විලී මට හමුවෙන්නෙ පාසැලේ උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්න කාලේ, 1970 දශකයේ මුල් භාගය වගේ මට මතකයි.
විලී හරිම දක්ෂ නිර්මාණාත්මක ශිෂ්‍යයෙක්. ඔහු මට වඩා පහළ පන්තිවල හිටිය මගේ අමුතු යාළුවෙක් ද වුණා. පාසලට යාබද පිහිටි නේවාසිකාගාරයේ හිටිය අපි දෙදෙනා බොහොම හිතවත් මිතුරන් විධියට ඇසුරු කළා. ඔහු අපිට හිටපු මිතුරන්ගෙන් විශ්වාසවන්තව අපි කියන දෙයක් පිළිවෙලට හරියට ඉවරවෙනකම් කරන්න පුළුවන් හිතවතෙක්. පාසලේ විභාග ඉහළින්ම සමත් වීමට වුව ද වෙන අයට මෙන් රෑ එළි වෙනකම් පාඩම් කරන්න ඔහු දැඟලුවේ නැහැ. ඊට අමතරව එයා කරපු අරුම පුදුම සමහර පොඩි පොඩි වැඩ එකළ අපව විමතියට පත් කළා.
දවසක් ඔටිටුවක් අල්ලලා රාත්‍රී අපේ පාසැලේම ගැහැනු නේවාසිකාගාරයට රාත්‍රියේ ගිහින් අහිංසක විහිළුවක් කරලා, පාඩම් කරමින් හිටපු ගැහැනු ළමයි බය කරලා ආපු එක අපි පුදුමයට පත් කළා. බල්ලො තුන්දෙනෙක් අයාලෙට හැදිලා උන් නිදාගෙන හිටියේ හොස්ටල් එක අගුවේ. ඒත් විලී යන විට ආරක්ෂාවට හිටිය මුරකාරයා දැක්කෙත් නැහැ. එක බල්ලෙක්වත් විලීට බිරුවෙත් නැහැ. තවත් දවසක රාත්‍රී දඩ බල්ලෙක් ඉන්න ළඟපාත ගෙදරක වැට අද්දර තිබුණු පැහිචිච කෙහෙල් කැනක් කපලා බල්ලා ළඟින්ම තියලා ආවා. ඒත් බල්ලා දන්නෙත් නැහැ. ගෙදර මිනිස්සු දන්නෙත් නැහැ.
කතාව නම් ඒක නෙවෙයි. මම උසස් පෙළ ඉවරවෙලා ගෙදර හිටපු කාලේ වෙච්ච තවත් සිදුවීමක්. විලී එතකොටත් පාසැලේ නේවාසිකාගාරයේ නවතැන් ගත්ත ශිෂ්‍යයෙක් වුණා. දවසක් රාත්‍රී කෑම කන කොට මුළු බත් පිඟානම ඔහුට කහ පාටට පෙනිලා තිබුණා. එතනින් ඒ ලෙඩේ නැවතුනේ නැහැ. ටික කලකට පස්සෙ දවසක් සමහර කහපාට කඩවල් හා කහපාට බස් ඔහුට පේන්න පටන් ගත්තා. වැදගත් කරුණ නම් කහපාට කඩවලින් කාල ආවටවත් කහපාට බසයකට ගොඩවෙලා ගමනක් ගියාටවත් අයිතිකාරයන් ඔහුගෙන් මුදල් ඉල්ලන්නේ නැති එකයි. ඒක නිසා ඔහු කහ පාටට පේන කඩවල්වලට හා බස්වලට හුරුපුරුදු වුණා.
ටික දවසක් යන විට මෙම රෝගය කොතරම් දරුණු වුණා ද කිවහොත් මාතර සිට කොළඹ ගිහිල්ලා කහපාට කඩවලින් කාලා බීලා කහපාට බස්වලින් ගෙදර ආපු වාර තිබිලා තියෙනවා. මෙයාගේ මෙම මුළු තොරතුරු පාසලේ සිටින ළමුන්ට අනාවරණය නොවුණත් ගති පැවතුම් වෙනස් බව විටින් විට නේවාසිකාගාරය භාර ගුරුවරුන්ට පෙණුනා. එබැවින් ගුරුවරුන් මොහු මානසික රෝහලකට ඇතුලත් කළා. මේ නිසාම ඔහුගේ ඉගෙනීමත් ඒ සමගම ඉවර වුණා. කතාවෙ වැදගත් දේ ආරම්භ වන්නේ මෙතැන් සිටයි.
1975 වසරේ අග භාගයේ දිනක ඔහු රෝහලෙන් පිටවී ගෙදර ආවා. පස්සේ දවසක උදේ අපේ ගෙදරට හදිසියේ ඔහු පැමිණියා. එදා සාමාන්‍ය ලෙස කිසිදු අමුත්තක් නැතිව මම සමග ඔහු ටික වේලාවක් කතා බහක නිරත වුණා. එදාම කඹුරුපිටිය මහජන බැංකුව විවෘත කරන්න රජයේ ප්‍රබල අමාත්‍යවරයකු වන කොල්වින් ආර් ද සිල්වා මහතා හවස පැමිණීමට නියමිතව තිබුණා. විලී මට යෝජනා කළා එම උත්සවය බලන්න යමු කියලා. මට යෙදී තිබුණු හදිසි වැඩක් හේතුවෙන් මම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා ඔහු මගෙන් සමු ගෙන ගියා. ඊට පසු දින උදේ ලැබුණු තොරතුරකින් මම විශ්මයට පත් වුණා.
විලී එදා අපේ ගෙදරින් කෙලින්ම ගොස් ඇත්තේ මාතර ලංගම බස් නැවතුම් පළට. ඔහු එහි නවතා තිබු බස් රථයක් පණ ගන්වාගෙන මාතර කඹුරුපිටිය වංගු සහිත මාර්ගයේ සැතපුමි පහක් පමණ දුර කිසිවකුට අනතුරක් නොකර ධාවනය කර ගෙන පැමිණියා. අත් වැරදීමකින් බණ්ඩත්තර නැමැති ප්‍රදේශයේ වංගුවක් ගන්නා විට නුපුරුදු රියදුරෙක් වූ මොහු අතින් ගල් වැඩපලක් අසල තිබු පැල්පතක ගැටී එක් අයෙකුට තුවාල සිදු වුණා. බස් රථයෙන් විලී බහින විටම කවුදෝ කෙනෙකු දුන් හැරමිටි පහරක් කාගෙනම අඳුරේම ලේ පෙරමින්ම විලී පාර දිගේ පැන ගිහින්.
එවෙලේම බැංකුව විවෘත කිරීමෙ උත්සවය හමාර වී ආපසු මාතර දෙසට එන පොලිස් කණ්ඩායමක් අතරමග දුවමින් සිටි විලී සැකපිට අත් අඩංගුවට ගත්තා. පොලිස් විමර්ශනවල දී විලී පවසා තිබුණේ කිසිම දිනක තමා රියදුරු පුහුණුවක් ලබා නැතත් ගුවන් යානාවක් වුවද තමාට පදවා පෙන්විය හැකි බවයි. වැඩිදුරටත් පාපෝච්චාරණය කළ ඔහු තවදුරටත් හෙළිකර තිබුණේ, මීට මාස කීපයකට පෙර මාතර බස් නැවතුමේ ගාල් කර තිබු තවත් බසයක් සැතපුම් අටක් පමණ දුර රැගෙන ගියාට පසු තෙලිජ්ජවිල හන්දියට ආසන්නයේ පිහිටි මාර ගසක හැප්පූනේ ද තමන් අතින් බවයි.
ඒ අනුව එතෙක් සැකපිට රක්ෂිත බන්ධනාගර ගතව සිටි එදා තෙලිජ්ජවිල හන්දියේ බීමතින් සිට අත් අඩංගුවට පත් වුණු අහිංසක දරු පවුල්කරුවකු වන සැකකාර රියදුරා නිදහස් වී විලී බන්ධනාගාර ගත වූණා. නඩුවෙදී විලී නිදහස ලබා එළියට පැමිණියේ ය.
කාලයකට පසු මානසික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියකට ඉගෙන ගත් මගේ මිතුරකුට මම එම කතාව පැවසුවෙමි.
‘මේවගේ සිද්ධීන් ලොව පුරා එමට තියෙනවා. ඒවා අධි මානසික මට්ටමක් නිසා ඇතිවිය හැකි ප්‍රතිඵල.” මිතුරා මට කීවේය.
නමුත් මම ඔහුට පිළිතුරක් දුන්නෙමි. ‘කහපාට කඩවල් කහපාට බස් ඔහුගේ මනෝ ලෝකයන් විය හැකිය. එහෙම දේවල් ඇත්තටම සිදුවූවා යැයි ඔහුට දැනුනා ද විය හැකිය.” උගත් මිතුරා හිස සලමින් එයද විය හැකි බවට එකඟ විය. ඊට පසු විලී අද වන තෙක් මට හමු වුයේ නැත.
By Daya Prathapasingha – Auckland