පිපෙනා මලකට – ගලනා දොළකට
දැනෙනා බුදු ගුණ – නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ – මරණින් පස්සේ
පිං පව් එනවා – අප පසුපස්සේ
1998 වසරේ ජනවාරි පළමු දින සුදුවතින් සැරසුණු ව්‍යාපාරික සිරියා මැතිණිය ඉතා සංවර ගමනින් පිංකමට පා තැබුවාය. රැස් වු සිය ගණනක් උපාසක උපාසිකාවන්ගේ සාධුකාර මැද්දේ මැදවච්චිය භාවනා යෝගී ආශ්‍රමයේ කමටහන් ආචාර්ය ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කර එම ගොඩනැගිල්ලේ ලියකියවිලි ගොන්න මහා සංඝරත්නයට පූජා කරන විට සෝමෙ හා විමලදාස ඒ සමග වූහ.
සිරියා මැතිණිය තම සිතිවිලි අතර මොහොතක් අතරමං වූවාය.
***
දසක කිහිපයකට පෙර, එදා තම සැමියා වූ සිරිදාස සමග ඔහු එදිනෙදා මැනිං මාකට් එකේ ගෝනි කර ගසා ලැබුණු සොච්චම් මුදලින් නාරාහේන්පිට දාබරේ මාවතේ පෙට්ටි ගෙයක ජීවත් වූවාය. ඇහැට කණට පෙනෙන සිරියා සමග හාදකම් ඇති කර ගැනීමට අවට තරුණයින් කීපදෙනෙකුම වලිකන බව සිරිදාසගේ කන වැකී තිබුණත් සිරියා කිසිම දිනක එවැන්නකට කැමැති නොවූවාය. ඒ අතර වත්තේ පදිංචි චණ්ඩි සුදා ද විය. ඔහු හිතුවොත් හිතුදේ කරන සල්ලාලයෙකි.
එක් දිනක් ගෙවල් කුලී පරක්කු වීම නිසා, සිරිදාස පෙට්ටි ගෙවල් වල බදු එකතු කරන ජෙමා සමග බහින්බස් විය. අසනීප නිසා වැඩට නොගිය සිරිදාසට හාල් ටිකක් ගැනීමටවත් මුදලක් අත නැත. පිටකොටුවේ මුදලාලි කෙනෙකු හමුවී රුපියල් විසිපහක් ණයට ඉල්ලාගෙන සවස ගෙදරට එන විට තමන් දුටු දෙයින් සිරිදාසගේ දුර්වල වූ මුළු ගතම වෙව්ලන්නට විය. සිරියා බයෙන් ගහෙමින් ලෑලි මඩුවේ මුල්ලක ජෙමාගේ දෑතට හිර වී සිටි අතර අනික් අතින් කට වැසී තිබිණි. සිරිදාසගේ හිසට යක්ෂයා ආවේශ විය. ළඟ තිබු කම්බි කොක්කෙන් වැර යොදා ජෙමාගේ පිටට පහර දුන් විට ලේ ගලමින් වෙරි මරගාතෙම ඔහු පැන ගියේ ලේවල පළිය ගන්නා බවට සපථ කරමිණි.
දින දෙකකට පසු රාත්‍රී කඩු අමෝරා ගත් මැරයින් දෙදෙනෙක් සිරිදාසට කඩු පහරවල් එල්ල කොට සිරියාගේ අතපය ගැට ගසා කටට පාන්කඩ ඔබා අතුරුදහන් වූහ. පාන්දර අසල්වාසීන් පැමිණෙන විටත් සිරිදාස මියගොස් තිබුණේය. සිරියාට සිහිය වරින් වර ලැබුණ ද ඇය සිටියේ අවසිහියෙනි.
මළගෙදර කටයුතුවලින් පසු සිරියා මැදවච්ච්යේ තම ගෙදරට පැමිණෙන්නේ අවුරුදු දෙකකට පසුවය. තමා සිරිදාස සමග රහසේ ගෙදරින් පැන යාම නිසා තම මව එම හිත් වේදානාවත් කම්පනයත් නිසා ලෙඩ ඇඳට වැටී මිය ගොස්ය. ඇය මිය යන විට ඇයට අයිති ඉඩම ලේලිගේ බලවත් ඉල්ලීම නිසා ඔවුන්ගේ නමට ලියා ඇති බව සිරියා දැන ගන්නේ අතරමග දී හමු වූ තම පුංචි අම්මාගෙනි.
තම අයියාගේ බිරිඳ ලලිතා එකල සිරියා සමග නිතර අඩ දබර කර ගත්තාය. නමුත් අම්මාට හෝ අයියාට ලලිතාට විරුද්ධව කිසිවක් කීමට තරම් ශක්තියක් තිබුණේ නැත. ගුරුවරියක් වු ඇයගේ වැටුපෙන් අයියාටත් අම්මාටත් ජීවත් වීමට සිදුවීම එයට හේතු විය.
‘ආපු අතකට යන එකයි ඇත්තෙ…තමන්ගෙ අම්මා ගැනවත් නොහිතපු ගෑනි…අම්මා මරා ගත්තා මදිවට ලැජ්ජා නැතිව ආපු හැටි තමයි පුදුමෙ.’ නෑනා ඇයව පිළිගත්තේ එසේය.
සිරියාගේ හිතට මවගේ මරණය ගැන ඇති වූ වේදනාවත් ලලිතාගේ කුරීරු ආමන්ත්‍රණයත් හමුවේ ආපිට හැරී හිස හැරුණු අතක යනවා හැරෙන්නට වෙන කළ හැකි දෙයක් නොවීය. බැරිම වුණොත් කෝච්චියට බෙල්ල තියෙනවා හැර වෙන විකල්පයක් ඇය සතුව තිබුණේ නැත. ඇය අතේ තිබුණු ඉතිරි මුදලින් දුම්රිය ටිකට්පතක් කොළඹ යාමට මිල දී ගෙන මැදවච්චියෙන් රාත්‍රී දුම්රියට ගොඩ වූවාය. බඩගින්නත් දැඩි වෙහෙසත් නිසා රාත්‍රී දුමිරියේ දී නින්දට වැටුණාය. කොටුව දුම්රියපළේ දී දැඩි කුසගින්න නිසා කුණු බක්කියට විසිකර තිබූ බනිස් කෑල්ලක් හා සැන්විච් කෑල්ලක් අහුලා ගැනීමට ඇයට හැකි විය. තම කුස අඩක් පුරවාගත් සිරියා දෙස මේවන විටත් උකුසු ඇසක් යොමු වී තිබිණි.
හැඩිදැඩි පිරිමියකු වූ ‘පච්චසෝමේ’ සිරියාගේ රූ සපුවට ගිජු විය.
‘නංගී කරදරයක් ද?’
යන එන මං නැති සිරියාට උත්තර නැත.
‘නැහ්…නෑ මහත්තයා.’
‘මම දැක්කා ඔයා බඩගින්නේ.’
‘බොරු කියන්නෙ මොකටද. මම අසරණ වෙලා ඉන්නෙ මහත්තයා.’
ඇය අතරමං වී කර කියාගත හැකි දෙයක් නැති බව දැන ගත් පසු පච්චසෝමේ රැකියාවක් ඇයට ලබාදීමට පොරොන්දු විය. දුම්රිය ඉදිරිපිට සිඟමන් යදින ගැහැණු හා පිරිමි ළමුන් මෙහෙයවන්නේ පච්චසෝමේ ය. ඇයට ලැබුණු රැකියාව වුවේ හිඟා කෑමයි. කළ හැකි දෙයක් නොමැති සිරියාට කෝච්චියට බෙල්ල තබනවාට වඩා බඩේ ඉන්න දරුවා වෙනුවෙන් ජීවත් වීමට තීරණාත්මකව හිත හදා ගැනීම අපහසු නොවීය.
රාජගිරියේ පිහිටි කුඩා පෙට්ටි ගෙයක රාත්‍රී කාලයේ ගැහැණු ළමුන් හයදෙනෙකු සමග නිදා ගැනීමට සිරියාට සිදුවිය. පච්චසෝමේ උදේ අට වන විට මයිනර් කාරයකින් පැමි ණෙයි. කොටුව දුම්රියපළ අසළ තැන් තැන්වලට යාචකයින් ස්ථාන ගත කර සවසට ඔවුන් නැවත රැගෙන යන විට එකතු කරන ලද මුදල් සෝමෙට දිය යුතු ය. කෑම බීම පාර්සල් තුන්වේලටම ලබා දෙන අතර නවාතැන්, ආරක්ෂාව සහ මාසික වැටුපක් ලබාදීම කෙරෙන්නේ සෝමේගේ කැමැත්ත පරිදිය.
සිරියාගේ රූපය හා අහිංසකකම නිසා හිඟමන් වැඩිපුර ඇය වෙත එකතු වීම ක්‍රමයෙන් වැඩි විය. නේවාසික හිඟන ළමුන්ගේ නායකත්වය ද සිරියාට ලැබුණි. ඒ නිසා සෝමේගේ වැඩි අවධානයක් සිරියා ගැන ඇති වීම අරුමයක් වූයේ නැත. එක් දිනක් හිස කරකැවිල්ලත් වමනයත් නිසා සිරියාට වැඩට යාමට නොහැකි විය. සෝමේ අනික් දෛනික කටයුතු අහවර කොට කෙලින්ම ගියේ සිරියා වෛද්‍යවරයෙකුට පෙන්වීමට ය.
‘සිරියා… මම සෝමේ… දොර අරින්න.’
‘හරි සෝමේ අයියා පොඩ්ඩක් ඉන්න.’
‘දැන් නම් ටිකක් සනීපයි අයියේ.’
‘නැහැ …නැහැ…මම ආවේ දොස්තර ළඟට එක්ක යන්න.’
‘දැන් හරි . මේක ලෙඩක් නෙවෙයි.’
‘ එහෙනම් මොකක්ද?’
සියලු විස්තර සෝමේට කියන්න තරම් සිරියාට ඒ වන විටත් විශ්වාසයක් ගොඩ නැගී තිබුණි. කීපවරක්ම සිරියා සමග තනි පංගලමේ කතාබහට වැඩි ඇල්මක් දැක් වූ සෝමේගේ ඇස්වල සිරියාට පෙනුනේ ආදර බැල්මකි. කතාවට සවන් දුන් සෝමේගේ සිත මොහොතකින් වේදනාවටත් ඇය ගැන අනුකම්පාවකුත් සමග ආදරයක් ද ඇති වූයේ ඔහුගේ සිතටත් හොරෙන්මය. සෝමේගේ බිරිඳ ‘ගයනී’ ඔහු හැර ගොස් වසරකටත් වඩා වැඩිය. මුලින්ම සිරියා දුටු දිනම ඇයගේ රූ සපුවටත් අහිංසක පෙනුමටත් සෝමේගේ සිත ඇදී ගිය ද එය එක්වර පෙන්නුවේ නැත. නමුත් සිරියාගේ පැරණි යටගියාව දැනගත් ඔහු ඇයගේ පියකු නැති දරුවාට පිහිට වෙන්නට දෙවරක් සිතුවේ නැත.
නීත්‍යානුකූලව විවාහ වූ සිරියා සහ සෝමේ නව ජෝඩුව, බොරැල්ලේ තට්ටු දෙකේ කුඩා ගෙදරක පදිංචි වූහ. ගෙදර පහළ තට්ටුවේ සෝමෙගේ ගෝලයින් නිතර ආරක්ෂාවට මෙන්ම විවිධ කල්ලි ක්‍රියාකාරකම්වලට යොදවා තිබිණි. සිරියාට කිසිම අඩුවක් පාඩුවක් දැනෙන්නටවත් රැකියාවට යෑමටවත් සෝමේ ඉඩ දුන්නේ නැත. රාත්‍රී දෙගොඩහරි ජාමය වන තෙක් වාහනවලින් ගෙදරට යන එන මදාවි රංචු පිළිබඳව සිරියාට ජනේලේ අස්සෙන් වරින් වර දැක ගත හැක. එක් දිනක් ජීප් රථයේ පිටුපසින් එළියට ඇද ගත්තේ අත් බැඳ ගැට ගසා හොඳටම පහර කෑ මැදි වයසේ මිනිසෙකි. සිරියාට ඔහු කවුදැයි හඳුනා ගැනීමට මොහොතක්වත් ගත වූයේ නැත. ඒ මීට පෙර ඇය පෙට්ටි ගෙයින් එලවා දැමූ ජෙමා ය.
සෝමේට අයත් නාරාහේන්පිට දුම්රිය පාර දෙපස ඇති පෙට්ටි ගෙවල් භාර දී තිබුණේ ජෙමාටය. ඔහු මාස කීපයක්ම කුලී වංචා කිරීම නිසාත් සෝමේට අකීකරු වීමත් මෙම පැහැර ගෙන ඒමට හේතුව විය. පැහැරගෙන පැමිණි ජෙමාට සිදුවන්නේ සෝමේගෙන් මැරුන්කන්නට බව නොදන්නා කෙනෙක් එතැන සිටියේ නැත. සිරියාට තමන් මහමගට ඇද දමා තම ආදරණීය සිරිදාස ද අහිමි කළ ජෙමා ගැන තිබුනේ වෛරයකි. සිරියා ජෙමා ළඟට යන විට තමා මරණයෙන් බේරා ගන්නා ලෙසත් තමාගෙන් සිදු වූ වැරදිවලට සමාව දෙන ලෙසත් ඉල්ලා වැළපුණේ කඳුළු සමගිනි. සිරියාට අවශ්‍ය වූයේ සිරිදාස මරා දැමූ ජෙමාගෙන් එම සත්‍යය හෙලි කර ගැනීමටය. ජෙමා දස අතේ දිවුරමින් කීවේ ‘සිරිදාස මරා දැම්මේ තමා නොවන බවත් එය කළේ චණ්ඩි සුදා බවත්’ ය.
එදා හවස සිරිදාස කම්බි කොක්කෙන් ජෙමාට පහර දුන් සිද්ධිය චණ්ඩි සුදාට එවෙලෙම ආරංචි විය. සිරියාට කුරුමානම් ඇල්ලූ චණ්ඩි සුදාට සිරියා වැන්දඹුවක් කර තම අභිමතාර්ථයන් ඉටු කර ගැනීමටත් එසේම වත්තේ තම එකම වෛරක්කාරයා වන ජෙමා කොටුකර එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙකු මරා දැමීම චණඩි සුදා කළ කුමන්ත්‍රණයකි.
‘මැරකම චණ්ඩිකම් තාවකාලික බවත් කිසිම චණ්ඩියෙකුට ස්වාභාවික මරණ අත්වෙන්නේ නැති බවත් සිරියාට දැණුනි.’
ඉතා රසවත් ඉහුම් පිහුම්වලට දක්ෂ ඇය සෝමේගේ සියළුම ඇප උපස්ථාන කළේ ජීවිත පරිත්‍යාගයෙනි. සෝමේට මුහුණ දීමට සිදුවන හතුරු කරදරවල දී පවා ඒවා විඳ දරා ගන්නා එඩිතර බිරිඳක් ලැබීම ගැන සෝමේ ද ආඩම්බර විය. පළමු දරුවාගේ අකල් මරණය ගැන ජීවිතය කළකිරුණු සිරියා දහමට නැඹුරු විය. ඉන් අවුරුදු තුනක් පිරෙන විට දෙවන දරුවා ද බිහි කළ සිරියා කෙරෙහි ගෞරවයක් සෝමේට ඇති විය. ඇය නිසා සෝමේ දහම් කරුණු කාරණා ගැනත් මරණය නියත බවත් මැරෙන හැමකෙනෙකුම ඉපදෙන බවත් ඒ වන විට වටහා ගෙන තිබුණි. ඇය සෙමින් මිමිණූ මිහිරි බොදු ගීතවලට සෝමේ දැඩි ලෙස ආශා විය. ඇය නිතර ගායනා කළ මාලිනී බුලත්සිංහල මහත්මියගේ,
පිපෙනා මලකට – ගලනා දොළකට
දැනෙනා බුදු ගුණ – නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ – මරණින් පස්සේ
පිං පව් එනවා – මරණින් පස්සේ
සෝමේගේ සිත සසල කරන්නට සමත් වු ඇයගේ එක් මියුරු ගීතයකි. තම කුසල් අකුසල් එලොවට හේතු වන බවත් මරණය හා චුතිසිත යනු ඊළඟ භවයේ ආරම්භය බවත් සිරියා ඔහුට කියා දෙන විට සෝමේ තමන්ගේ ජීවිතය ගැන සැබවින්ම කම්පා විය.
‘මටනං ඉතිං අපාය තමයි.’
‘ නැහැ සෝමේ, පසුගිය දේවල් ගැන කම්පාවෙලා පසුතැවිලා වැඩක් නැහැ.’
‘ඒත් සිරියා මම හොඳ වැඩ කරලා නැනේ.’
‘එහෙම කියන්න එපා සෝමේ, අංගුලිමාල මිනිස්සු නවසිය අනූනමයක් මරලත් යහමගට ආවා. අම්බපාලි නගර සෝබනියක්වෙලත් සසරින් එගොඩ වුණා. ඒවගේ ගොඩාක් සිද්ධි බෞද්ධ ඉතිහාසයේ තියෙනවා. මම කියල දෙන්නම්.’
‘අම්මපා සිරියා දන්න දේවල්.’
‘කසී නැමැති බමුණේක් සම්මා සම්බුදුන්ට නිග්‍රහ කරලත් යහමගට ආපු එකේ සෝමේ අයියට එහෙම බැරි කමක් නැහැ.’
තම දරුවාට හොඳ අනාගතයක් ලැබෙන්නට නම් තම ජීවන රටාව වෙනස් කිරීම අවශ්‍ය බව සෝමේට ඒත්තු ගැන්වීමට සිරියා දක්ෂ බිරිඳක් විය. පච්චසෝමේ තම දේපල විකුණා දමා ගොඩකවෙල අක්කර දෙකක ඉඩමක් මිල දී ගත්තේ අවසන් කාලය සිරියා සමග ධර්මානුකූලව ජීවත් වීමට පොරොන්දු වෙමිණි. කාලයත් සමගම සෝමේට හමු වූ විමලදාස නිසා මැණික් පතල් කර්මාන්තයට සුළු වශයෙන් ඔහු එක් විය. ජීවිතයේ ගමන් මග වෙනස් කරමින් එක්දිනක් රුපියල් ලක්ෂ දෙක හමාරක් වටිනා නිල් මැණිකක් පතලකින් හමුවීමත් සමග සෝමේගේ ජන ජීවිතයම උඩු යටිකුරු විය. එතරම් මුදලක් එකල චණ්ඩි වැඩවලින් හෙවීම ලෙහෙසි නැත. හෙව්වත් ජීවිතය ගැන අල්ලන කස්තිරම අවදානම් ය.
මැණික් පතල් කර්මාන්තයට තම ජීවිතය කැප කළ සෝමේ වරින්වර ගම්වල හා පොළවල්වල ඇවිද කුඩා මැණික් හා තෝරමල්ලි එකතු කිරීමට පුරුදු විය. විමලදාස මැණික් ගැන කරන විස්තර අනුව එක් දිනක් ගල් මල්ලක තිබු එක් කැටයක් රැගෙන බේරුවල මුදලාලි කෙනෙකු හමුවිය. ඔහු එය ලක්ෂ හතරකට මිල දී ගැනීමට කැමති විය. වරින්වර එකතු වන අහඹු ගල් නිසා කෝටිපතියකු වූ විමලදාස හා සෝමේ රත්නපුරයේ කඩ කාමරයක මැණික් මිල දී ගැනීම ආරම්භ කළේ හවුල් ව්‍යාපාරයක් ලෙසය. එම ව්‍යාපාරය ‘සිරියා ජෙම්ස් ‘ නමින් ලොකු බෝඩ් ලෑල්ලක් එල්ලන තෙක් සිරියා තමාගෙ නම කඩයට දමා ඇති බව දැන ගෙන සිටියේ නැත.
තමා උපන් ගම වන මැදවච්චියේ සිට සැතපුම් හයක් පමණ දුරින් ඝන කැලය මැද ආරම්භ කර තිබු ආරණ්‍ය සේනාසනයට මාස්පතා අවශ්‍ය වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂ අසූවක තැන්පතුවක් බැංකුවේ තැන්පත් කිරීමට හැකිවීම ගැන සිරියාට දැනුණේ මහත් සතුටකි. එම තැන්පතුවේ පොළිය නේවාසික හිමිවරුන්ගේ එදිනෙදා වියදම්වලට හොඳටම ප්‍රමාණවත් ය. තම මවටත් සිරිදාසටත් තම පළමු දරුවාටත් එම පිං අනුමෝදන් කිරීම සිරියාගේ එකම අරමුණ විය.එම උත්සවයට පැමිණි තම අයියා සහ නෑනාත් තමන් අතින් සිදු වු වැරදි ගැන සමාව ඉල්ලන විට සිරියාට ඔවුන් ගැන මෛත්‍රිය ඇති වුණා මිස වෛරයක් හිත තුළ ජනිත කර ගත්තේ නැත. ඇය ඇත්තටම දැන් බුදුන් සරණ ගිය උපාසිකාවකි.
***
සිරියා මැතිණිය නැවත වරක් ස්වාමීන් වහන්සේට හිස බිම ඔබා නමස්කාර කළාය.
*** *** ***
By Daya Prathapasinghe – Auckland