fbpx
6.1 C
New Zealand
Monday, August 8, 2022

The Only Sri Lankan Community Newspaper in New Zealand

සිරිපා ගමන – 09 (අවසාන කොටස) | එල්.එච්. ධර්මදාස

Must read

SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ආපසු කරුණා කිරීම

කෘත්‍යාධිකාරී හිමිපාණන් එදින රාත්‍රියේ මළුවේ ගත කරන ලෙස අපගෙන් ඉල්ලා සිටියද, කරන රැකියා හේතුකොටගෙන අප ගම බලා යා යුතු වූ හෙයින්ද උන් වහන්සේට ඉතා කාරුණිකව ඒ බව දැන්වීමු. අනතුරුව උඩමළුවේ සිට උන් වහන්සේ සමග ඡායාරූප කීපයකට පෙනී සිටි අප ගෙන ගිය බෙහෙත් ආදිය එක් රැස් කර උන්වහන්සේට පූජා කර ආපසු කරුණා ඉරීමට අවසර ඉල්ලා අතිශය ගෞරවයෙන් උන්වහන්සේගේ පාද නමස්කාර කළෙමු. සියලු දෙනාම අප දෙමාපියන්ට හා මියගිය ඥාතීන්ට පින් පතා ශ්‍රී පාද මළුවට ආධාර පිරිනමා ඉතා සැහැල්ලු වූ සිතින් පස්වරු 2.10 ට ආපසු කරුණා කිරීම ඇරඹූහ. 

කට වැරදීම

ප.ව 05.45ට  ලිහිණි හෙළට පැමිණි අපි, සෙනෙවිගේ හා සිරීගේ අත් ල ගැටගසා තිබු පඩුරු ලිහා භාරය ඔප්පු කර ගමන් ඇරඹීමු. මළුවට කරුණා කිරීමේ දී ලිහිණි හෙළ සිට මළුව දක්වා ගමන් කිරීමට අපට පැය අටක් පමණ ගතවී තිබුණ ද ආපසු ඒමට ගත වුයේ පැය තුන හමාරකි. සෙනෙවි මේ ගැන උදම් අනා අපට තව කෙටි වෙලාවකින් පලාබත්ගලට යා හැකියැයි කීය. සමන් දෙවියන්ගේ අඩවියේ කට වරද්දා ගැනීම නොකළ යුතු බවත්, දේව කරුණාවෙන් සුදුසු වෙලාවට අපට පලාබත්ගලට ළඟා විය හැකි බවත් මම කීවෙමි. මිනිත්තු පහක් යාමට මත්තෙන් ධාරානිපාත වර්ෂාවක් ඇති වුයෙන් අපේ ගමනට මහත් බාධාවක් විය. කුඩ ඉසලාගත් අපි ඉතා සෙමෙන් පාර දිගේ පහතට ඇදෙන මහා වතුර ආර අතරින් සෙමෙන් කරුණා කළෙමු. සෙනෙවිගේ අනාවැකි කීම එතැනින්ම නැවතුණි. අප මදක් අඩිය ඉක්මන් කර පහතට බස ආ අතර සෙනෙවිත් සිරිත් සෙමෙන් ගමන් කළෝය. රාත්‍රී 7.00 වන විට හෙන්රි, පාලිත හා මම පලාබත්ගලට ළඟා වීමු. පැය භාගයක් පමණ බලා සිටිය ද සිරිත් සෙනෙවිත් නොආයෙන් වතුර, ග්ලුකෝස් ආදියත්, විදුලි පන්දම් දෙකකුත් රැගෙන මමත් පාලිතත් නැවත සිරිපා කඳු මුදුන දෙසට හැකි පමණ වේගයෙන් ගියෙමු. කි.මි. එක හමාරක්  පමණ යන විට දෙදෙනා මහත් වෙහෙසකර ස්වභාවයෙන් පහළට බසිනු හමු වූ අතර ග්ලොකොස් හා වතුර ඔවුනට දී සෙමෙන් නැවත පලාබත්ගලට එන විට රාත්‍රී 7.40 විය. 

පලාබත්ගලින් වෑන් රථයක් ලබා ගත අපි 7.55 ට පිට වී 8.20 ට ගිලීමලේ තිලකෙගේ නිවසට ගියෙමු. තිලකේ සපයා දුන් වෙනත් රථයකින් 9.50 ට ගමන් ඇරඹි අපි රාත්‍රී 10.50 ට රත්නපුර නැන්දනියගේ ගෙදරට පැමිණ වන්දනාව සාර්ථකව ඉටු කළ බව පවසා ඇය වෙත හිස බිම තබා වැඳ පින් දුන්නෙමු. ඇඟ පත සෝදා රෑ ආහාර ගෙන නින්දට ගිය අප පසු දින, එනම් 2000.05.03 වන දින උදෑසන පිබි දී ආහාර ගෙන අංක 58-1603 රථයෙන් දෙනියාය බලා පිටත්ව ආ අතර, දිලීප පුතු හා නැන්දනිය අප සමගම පැමිණියෝය. ප.ව. 2.05 ට පමණ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට පැමිණ එහි වැඩ විසූ පරිවෙනාචාර්ය ශාස්ත්‍රපති කඹුරුපිටියේ අනුරුද්ධ හිමියන් වෙත සියලු පුවත් සැල කර අප වූ භාරය ඔප්පු කිරීමට උපකාර ඉල්ලා සිටියෙන්, උන්වහන්සේ සෙත් පිරිත් දේශනා කර දෙවියන්ට කන්නලවු කිරීමෙන් අනතුරුව දේවාලය වෙත පඩුරු ඔප්පු කර සිටියෝය. අනතුරුව අපි එහි අටසිල් සමාදන්ව සිටි උවැසි උවැසියන් ඉදිරියේ සියලු විස්තර පවසා මේ සා අපට සවියක්, ශක්තියක් හා ධෛර්යයක් ලබා දීමට උදව් වූ ඥාතීන්ට ද ජීවත්ව සිටින දෙමාපියන්ට ද උදව් උපකාර කළ සැමට ද, ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු සංඝයා වහන්සේලාට ද දෙවියන්ට ද පිං අනුමෝදන් කළෙමු. 

මහත් වූ භාක්තියෙන් ද දැඩිව වෙලාගත් චිත්ත වේගයන්ගෙන් ද යුක්ත වූ අප සමග ගිය සියලු දෙනා ගමනේ වැඩිහිටි වූ මා හට වැඳ නමස්කාර කළේ සාමුහිකව කරන ලද මහාර්ඝ ව්‍යයාමයකට මා මුල් වූ හෙයින්ය. 

පසුව අසල වූ පාර දිගේ පාලිතගේ නිවසට ගිය අපි ඔහුගේ මෑණියන් වෙත බුලත් හුරුළු දී වැඳ පින් දුන්නෙමු. අප නිවෙස්වල සැම වෙනුවෙන් ආහාර පාන සකසා තිබිණ. සෙනෙවි හා ප්‍රියන්ත පාලිතගේ නිවසෙන් ද හෙන්රි, සිරි හා රථයේ රියදුරු හා ඔහුගේ මිතුරා ද දිලීප පුතු හා නැන්දනිය අපගේ නිවසින් දහවල් ආහාර ගෙන නිවෙස් බලා ගියේ යුගයේ අතිශය දුර්ලභ ඝනයේ පා ගමනින් සිරිපා වන්දනා කිරීමේ මහඟු වන්දනා ගමන නිම කරමිනි. 

මෙම ගමනේදී අප දින හතරක් තුළ පැය 56ක් පා ගමනින් ගමන් කර ඇති අතර කි.මි. 185 ක දුරක් ගෙවා මීටර් 4145 කඳු නැග නැවත එම දුර බැස පා ගමනින් ගමන් කර ඇත. ගමනේ සාමාන්‍ය වේගය පැයට කි.මි 3.3ක් පමණ විය. 

ගමනේදීස කිසිදු මත්ස්‍ය, මාංශයක් පවා ආහාර වශයෙන් නොගත් අතර සැබෑ ලෙසම පන්සිල්හි පිහිටුවා, භක්තියෙන් හා ගෞරවයෙන් යුක්තව අදාළ වන්දනා ගමන අපි නිම කරන ලද්දෙමු. 

වගකිව යුතු ඇත්තන් වෙත ගෞරවයෙන් යොමු කළ යුතු කාරණා. 

 

සිංහරාජ වනාන්තරය 

සිංහරාජ වනාන්තරය සදාහරිත වැසි වනාන්තරායක් ලෙස ලෝක උරුමයක් සේ නම් කර ඇත්තේ මෙහි ඇති අසීමිත ජෛව විවිධත්වය හේතුවෙන්ය. අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවකින් ගස් හා පැළෑටි මෙන්ම සමනලුන්, කුරුල්ලන්, වඳුරන් හා රිලවුන් ද, අඳුන් දිවියන්, අළු වලසුන් හා අප්‍රමාණ වූ කුඩා කෘමි වර්ගයන් ද සහිත මෙම ස්වභාවික දායාදය තරයේ ආරක්ෂා කළ යුතු වස්තුවකි. 

මෙම වනාන්තරය දැනට කෙටි ආර්ථික ලාභ පතා තේ වගාවන්ට යට කරලීම සෑම පැත්තකින්ම දක්නට ලැබේ. වනාන්තර සීමාවේ ඇතුලේ පිහිටි වතුගල, කොලොන්තොට, වතුරාව ආදී ගම්වල පදිංචි ජනයාගෙන් වනයට වන හානිය ද සුළුපටු නොවනු ඇත. ප්‍රධාන ජනාවාසයන්ගෙන් ඈත්ව ජීවත් වන මොවුන්ගේ ජීවිත ප්‍රවාහයට ඇත කර ඇති කරදරය අල්ප නොවේ. 

වනාන්තරය සුරැකීම.

අ) මනුෂ්‍යයාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ස්වභාවික සම්පත් සැපයෙන මෙම වනාන්තරයේ පවතින අතිශය ප්‍රයෝජනවත් වූ ක්ෂුද්‍ර ජීවීන්ගේ පටන් අනෙක් සත්ත්ව වර්ගයන් පිළිබඳව ද ඖෂධීය හා වෙනත් රසායනික ගුණයෙන් යුක්ත වූ ගස්වල පැළැටි පිළිබඳව පර්යේෂණ සඳහා වෙනමම රාජ්‍ය අංශයේ ස්ථීර ආයතනයක් ඇති කළහොත් එය ඉතාමත් ඵලදායී වනු ඇත. 

ආ)වැසියන්ගේ යහපත සැලසීම.

 අභ්‍යන්තරයේ වෙසෙන ගම්වල වැසියන්ට වන පීඩාව වැළැක්වීමටත්, වැසියන්ගෙන් වනාන්තරයට ඇති වන පීඩාව වළකාලීමටත් සුදුසු පහසුකම් සහිත ජනාවාස සකසා ඔවුනගේ කෘෂි ආර්ථික පැවැත්ම ද සනාථ කර එම ජනාවාසවල මෙම ජනයා පදිංචි කර හිස්වන ඉඩම්වල ස්වභාවික වන වගාව කළ යුතු වේ. මෙසේ නොකළහොත් දැනට ජීවත් වන වැසියන්ගෙන් හා ඔවුන්ගෙන් පැවතී වර්ධනය වන පරම්පරාව වෙනුවෙන් මෙම ලෝක උරුම වැසි වනාන්තරය මෙම සියවස තුළදීම විනාශයට පත් වනු ඇත. මේ පිළිබඳව රජයේ අවධානය කඩිනමින් යොමු විය යුතු වේ. 

සිංහරාජ වනාන්තරයට ඇලුම් කරන ලෝකයේ දියුණු රටවලිනුත් ජාත්‍යන්තර සංවිධානවලිනුත් මේ සඳහා ආධාර ඉල්ලා සිටියහොත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පරිත්‍යාග හා ආධාර මේ සඳහා නොඅඩුව ලැබෙනු ඇත. 

ඇ) ආර්ථික සහ වැවිලි කර්මාන්ත.

දෙනියාය, පල්ලේගම, මෙදේරිපිටිය, කුඩාව, කලවාන, කරවිට, ගිලීමලේ, පලාබත්ගල වැනි සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වී ඇත්තේ තේ වගාවන්ය. සුළු තේ ඉඩම් හිමියන් බහුලව ඇති මෙම ප්‍රදේශවල වගාකරුවන් පස සංරක්ෂණය හා ජල රක්ෂිත සංරක්ෂණය පිළිබඳ ඇති අවධානය ඉතාම අල්පය. නිරන්තරයෙන් විවිධ රසායනික ද්‍රව්‍යයන් හා රසායනික පොහොර භාවිතයෙන් ක්ෂණිකව ඵලදාව වර්ධනය කරගනු විනා අනාගතය පිළිබඳ කිසිදු අවධානයක් ඔවුන්ගේ දක්නට නැත. මෙම තත්ත්වයෙන් මිදීම උදෙසා පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ අවබෝධය ඔවුනට ලබා දී ඒ වෙනුවෙන් ඔවුන් දැඩිව යොමු කළ යුතු වේ. 

ශ්‍රීපාද අඩවිය

සිංහරාජ වනාන්තරය මෙන්ම ජෛව විවිධත්වයෙන් යුක්ත වූ ශ්‍රීපාද කඳු වැටිය බෙහෙවින්ම පාරිසරික දූෂණයට ලක්ව ඇති බව ඉතා පැහැදිලිව දක්නට ඇත. ඉතා ඝන වනාන්තරයෙන් වැසී තිබිය යුතු වූ මුළු කඳු වැටියේ වන්දනාකරුවන්ගේ මාවත් වැටී ඇති ප්‍රදේශයේ මාර්ග ආසන්නයේ සිට කිලෝමීටරයක් පමණ දුර ඝන වනාන්තරය විනාශයට ලක්ව ඇත. 

වන්දනාකරුවන්ගේ පහසුකම් සැපයීමට තනන තාවකාලික කඩ මඩු සඳහා සෑම වාරයක් පාසාම කැලෑවෙන් දැව දඬු කැපීම නිසා එම කඩ මඩු තනන ස්ථාන අවට වර්ග කිලෝමීටරයක් දෙකක් පමණ ඈතට උසට වැඩෙන සියලු ගස් කොලන් තුරන් වී ඇත. කඩ සැකසීමෙන් පසුව ආහාරපාන ඉවුම් පිහුම් කිරීමටත් වතුර උණු කිරීමටත් එක වන්දනා වාරයකට දර ඝන මීටර් 100 ක් පමණ එක ආපන ශාලාවක භාවිතා කෙරේ. එක වතුර හැලියක් උණු කිරීමට දර ඝන මීටර් ¼ කටත් වඩා අවශ්‍ය වේ. මැරී ඇති ගස් කපාගෙන එමෙන් මෙම දර සපයා ගන්න බව කඩ හිමියන් පැවසූව ද මෙපමණ ගස් සංඛ්‍යාවක් ස්වභාවිකව මැරී නොයන අතර උවමනාවෙන්ම ගස් මරා ඒවා හා අමු ගස් ද භාවිතයෙන් දර සොයා ගන්න බව ඉතා පැහැදිලිය. ශ්‍රීපාද කඳු මුදුනේ සිට කිලෝමීටර් දෙකක් තුනක් පමණ පහළට දර භාවිතයට ගත හැකි ගස් කොළන් ඇත්තෙම නැත්තේ මෙසේ දර හා වෙනත් අවශ්‍යතා සඳහා දීර්ඝ කාලයක් කැලෑ කපා දැමීම හේතුවෙනි. දැනට මෙම ගිරි හිස සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙමින් සෝදා පාලුවට ලක් වෙමින් පවතින අතර පඳුරු හා මීවන, උඩවැඩියා කුලයේ පඳුරු හැර වෙන ශාකයන් අතිශය දුර්ලභය. බොහෝ දෙනා දැවමය වශයෙන් විශාලව වැඩි ඇති ගහ කොළ දෙස වඩාත් වැදගත් අවධානයෙන් බලා සිටිය ද ඊට වඩා හෝ සමානව වැදගත් කුඩා පැළැටි හා ඊට අනුබද්ධව වැඩෙන පරපෝෂිත ශාක පෙරදිග ලෝකයේ ජෛව පැවැත්ම සඳහා මහෝපකාරී වී ඇති බව වත්මන් මිනිසාගේ අඩු අවධානයට ලක් වී ඇත. ආයුර්වේදයේ ඖෂධයක් වශයෙන් නොගන්න එකදු පැළැටියක්වත් වනාන්තරයේ නොමැති බව දක්වා ඇත්තේ මෙම වැදගත්කම හේතුවෙන්ය. ජෛව පැවැත්මට අසීමිත මෙහෙයක් ඉටු කරන සිරිපා හිමේ මෙම ස්වභාවික පරිසරය පොලිතීන්, කඩදාසි හා ඉවතලන අපද්‍රව්‍ය හේතුවෙන් ඉතා බැරෑරුම් ලෙස විනාශ වී ඇත. කඳු මුදුනේ සිට කිලෝමීටර් දෙකක්  පමණ පහළට එන තෙක් ස්භාවිකව පැවතිය යුතු සියලු ගහකොළ අසීමිතව ජෛව විවිධත්වයක් ඇති හියුමස් පස් තට්ටුව ද විනාශයට පත්ව ඇත. මෙම තත්ත්වය ඉදිරියට පැවතුනහොත් ගිරිහිස සහිත දළ බෑවුමේ බොහෝ ස්ථාන නාය යාමට ඉඩ ඇති හෙයින් වන විනාශය හා අපද්‍රව්‍ය බැහැර කිරීම ඉතා ඉක්මනින්ම සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතුය. 

 

ශ්‍රීපාද අඩවියේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යයන්. 

 

අ) වන විනාශය වැළකීම සඳහා වන්දනාකරුවන්ගේ ආහාර පාන සැකසීමට දර ලිප් භාවිතය වහාම නතර කළ යුතු අතර කිසියම් සහන මිලකට හෝ නොමිලේ විදුලි බලයෙන් ආහාර පාන ඉයුම් පිහුම් කිරීමට විදුලි බලය සැපයිය යුතුය. සෑම ආපන ශාලාවකටමත් ගිමන් හල්වලටත් විදුලි බලය සපයා ඇති හෙයින් මෙයට වැඩි  පිරිවැයක් අවශ්‍ය නොවෙයි. කඩ හිමියන්ගෙන් විදුලි  පිරිවැයට සරිලන සේ කඩ බදු වැඩිකරලීමෙන් මෙම විදුලි සැපයුම් සදහා  වැය වෙන මුදල පිරිමසා ගැනීම ද කළ හැක. (දැනට රු 800.00 ක් පමණ දර ඝන මී.එකකට කඩ හිමියෝ වැය කරත්.) මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ඉතාම ඉක්මනින් ඉටු නොවුවහොත් අනාගතයේ දී විශාලතම පරිසර විනාශයක ඛේදවාචකයක් ලෙස සමනල අඩවිය අප හට දැකගත හැකි වනු ඇත. 

ආ) කඩමඩු හා කූඩාරම් තැනීමට යකඩ හෝ ඇලුමිනියම් භාවිතය අනිවාර්ය කළ යුතු අතර ඒ සඳහා දැව භාවිතය සම්පූර්ණයෙන් තහනම් කළ යුතු වේ. මෙයින් ආවරණ සැකසීමට කරන කැලෑ විනාශය නැවතී යනු ඇත. 

ඇ) අපද්‍රව්‍ය බැහැර කිරීම වන්දනාකරුවන්ගේ හිතුමනාපයට සිදු නොකළ යුතු අතර ඒ සඳහා නිත්‍ය ස්ථාන සකස් කළ යුතු වේ. නොදිරන පොලිතීන්, වීදුරු හා වෙනත් ද්‍රව්‍ය බැහැර කිරීම සපුරා තහනම් කළ යුතු වේ.  අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන පිළිබඳව වන්දනාකරුවන් දැනුවත් කළ යුතු වේ. 

ඈ) වැසිකිළි, කැසිකිළි පහසුකම් ක්‍රමවත් ආකාරයට සකසා ඒවායේ පිරිසිදු භාවය පවත්වාගෙන යාමට කාර්ය මණ්ඩලයක් පත් කර භාවිතා කරන්න අයගෙන් මුදලක් ලබා ගැනීමේ ක්‍රමයකින් එහි නඩත්තු කටයුතු කරගෙන යාම මැනවි. වැසිකිළි තිබුණ ද ඒවායේ අපිරිසිදු භාවය නිසාම වැසිකිළි භාවිතා නොකර පරිසරය අපවිත්‍ර කිරීම ඉන් වැළකී යයි. 

ඉ) ඉහත පරිසර කටයුතු සඳහාත් මේ සඳහා සැළකිල්ලෙන් අවධානය යොමු කළ පසු පෙනෙන වෙනත් කරුණු කාරණා සඳහාත් වන්දනාකරුවන්ට හා සංචාරකයින්ට විනය මාලාවක් ඇති කලළ යුතු අතර එය පවත්වාගෙන යාමටත් අධීක්‍ෂනයටත් කාර්ය මණ්ඩලයක් ස්ථාපනය කිරීමට ද රජයේ අවධානය    යොමු කරන මෙන්ම කාරුණිකව ඉල්ලමි.

*** *** ***
නිමි

By L.H. Dharmadasa

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.