එක දිගට වැහැපු තද වැස්ස දැන් නම් පායලා. ඒත්, හීන් හිරිකඩක් තවමත් සුළඟෙ දැවටිලා තියෙනවා. ඈත අහසෙ දේදුන්නකුත් පායල තියෙන වෙලාවෙ තමයි, සියදෝරිස් තමන්ගෙ පැල්පතේ ටකරං වහල යටට ගොඩවුණේ. සියදෝරිස් වැස්සෙන් බේරෙන්න ෂොපිං උරයකුත් ඔළුවට දාගෙන ආවෙ, ඔහුගෙ කුඩේ ඒ තරම්ම අබලන් නිසයි. තවමත් හවස පහවත් පහු වෙලා නොතිබුණත්, වැහි අන්ධකාරයට අහුවෙච්ච පරිසරයෙ තිබුණෙ මහ පාළු මූසල බවක්. ඉණේ ගහගෙන හිටපු යතුරෙන්, ‘නමට වසා ගිය දොර’ ඇරපු සියදෝරිස් ඇතුල් වුණේ කළුවර ගුහාවකටයි. ඒ තරම්ම මේ පුංච් පැල්පත ඇතුලෙ අන්ධකාරය රජයමින් තිබුණා. දොර ඇරෙද්දි ඇහුණ අමිහිරි ශබ්දය, පාළු පරිසරයෙ නිහඬ බව බිඳල දැම්මා. කළුවරේම අතගගා හිතේ මිම්මට මේසය ළඟට ගිය සියදෝරිස්, තමන්ගෙ අඩුම කුඩුම ටිකයි, ආයුධ ටිකයි මේසෙ උඩින් තියල කුප්පි ලාම්පුව පත්තු කළේ, කළුවරට බයේ නම් නෙමෙයි, පුරුද්දට.
සියදෝරිස් කියන්නෙ සපතේරුවක්, ඒ කියන්නෙ සපත්තු මහන්නෙක්. තමන් විසින්ම හදාගන්න තේ කහට කෝප්පයක් බීලා, උදේ හය හය හමාර වෙද්දි ගෙදරින් පිටත් වෙන සියදෝරිස්, බණ්ඩාර මුදලාලිගෙ කඩේ ළඟ විනාඩි දහයක් පහලොවක් ගතකරන්නෙ පත්තරේ පොඩ්ඩක් බලන්න. කඩෙන් බනිස් ගෙඩියකුත් ගන්න සියදෝරිස්, ඊට පස්සෙ කෙලින්ම යන්නෙ කෝප්-සිටි එක ඉස්සරහ තියෙන, තමන් අවුරුදු හතලිහක් තිස්සෙ සපත්තු මැහුව කොරිඩෝ කෑල්ලට. ඉස්සර නම් මෙතන තිබ්බෙ සමූපෙ. දැන් නම් කෝප්-සිටි. සියදෝරිස්ගෙ ජීවිතෙන් වැඩි හරියක් ගත වෙලා තියෙන්නෙ ඔතන තමයි. වෙනදට නම්, මෙච්චර වේලපහින් සපතේරු උන්නැහැට ගෙදර එන්න වෙන්නෙ නෑ. ඒත් අද, මේ හදිස්සියෙ කඩාපාත් වුණ වැස්ස, සියදෝරිස්ගෙ බඩගෝස්තරේට එල්ල කළේ ලොකු පහරක්. ඒත් අහිංසක සියදෝරිස් කවදාවත් වැස්සට ශාප කළේ නම් නෑ.
කුප්පි ලාම්පුවෙන් එළිය වුණ පැල්පත ඇතුලෙ, සියදෝරිස්ට මුලින්ම පෙණුනෙ, කොහු එළියට ආව මෙට්ටයක් තියෙන, දුර්වර්ණ වෙලා තියෙන තමන්ගේ නිදන ඇඳයි. කොච්චර ජරා වෙලා තිබ්බත්, සියදෝරිස්ට නම් මේ වෙලාවෙ මේ ඇඳ පෙණුනෙ රාජ සයනයක් වගේ. ඇඳෙන් නැගෙන කිරි කිරි හඬ මැද්දෙම සියදෝරිස් ඇඳේ ඇලවුණේ, කමිස කඩමාල්ලවත් ගලවන්නෙ නැතුවයි. උදේ ඉඳං වැඩ කරපු නිසා ඇඟට තිබ්බ තෙහෙට්ටුවයි, වැහි හිරිකඩ වැදිච්ච නිසා තිබ්බ අපහසුතාවයයි දෙකටම හරි යන දිව්‍ය ඖෂධය, උණුම උණු තේ කහට එකක් කියල සියදෝරිස්ට හොඳටම තේරුණත්, සියදෝරිස්ගෙ වයස්ගත දෙපා ඔහුට ඇඳෙන් නැගිටින්න කිසි අනුබලයක් දුන්නෙ නෑ. සපත්තු මහද්දි උනත්, දැන් තමාගෙ අතපය තමාට වලංගු නැති බව, සියදෝරිස්ට දැණුනු වාර අනන්තයි. ඇඳේ නිදාගෙනම, රිදුම් දෙන තැන් අතගාමින් හිටපු සියදෝරිස්ගෙ සිත, අතීතයට ඇදිල ගියෙ අසුරු සැණින්.
සැලී නෝනා ඉන්න කාලෙ, තමාගේ ජීවිතය කොයිතරම් නම් සුවපහසු ලෙස ගත වුණාද කියලා, සියදෝරිස් මතක් කෙරුවෙ ශෝකයෙන් බර වුණ සිතින්. සරල ජීවිතයක් ගත කරපු අඹුසැමියො දෙපල, ගමේ කොයි කාගෙත් දුකට සැපට හවුල් වෙමින් සුහදව හිටපු හැටි මතක් වෙද්දි, සියදෝරිස්ගෙ හිතට පුංචි ආඩම්බරයකුත් නොදැණුනාම නෙමේ. තමන්ගෙ එකම පුතා, පහ වසරෙ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වුණ හැටිත්, එදායින් පසු බෝඩිමක නවතා, පුතාව කොළඹ ලොකු කොලීජියකට යවපු හැටිත්, පුතාගෙ අනාගතය වෙනුවෙන් තමාත් සැලී නෝනාත් දිවා රෑ නොබලා වෙහෙසුණ හැටිත්, සියදෝරිස්ගෙ ඇස් ඉස්සරහ මැවිල පෙණුනෙ, දැනට අවුරුදු ගණනාවකට උඩදි ටවුමෙ හෝල් එකේ බලපු චිත්‍තරපටියෙ වගේ, විශාල රූප රාමුවලින්. කෙතරම් දුක් මහන්සි වී කොල්ලාට උගන්වා විස්ස විද්දාලෙට යැව්වත්, කුරිරු ඊර්ෂ්‍යාකාරයින්, නවක වධය මුවාවෙන් තම ආදරණීය පුතාගෙ ජීවිතය උදුරා ගත් හැටිත්, සියදෝරිස් මතක් කළේ කීරිගැහෙන හදවතින්. සැලී නෝනාගෙ තුන් අවුරුද්දෙ දානෙත් දීල දැන් මාස දෙකක් විතර ගත වුණා නේද කියලත් ඔය හැමදෙයක් අස්සෙම සියදෝරිස්ට මතක් වුණා. මේ අල්පේච්ඡ ජීවිතයක් ගත කරන සරල අහිංසක මනුස්සයගෙ ඇස්, කඳුළින් බර කරන්නට, ඒ අතීත මතක සටහන් ටික නොමසුරුව දායක වෙලා තිබුණා. කමිස කොනින් ඇස් දෙක මාත්තු කරගත්තු සියදෝරිස් ඇඳෙන් නැගිට්ටේ, භාර ගත්තු වැඩ කීපයක්ම හෙට දිනයේදී නිමාකර නැවත භාරදිය යුතු නිසා, හෙට උදෙන්ම සපත්තු මහන තැනට යන්න ඕන කියල හිතන ගමන්. කොහොමත් දැන් සියදෝරිස් සපත්තු මහන්නෙ සල්ලි හම්බකරන්නම නෙමේ, කාලය ගෙවා ගන්නයි. ආයෙමත් අකුණු ගහමින් වැස්ස පටන් ගත්තු හින්ද, පහළ ළිඳෙන් යන්තමින් ඇඟ පත හෝදගෙන ගෙට ආපු සියදෝරිස්, ගෙදර එමින් ගමන් කඩෙන් අරන් ආව පාන් බාගෙන් කෑල්ලක්, රට ලූණු ගෙඩියක් එක්ක සප්පායම් වුණා.
වත්මන් සමාජයේ ජීවන බර, උද්ධමනය ගැන කිසිදු අදහසක් නැති මේ සරල චාම් මිනිසා, අතීතයේ සුන්දර මතකයන් සහ අනාගතයේ අනියත බලාපොරොත්තු තුරුළු කරගෙන නිදා ගැනීමේ අදහසින්, කුප්පි ලාම්පුවට පිඹ එය නිවා දැමුවා.
By Malith Chathuranga Samarasinghe – Auckland