” පසුගිය කලාපයේ කතාවට පාදක කර ගත්තේ 1988-89 ජ. වි. පෙරමුණ රටපුරා ඇති කළ භීෂණයයි. ජී.එස්. පෙරේරා මහතා එය, ‘තවත් කළු ජූලියක්’ ලෙස නම් කිරීම 1983 කලබල සිහි කරමින් උපමා-රූපකයක් (metaphor) භාවිතා කිරීමකි. මේ සම්බන්ධව අපට අදහස් දැන් වූ අයට ස්තූති කරමු. ජී.එස්. පෙරේරා මහතා ගේ ‘රස කතා’ ඉදිරියටත් පළවනු ඇත. ඔබගේ කතාවත් එවන්න.”
ඇය හිස කෙස් කඩා දැම්මාය. පපුවට ගසා ගත්තාය. ‘මාත් ඔය වළටම දාල වහපල්ලා,’ කියමින් කෑ ගැසුවාය. දරු දෙදෙනා ඇගේ දෙපස එල්ලී වටපිට බලමින් පියවර මැන්නෝය. ඥාති හිතෛෂීහු යටියන්තොට සුසාන භූමියේ අරලිය ගහ පාමුල සකසා තිබූ මඩුවේ ආධාරකය මත දේහය සහිත පෙට්ටිය තැන්පත් කළෝය.
ඇය නැවත හැඬුවාය. ‘මේ පැටව් දෙන්නා නැත්නම් සත්තයි මමත් මේ වළටම පනිනවා.’ ඇය සත්ත කළාය. ‘මං කොහොමද පැටව් දෙන්නෙක් එක්ක ගෙදරකත් ඉන්නේ.’ඇය හිස බදා ගෙන, සිරිපා අඩවිය දෙස බලා දෙවියන්ට දුක කිව්වාය.
ඒ, අප බැංකුවේ කෑගල්ල දිස්ත්‍රික්කය භාරව සිටින කාලයේ යටියන්තොට ශාඛාවේ මුරකරුගේ අවමඟුලට සහභාගි වන විට මා දුටු දර්ශනයයි. තිස් එක් වියේ වූ අමරසේකර, නිවසේ උඩ තට්ටුවේ බාල්කයක එල්ලී සිය දිවි නසා ගත්තේය. ඊට පසු මා නැවත යටියන්තොට බැංකු ශාඛාවට ගියේ තෙමසකට පසු ය. හරියටම පොදු සුසාන භූමිය පසු කරද්දී මට අමරසේකර සිහි වීය.
‘දැන් අමරසේකරගෙ හාමිනේට කොහොමද? පොඩි එවුන්ට තාත්ත නැති පාළුව තදේට ඇති. මනුස්සයට කවුරුත් උදව් කරන්න ඇති.’ මම යටියන්තොට ගැන දන්නා රියැදුරු සුබසිංහගෙන් ඇසුවෙමි.
‘සර් පෙන්ෂන් එක හරි නේද?’ ඔහු මගෙන් ඇසුවේය.
‘ඔව්. ඒක හෙඩ් ඔෆිස් එකෙන් අනුමත වෙලා ආව නෙව. ඇයි ඒ?’
‘එහෙනම් හරි සර්. එයාට සර් කියනව වගෙ පාළුවක් අඩු පාඩුවක් නෑ.’ සුබ සිංහ සිනා සුණේය.
‘නෑ? ඒ මොකද අම්මා තාත්ත, ගමේ මිනිස්සු උදව් කරනවද?’
‘නෑ අමරසේකරගෙ මල්ලි උදව් කරනවා.’
‘ඒ කොහොමද? මං දන්නවා, මිනිහට රස්සාවක් වත් නෑ නෙව.’
‘ළමයින්ට තනියි කියල ගෑනි මනුස්සය මැරිල මාසයක් යන්න ඉස්සෙල්ල මිනිහගෙ මල්ලිව ගෙන්න ගත්ත.’
‘මම දන්නෙ නෑ නෙව. ආයෙ කසාද බැන්ද නම් මං හිතන්නෙ පෙන්ෂන් එක නැති වෙනව. නීතිය එහෙමද කොහෙද.’
‘ඒ ඉතිං සර් කසාද බැන්දොත් නෙව.’
‘එතකොට, එදා ඒ වළටම දාන්න කියල කෑ ගැසුවෙ?’
‘මේක නෙව සර්. ඔය මිනිස්සු මැරෙන එකට ඔය ගෑනු කැමතියි. ඉන්නකල් බීල ගෙදර ඇවිල්ල රංඩු වෙනව. සතයක් ගෙදෙට්ට ගෙනත් දෙන්නෙ නෑ. දැන් මුලු පැන්ෂන් එක එහෙම්මම හම්බත් වෙනව. තනියකුත් නෑ.’
සුබසිංහ සුක්කානම සමග සිනා සුණේය.
By B. Karasinghe Arachchi