fbpx
14.9 C
New Zealand
Friday, April 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සිරිපා ගමන – 06 | එල්.එච්. ධර්මදාස

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

දෙනියායේ සිට දැවැන්ත සිංහ රාජය හරහා කුඩව, මානාන, කරවිට, මගුරුගොඩ, හංගමුව පසු කර රඹුක්කන්ද වත්ත හරහා ආ සිරිපා වන්දනා නඩය මල්වලට සම්ප්‍රාප්ත වීම දක්වා මෙයින් විස්තර කෙරේ.

දහවල් බත සැපයු මිතුරා.

පෙර දින නවාතැන් ගැනීමට සිතා සිටි අප මිත්‍ර ඒ ඒ ඩී එස් අමරතුංග මහතාගේ නිවසට අප යන විට ප. ව. 12.45 විය. අමරතුංග මහතා කලින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරියෙකු ලෙස සේවයකර දැනට ප්‍රජා ජාල සැපයුම් ව්‍යාපෘතියේ කලවාන ප්‍රදේශය භාර ඉංජිනේරු සහකාරවරයෙකු ලෙස කටයුතු කරයි. මීට අවුරුදු 20 කට පමණ පෙර සිට ඔහු අපගේ හොඳම මිත්‍රයෙක් විය. අමරතුංග මහතා නිවසේ නොවුයේ පෙරදින දෙල්ගොඩ පන්සලේ නායක හාමුදුරුවන් අපවත් වුණ හෙයින් එම ආදාහන උත්සවය පිලිබඳ කලවාන ජාතික පාසලේ සාකච්චාවකට සහභාගී වීම හේතුවෙනි. 

සියලු තොරතුරු ඔහු සිය බිරිඳටද, හිතවතුන්ටද දන්වා තිබු හෙයින් අපට නිවසට මග පෙන්වන්නන්ද, තොරතුරු විමසන්නන්ද බහුල විය. මානානේ සිට කි. මි. 1 ක් පමණ රත්නපුර දෙසට ගොස් කළු පාලම ළඟින් හැරී මද දුරක් ගිය විට අමරතුන්ගයන්ගේ නිවස වෙයි. ඔහු බිරිඳ අප මහත් සෙනෙහසින් පිළිගත් අතර, අමරේගේ අවුරුදු 8 ක් පමණ වයස පුතු දහම් පාසල් ගොස් ගෙදර එනු අපට මගදීම හමු විය. 

මද වෙලාවකින් අමරේ පැමිණි අතර පෙරදා රෑ පැමිණීම අපේක්ෂා කළ බවත් පමාවට හේතුවත් විමසීය. ගමන දුර හෙයින් එදා රෑ කුඩව ගත කළ බව අමරේට කීමි. අමරේ පෙරදා රෑ කෑම පවා අප වෙනුවෙන් සකසා සියලු පහසුකම් සකසා තිබුණි.  ඇඟ පත සෝදා විවේක ගත අපි දහවල් ආහාරය රිසි සේ භුක්ති විඳීමු. 

මා පැළඳ සිටි පටි සපත්තු දෙකේ අඩියේ කට්ට හොඳටම ගෙවී තිබුණි. සිංහරාජ වනය තුළදීත්, බොරළු පාරෙදීත්, කීප වාරයක්ම මා ලිස්සා වැටුණු හෙයින් හෙන්රිගෙන් පිහිය ඉල්ලා ගත මම සපත්තුවේ අඩිය අලුතින් කට්ට කපා පොළව බදා සිටින සේ සැකසීමි. අමරේගේ තාත්තාද අප පැමිණි බව අසා එහි පැමිණියේය. සියලු විස්තර අසා දන ගැනීමට පියාණන් අපට මහෝපකාරී විය. සිරිපා පැරණි මාර්ගය කරවිට කන්ද හරහා පැරණි අම්බලම ළඟින් වැටී ඇති බවත් දැන් ඒ මග තේ වතුවලට යට වී මැකී ගොස් ඇති හෙයින් රජ්ජුරුවත්ත පසු කර යන විට අලුත් කෙටි පාරක් අපට පැහැදිලි කර දුනි. 

අමරේගේ පියාණන් බෙහෙවින් ප්‍රසන්න ප්‍රියජනක පුද්ගලයෙක් විය. අවුරුදු 84 ක් වයස්ගත විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. බොහෝ ඇසූපිරූ තැන ඇති ඔහු ජනප්‍රවාද හා පෙර ඇත්තන්ගේ ගමන් හැසිරුම් හොඳින් දත් අයෙකි. සුදු රෙද්ද, බැනියම හැඳි කෙට්ටු සෘජු කයක් ඇති ඔහු නිරෝගීය. නිරවුල් පැහැදිලි කතා ඇත්තෙකි. 

ප.ව. 3 ට පමණ අමරෙටත්, ඔහු බිරින්දෑටත්, කළ සත්කාර සංග්‍රහ පිලිබඳ තුති පුදා ගමන් ඇරඹීමු. මේ වන විට සෙනෙවිගේ කකුලේ දිය බිබුල් නැගී තිබු හෙයින් පටි සපත්තු දෙකට අමතරව මේස් ඇඳීමට යෝජනා කර සෙවූ නමුත් ඒ හරියේ මේස් හමු නොවින. අමරේගේ පියානන්ද අප සමග මග පෙන්වීමට පැමිණි අතර කළු පාලම ළඟින් බටහිර දෙසට හැරී තාරපාර දිගේ ගමන් ඇරඹින. පියාණන් කුකුළුවා විහාරය ගැනත්, කුකුලේගම ගැනත්, කුකුළුවා විහාරයේ සිටි හිටිහාමි සීලවන්ත හිටිහාමි වුන හැටිත්, ඒ වටා ඇති ජනප්‍රවාද රසවත් ලෙස විස්තර කරමින් අප සමග කි. මි. 3 ක් පමණ පැමිණි අතර වයස්ගත ඔහු ආපසු හරවා එවුයේ මහත් බැගෑපත් වීමෙනි. එතුමන්ගේ අදහස වුයේ අප සමග දිගටම ගමන් කිරීමටය. 

කරවිට කන්ද

කලවාන සිට කි. මි. 5 ක් පමණ බටහිර දෙසට ගිය අපි රජ්ජුරුවත්ත මායිමේ පේඩිකන්ද ජනපදයේ පාමුල කෙටි විවේකයක් ගතිමු. රජ්ජුරුවත්ත, තේ කම්හලක් ඇති නේවාසික දෙමළ කම්කරුවන් සිටින විශාල තේ වත්තකි. එතැන් සිට කි. මි. 2 ක් පමණ බටහිර පිඹුර දෙසට ගමන් කළ අප එතනින් උතුරට හැරී බෑවුම් සහිත අතුරු පාරකින් කරවිට කන්ද දෙසට කි. මි. 3 ක් පමණ ගොස් කරවිට කන්දට නැග්ගේ අලුත සකසා ඇතිමුත් වල බිහි වූ ට්‍රැක්ටර් යා හැකි මාවතකිනි. නැගෙනහිරෙන් හා බටහිරෙන් වූ කරවිට කන්ද මැදින් ඇති උස අඩු ස්ථානයකින් අපි කඳු මුදුනට නැග ගතිමු. එතැන් සිට තවත් සැතපුම් 7 ක් පමණ කරවිටට දුර ඇති බව අපට කීවේ මොරටුවේ සිට ලීබඩු කරෙන් ගෙනවුත් වෙළඳාමේ ගොස් මුදල් එකතු කිරීමට ගිය තරුණයන් දෙදෙනෙකි.

ප.ව. 5.20 ට පමණ කඳු මුදුනේ සිට දුර දක්නයෙන් පහත බැලූ අපට කුඩා අඩි පාරවල් සම්බන්ධ වන තාර පාර පහලින් ඉදිරි මගේ පැහැදිලිව පෙනෙන්නට තිබිණ. ඉතා දළ බෑවුමක් වූ අඩි පාර දිගේ කඳු පහළට බැසීම අරඹන විට අසල කුඩා ගේක සිටි කාන්තාවක්, “ ඔය මගේ යන්න එපා. මහත්වරුන්ට තියා අපටවත් යන්න බැරි පාරක් ඕක. බෑවුම හරි සැරයි, මහත්වරු පාර දිගේ යන්න,” යි කීවාය. එය සැබැවි. නමුත් අපට අවැසි වුයේ පෙරලී හෝ ඉක්මනින් පහළට යාමටයි. 6.30 වන විට කරවිටට ලංවූ අපට 6.55 වන විට මහා පාර දිගේ කන්ද නැග උඩ කරවිට හන්දියට පැමිණීමට හැකි විය. එය ජනාකීර්ණ කඩමන්ඩියකි. කලවානට, පලාවෙලට, හංගමුවට, දෑල පාරේ රත්නපුරය හා කරවිටට සම්බන්ධ වන මාර්ග 5 කින් සැදී උඩ කරවිට හන්දියේ තේ කඩයකින් ආප්ප කා තේ බිවු අපි කරවිට නාම පුවරුව සොයා මීටර් 500 ක් පමණ ගියමුත් එවැන්නක් හමු නොවුයෙන් මගුරුගොඩ පාරේ හංගමුවට යන පාරට පිවිසුනෙමු. එම මගෙහි වූ කඩා වැටී තිබු නගරය පෙන්වන නාම පුවරුවක් ළඟ සිට පින්තුරයක් ගත් අපි මගුරුගොඩ පාරෙන් හංගමුව වෙත ගමන් කළෙමු. 

සෙනෙවිගේ කකුලේ දිය බුබුළු ඉතාම වේදනා ගෙන දුන් හෙයින්  මේස්  කුට්ටම් දෙක බැගින් දමා ඉන් පසු සපත්තු දමා ගෙන අප පසුපසින්ම පැමිණියේය. මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් වෙසෙන මෙම මග දෙපස විදුලිය සහිත නිවෙස් තිබු හෙයින් මද ආලෝකයෙන් යුක්ත විය. විදුලි පන්දම් දල්වාගත් අපි අදිරියටම ගියෙමු. අතරමගදී අප සමග ගමන් විස්තර ඇසූ තරුණයන් කීප දෙනෙක්ම ඔවුන්ගේ නිවෙස් වල රාත්‍රී නවාතැන් ගැනීමට ඇරයුම් කළමුත්,oගමුවේ නැවතීමට අදහස් කරන බව පවසා ඉදිරියටම යන විට අතරමගදී තරුණයන් කීප දෙනෙක්ම සැක සිතින් අපගෙන් කරුණු විමසා සිටියෝය. මහත් වෙහෙසට පත්ව සිටි අප ඉතා කෙටියෙන් තොරතුරු පවසා ඔවුන් මග හැර යාමට තත් කළද අප සමග සිටි පාලිත ඔවුන් සමග කෝප සහගතව වාද කළේය. කරුණු අවබෝධ කරගත් ඔවුන් අපට වාහන පහසුකම් දීමටද කතා කළය. 

තාර පාර බෑවුම් සහිත විය. අපගේ අරමුණ වුයේ හංගමුවේ මාගේ බිරින්දෑගේ මහගෙදරට යාමටය. ගමන දුර බව කියමින්, මට බනිමින් හා රෝස් පරොස් බස් කීමෙන්ද, නොයෙක් විහිළු කතා හා පසු ගිය තොරතුරු කියමින්ද කරවිට සිට කි. මි. 10 ක් පමණ මග ගෙවා හංගමුවට අප ළඟා විය. එහිදී ද මෝටර් බයිසිකලයක පැමිණි තරුණයෙක් අප කොහේ සිට කුමකට යනවාදැයි සැකමුසුව ප්‍රශ්න කළේය. අප හංගමුවට යන බවත් මාගේ බිරිඳ සුමනා ජයසූරිය බවත් ඔහුට පැවසීය. බිරිඳගේ නම ඇසෙත්ම මේ සුමනක්කාගේ මහත්තයාදැයි අසමින් බොහෝ ලෙන්ගතුව සියලු උදවු කිරීමට ඉදිරිපත් විය. ඔහු උපාලි ධනවංශ බවත් සුමනක්ක මතක් කරන්න යයිද කියමින් ඇවිටිලි කළේය. අප ඉදිරියට ගොස් උතුරු දෙසට කුඩා තාරපාරක් දිගේ කි. මි. 1.5 ක් පමණ ගොස් බිරිඳගේ නිවසට පැමිණෙන විට පැ.ව. 9.15 පසු වී තිබිණ. 

දෙවන දවසේ රාත්‍රී නවාතැන 

ගෙදරට ආ පසු අප සැමට මහත් සතුටු සහනයක් ගෙන දුන්නේමය. මවත්, බිරිඳගේ නැගණිය හා ඇයගේ සැමියා වන හෙන්රි අයියා, ඔවුන්ගේ පුතු දිලීප, දුව ඉරෝමා හා ලොකු දියණියගේ කුඩා පුතුද නිවසේ සිටියහ. ගෙට ගොඩ වූ විගස මලු පොඩි බිම තැබුවා නොව විසි කළෙමු. පුටු උඩත්, බිමත් වාදී වූ අප මළාක් මෙන් මද වීලාවක් ගිමන් හැරියෙමු. සෙනෙවිත්, සිරිත් අධික වෙහෙසට පත්ව සිටියහ. සෙනෙවිගේ කකුල් වල දිය බුබුල් පුපුරා ගොස් තිබිණ. සිරීගේ ආබාධිත කකුල ඉතාම වේදනා ගෙන දෙමින් තිබිණ. 

ඇඟ පත දොවා පිරිසිදු වී අපි ගිමන් හළෙමු. බෙහෙවින් වේදනා බරිතව සිටි සිරිගේ හා සෙනෙවිගේ දෙපයේ උඩ සිට පතුලට ක්‍රීම් ගා සම්බාහනය කළේ හෙන්රි මල්ලීය. රෑ අහර ගත් පසු වේදනා නාශක ලෙස ගෙනත් තිබු පෙති සිරිටත් සෙනෙවිටත් දුන් නමුත් අනෙක් අයට එය අවශ්‍ය නොවිණි. සුව සේ නිදා ගත් අපි 5.30 ට පිබිදී උදෑසනින්ම ස්නානය කළෙමු. උදේ ආහාර ගත් අපි නැගණිය සකසා දුන් බත් මුල්ද රැගෙන හංගමුව නිවසින් උතුරු දෙසට වැටී ඇති කර්ත පාර දිගේ රඹුක්කන්ද වත්ත හරහා ඇත්ඔයට ගොස් එතනින් මුද්දුවට පැමිණියෙමු.  රඹුක්කන්ද  විශාල රබර් වත්තකි. කඳු සහිත ඒ බිම පසු කර සිරිසුමන මහා පිරිවෙන ළඟදී  කඩයකින් නිවෙස් වලට දුරකථන පණිවිඩ දුන් අපි 9.50 ට මුද්දුව ක්‍රීඩාංගනය අසලින් ගොස් කළු ගඟ හරහා ඇති අඩි 200 ක් පමණ දීග ඇති අඩි පාලමින් එතෙරව රත්නපුර නගරයට පැමිණියෙමු. 

නගරයේ වරකාතොට පාලම අසල කඩයකින් සිසිල් බීම ගෙන පානය කළෙමු. හංගමුවේ සිට අපට මග පෙන්වීමට අරුණ දිලීප පුතු පැමිණියේය. එතැන් සිට මග පැහැදිලි හෙයින් දිලීප පුතු ආපසු හැරුනේ සිතකින් නොවේ. කි.මි. 7 ක් පමණ පැමිණි ඔහුට පා ගමන නුහුරුය. බලවත් වෙහෙසක් ඔහු වෙතින් පල වීය. පෙ. ව. 10.50 ට මල්වල ප්‍රධාන පාරට නැගෙනහිර දෙසින් වූ අතුරු තාර පාරෙන් නැවත උතුරු දෙස බලා ගමන් කර කි. මි. 3 ක් පමණ ගෙවා මල්වල ප්‍රධාන පාර වූ සිරි පා මාවතට සේන්දු වූයෙමු. එම පාරේ කි.මි. 3ක් පමණ යන විට වන රථයකින් පැමිණි පාලිතගේ හා හෙන්රිගේ මිතුරෙකු වූ ජී කේ තිලකරත්න මහතා හමු වූ අතර සිරිපා කරුණා කරන බව අසා ඔහුගේ රථයෙන් යාමට අපට ඇරයුම් කළද අරමුණ පැහැදිලි කළ පසු දහවල් ආහාරයට ඔහුගේ ගිලීමලේ නිවසට ආරාධනා කර ඔහු පිටත් විය. මධ්‍යහ්න 12.30 වන විද මල්වලට ළඟා වූ අපි කඳු මුදුනේ පිහිටි මල්වල රජමහා විහාරය වන්දනා කිරීමට ගියෙමු. 

මල්වල සිට ශ්‍රී පලාබද්ගල හරහා ඊළඟට…

මතු සම්බන්ධයි…
By L.H. Dharmadasa
Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.