ විය. මේ නිසා පන්සලේ නායක හාමුදුරුවන් හා ගමේ ප්‍රභූන්ගේ ගෞරවයට සර්නේලිස් පාත්‍ර වූ අතර ගම්වැසියන් 200 ක පමණ සහභාගිත්වයෙන් අඩි දහයක පළල පාර ඉඩමේ පහළම මායිමෙන් තැනීම ආරම්භ විය. අඩි 300 ක් පමණ දිග මෙම පාර සකස්කර විවෘත කිරීමට ආරාධිතයා වූයේ සර්නේලිස්ය. 

එදින සර්නේලිස් පොරොන්දු වූයේ තම ඉඩමේ කොටසක් ගම්වාසීන්ගේ පාර වෙනුවෙන් පරිත්‍යාග කළත් තමා එය ගැන සෑහීමකට පත් නොවන බවය. මෙම බොරළු පාර වාහන ට්‍රක්ටර් යාමට හැකි අඩි 20ක පමණ පළල, තවත් උසට ගංවතුරට යට නොවන පාරක් බවට පත් කිරීමට තමන්ට අවශ්‍ය බවය. ඒ සඳහා ජනතාව කරන ඕනෑම ශ්‍රමදානයකට අවශ්‍ය වාහන පමණක් නොව බුල්ඩෝසරයකට වියදම් වුවද ලබා දීමට ඔහු පොරොන්දු විය. රැස්ව සිටි අය මෙම ත්‍යාගශීලි සර්නේලිස්ට පිංපෙත් අනුමෝදන් කළෝය.

මාස කීපයක් යනවිට අඩි 20 ක් පමණ පළල  මාර්ගයක් ඉදිවූ අතර විශාල බෝක්කු දෙකක්  ඉදිකිරීමට මුදල් වැය කළේ සර්නේලිස්ය. බෝක්කුව හරහා ගලායන වතුර එකතු වන්නේ පහළ කිරමාර ගඟටය.

අප්‍රේල් කාලයේ ඇතිවන තද නියඟයේ දී  වැඩ ආරම්භ කළ අතර  පාරට අවශ්‍ය සියලුම පස්  ලබා ගත්තේ බුල්ඩෝසරය මගින් පුරං වී තිබුණු  කුඹුරු හෑරීමෙන්ය. 

නියඟය ඉවර වී දෙසැම්බර් මාසයේ දී ධාරානිපාත වර්ෂාව ආරම්භ විය.  ගංවතුරින්  ගඟ උතුරා යන විට පාර මට්ටමට ජල මට්ටම එන තෙක්  මෙම අක්කර 15 ක ඉඩම ජල තටාකයක් මෙන් පිරී ඉතිරී තිබුණි.

සර්නේලිස්ගේ මුළු ඉඩම දැන් තිබුණාටත් වඩා සද්දන්ත  මඩ වතුර වලකි.එය සාගරයක් මෙන් ඈතට දිස්වෙයි. දැන්නම් වගාවක් හෝ කුඹුරක් ගැන   සිතීම පවා සිහිනයකි. සර්නේලිස්ගේ අවංක පරිත්‍යාගය නිසා එම ඉඩමට සිදු වූ විනාශය ගැන ගම්වාසීහු මහත් කම්පනයට පත්වූහ. නමුත් සර්නේලිස් කිසිම දිනක තමා කළ දේ ගැන පශ්චත්තාපයට පත්වූයේ නැත.

වැසි කාලය අවසන් වුවද ඉඩම තවමත් ගැඹුරු වැවක් මෙන් පිරී ඉතිරී ගොස්ය. සමහර තැන්වල අඩි 40 ක් පමණ ගැඹුරට දිස් විය. එය අක්කර අඩි 600 ක පමණ කුඩා වැවකි. නමුත් වතුරෙන් ප්‍රයෝජන ගත හැකි කුඹුරු ඉඩම් පහළ නිම්නයේ නොමැත. සර්නේලිස් ඒ වන විටත් වතුර පිටවන බෝකුවලට ලෑලි දමන ගේට්ටු දෙකක් සවි කර ඕලු, මානෙල්, නෙළුම් වැනි මල් වර්ග වගා කිරීමට උනන්දු විය. 

සති කීපයකට පසු උඩවලව මිරිදිය ධීවර මසුන් ප්‍රවර්ධනය කරන ආයතනයෙන් මිලට ගත් මාළු කීටයින් දස දහස් ගණනක් වැවට ගෙනවිත් දැමීමට සර්නේලිස් යුහුසුළු විය. කඳු වලින්  එන සිහින් දිය උල්පත් හා ඇලවල්වල වතුර ද වැහි ජලය ද නිසා කිසිම  දිනක මෙම විශාල මාළු පොකුණ හිස්වූයේ නැත.

සර්නේලිස් මාළු ඇල්ලීමට කුඩා ඔරු 3ක් ද මිල දී ගත් අතර ගමේ මාළු අල්ලන පළපුරුදු තිදෙනෙකුට එය භාර කළේය. ආදායමෙන් හරියටම බාගයක් ඔවුන්ට ලබාදීම නිසා එය ගම්වැසි පවුල් කීපයකට ස්ථිර රුකියා විය. ඊට අමතරව අවට ගම්මානවල ජනයා අඩු මුදලට අලුත් මාළු  මිලට ගැනීමට ද පුරුදු වූහ.

දිනක් මිනින්දොරුවන් පැමිණ හෙල් හා ගල්පර  තිබු ඉතිරි අක්කර 13ක ඉඩම කට්ටි 30 කට වෙන් කළ අතර ඉඩම් කට්ටි අතර පාරවල් කැපීමට බුල්ඩෝසරයට ගතවූයේ සති දෙකකි. ඉතා මනස්කාන්ත ඕලු, මානෙල් පිපුණු ජලාශයක් ඉදිරිපිට ඇති කඳු ගැටයේ විවිධ හැඩයෙන් පිරි ගල් පර්වත අතරින් ඉදිවු කුඩා ගම්මානය

 ‘නෙළුම් උයන’ යනුවෙන් විශාල අලංකාර පුවරුවක් ගමට ඇතුල්වන කඳු ගැටයේ සවි විය.

පහළම ඉඩම් කැබැල්ලක් රුපියල් 3000ක් වු අතර කඳු මුදුනේ ඉඩම් ඈත ගම්මනවල යහමින් මුදල් ඇති  අය අතර අලෙවි වුණේ කැබැල්ලක් රුපියල් 5000 සිට 7000 වැනි ඉහළ ඉල්ලුමකටය. මෙම උස බිම්වල පිහිටි අලංකාර දර්ශන සහිත බිම් කැබලි මිල දී ගැනීමට යමක් කමක් ඇති අය අතර තරඟයක් තිබිණ. ඉදිරිපසින් ඇති මනරම් වැව මෙම ඉඩමේ වටිනාකම  දෙගුණ වීමට හේතු විය.

කන්දේ ඉහළම කුඩා සීත දියසීරාව සහිත කුඩා තටාකයක් ඇති අලංකාර දර්ශණ සහිත ඉඩම් කැබැල්ල නිවාඩු නිකේතනයක් වෙනුවෙන්  මිලදී ගත්තේ බර්නාඩ් මහතාය. එය වෙන්දේසි වූයේ රුපියල් 16000ක මුදලකටය. තමන්ගේම ඉඩම වෙන්දේසියකින් තරඟයකින්  වැඩි මුදලකට මිල දී ගැනීමට සිදුවීම දෛවයේ සරදමක් විය.

අවසානයේ ධීවර වැවක අයිතිය හා ධීවර ආදායමක්  හිමි වූ සර්නේලිස්ට රුපියල් එක් ලක්ෂ අසූ දාහක මුදලක් ඉඩම් වෙන්දේසියෙන් ලැබී  තිබුණි. එකල ලක්ෂයට කොඩිය දැමීම යනු සුළුපටු දෙයක් නොවේ. උගත් බර්නාඩ්ගේ වැඩකට නැති ඉඩමෙන් ව්‍යාපාරයක් කර කෙටි කලකින් සර්නේලිස් අධික ලාභ ලැබීය. සමාජයේ ගැටී තෙම්පරාදු වූ සර්නේලිස් තමන් කරගත්  මෙම වික්‍රමය ගැන බෙහෙවින්ම ආඩම්බර විය. අවසානයෙහි ඉතිරිව තිබූ මුදලින් රුපියල් ලක්ෂ එක හමාරකට මාපලාන ගමට මඳක් ඈතින් කිරමාර ගඟෙන් එගොඩ පිහිටි රබර් අක්කර 45ක කඳු ගැටය මිලට ගැනීමට සර්නේලිස්ට හැකි විය.

එම කඳු මුදුනේ ඉදිකළ තම දෙමහල් නිවසට ඈතින් කුඩාවට පෙනෙන  ‘නෙළුම් උයන’ ගම්මානයත්, තමන්ගේ අලංකාර ‘නෙළුම් වැවත්’ මෙන්ම ගම්වාසීන් ගමන් කරන  ‘නෙළුම් මාවතත්’ දිනෙන් දින ජනාකීර්ණ වන සැටි සර්නේලිස් බලා සිටියේ මහත් සතුටකිනි. 

ඔහුගේ මාතර හෝටලය ‘නෙළුම් හෝටලය’ නමින් වෙනස් වූ අතර තම පදිංචි නිවස  ‘නෙළුම් විලා’ විය. මැරෙනතෙක් ගම්වාසීන් ඔහු හැඳින්වූයේ ‘නෙළුම් මහත්තයා ‘යනුවෙනි.

ByDaya Pratapasingha – Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.