fbpx
14.9 C
New Zealand
Friday, April 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

කලාකාමී දේශපාලනඥයා – සෝමවීර චන්ද්‍රසිරි | ඉන්ද්‍රා දයාමණී කොළඹගේ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

කවිය දෝතට තුරුලු කොට ගෙන මෙලොව උපන් අතිශය සුන්දර රසවතෙක් වූ සෝමවීර චන්ද්‍රසිරි මැතිතුමා අපේ ගම්තුලානේ ජනතා නියෝජිතයා විය. 1909 ජනවාරි 11 දින පිළියන්දල මාම්පේ ග්‍රාමයේ ඔහු උපත ලැබුවේය. මේ කීර්තිමත් මිනිසා ජන්මයෙන් ලද ශක්තියෙන් හිරිහැර බාධක මැදින් ගමන් කොට හිරගෙවල් ඔස්සේ රාජ රාජ මහා මාත්‍යාදීන් කවියේ බලයෙන් අභිබවා ගොස් ජන හදවත් ජය ගත් මහා යුග පුරුෂයෙකි. ජාතියට ආගමට මුල් තැන දෙමින් පාර්ලිමේන්තුවේ කවියෙන් හඬ නැඟූ ඔහු වටා පිරිවර බොහෝමයක් වූහ. 

සිය නම ප්‍රසිද්ධ කර ගන්නට හෝ බලය පාවිච්චි කොට ඉහළට යන්නට ඔහු කිසි දිනක කටයුතු නොකළේය. සෝමවීරයන් අවසන් සුසුම් හෙලා අවුරුදු 50 ක් පිරුණත් කැස්බෑව ජනතාවට ඔහු කිසි දිනක අමතක නොවන්නේ මහජනයාගේ හිත් තුළ වැජඹුණු අවංක දේශපාලනඥයෙකු වූ නිසාය. මේ අපූරු මිනිසා ගැන මිනිසුන්ගේ මුවින් පිට වුයේ මෙවැනි වදන්ය. 

සෝමවීර මහත්තයා මොන තරම් රත්තරන් මනුස්සයෙක්ද? ඒ වගේ දේශපාලනය කරන මිනිස්සු අද දකින්නවත් නෑනෙ.’

සෝමවීර මහත්තයා සත පහක් ගසා ගෙන කාල නෑ. ඒකට දැන් ඉන්න එවුන්.’

සෝමවීර මහත්තයා හරි කෙළින් මිනිහා. ඒ මනුස්සයාට ඕනෑ කළේ දුප්පත් මිනිස්සු එක්ක ජීවත් වෙලා ඒ අයට උදව් කරන්න.’

සෝමවීර මහතා සැරසුනේ සුදෝ සුදු ජාතික ඇඳුමෙනි. මුදු  කෙස් කළඹ බෙල්ල දක්වා දිගු විය. උපැස් යුවල ඔහුට ගාම්භීර පෙනුමක් එක් කෙරුණි.  

සාමාන්‍ය ගමන්වල දී පට සරමකින් හා මේස් බැනියමකින්ද ගෙල වටේ පට ලේන්සුවකින්ද සැරසු ඔහු මගේ මතකයේ රැඳෙන්නේ කරුණාවන්ත මිනිසකු ලෙසටය. ඔහුගේ හිතවත් පාක්ෂිකයින් වූ මගේ පවුලේ අය දකින්නට ඔහු නිතර අපේ මහ ගෙදරට පැමිණියේය. ඔහු නිතරම පියකරු සිනාවකින් මුව සරසා සිටි බව කුඩා වුවද මට මතකය. මගේ දෙමාපියන්ගේ විවාහයේ සාක්ෂිකරුවකු වූ ඔහු විවාහ උත්සවයේ දී තෑගිකොට දුන් බුදුපිළිමයක් කාලයක් අප නිවසේ විය. එමෙන්ම පසු කලක ඔහු මට රන්කිරි කට ගෑ බවත්, අකුරු කියවු බවත් දෙමාපියෝ පැවසුහ. එහෙයින් කුඩා කල තොරතෝංචියක් නැතුව කතාකළ සහ කවි කියූ මට ඒවා ලැබෙන්න ඇත්තේ සෝමවීර මහතා අකුරු කියවූ නිසා යයි පවුලේ අය මට විහිළු කළ අයුරුද මට මතකය. 

සෝමවීර මහතා සිංහල භාෂාව රජ කරවන්නට උර දී කටයුතු කළ අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රබල හඬක් නැඟීය. මිෂනාරි පාසැල් කිහිපයක ඉගෙන ගත් ඔහුව පසු කලක මොරටුවේ වේල්ස් කුමාර විදුහලට යවනු ලැබුවත්, ගුරුවරයෙකුට පැනවු අසාධාරණ පංති තහනකමට විරුද්ධව පංති වර්ජනයක් කිරීමේ හේතුවෙන් ඔහුත් ගුරුවරයාත් දෙදෙනාම විදුහලින් නෙරපනු ලැබීය. පසුව මහනුවර පාසැලක ඉගෙන ගත් ඔහු ලේඛන කලාව දියුණු කර ගත්තේය. එකල ජාතිය අවදි කළ ප්‍රතාපවත් ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයෙකු වූ අනගාරික ධර්මපාලතුමා සිංහල බෞද්ධයා පත්‍රය පවත්වා ගෙන ගිය අතර, විශිෂ්ඨ ගණයේ භාෂා ඥානයකින් හෙබි හේමපාල මුනිදාස ශූරීන් එහි කතෘවරයා විය. ඔහු යටතේ අවංකව හා නිවැරදිව පුවත් පල කළ ගැටවරයා වූයේ සෝමවීර මහතාය. අනගාරික ධර්මපාලතුමාගේ අනුශාසකත්වයෙන් තම උපන් නම වු දාවිත් පෙරේරා යන්න සෝමවීර චන්ද්‍රසිරි ලෙසට වෙනස් කර ගත් එතුමා සරසවි සඳරැස හා ලක්මිණි පුවත්පත්වල පසුකලක ප්‍රධාන කතෘවරයා විය. අධිරාජ්‍යවාදීන්ට දැඩි පුවත් පහර එල්ල කිරීම නිසා ඔහුට පුවත්පත් සමාගම්වල දොරටු වැසුණත් ඔහුගේම ‘නිදහස’ නැමැති පුවත්පත පීඩිත පංති විමුක්තිකාමී අරගලයේ කාහල නාදය පැතිරවූ මහා හොරණෑවක් විය. අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව පෑන මෙහෙයවු ඔහුට 1930, 1945, 1947 දී විටින් විට සිරබත් කන්නට සිදු විය. පාර්ලිමේන්තු මහජන නියෝජිතයා ලෙස ඔහු මොරටුව හා කැස්බෑව ආසනවල කටයතු කළේය. ඔහු සිරබත් කමින් සිටි වකවානුවේ පැවැති මහ මැතිවරණයකදී ඔහුගේ කුඩා අට හැවිරිදි දියණිය මාලනී චන්ද්‍රසිරි වේදිකාවක් පාසා යමින් පියා වෙනුවෙන් කවි ගායනා කොට ඔහු දිනවූවාය.  මේ ඉන් එක් කවියකි.

උගුලක් අටවමින් මෙහි ධනපති ගොල්ල

කෙරුවෙහි මගෙ තාත්තා හිරගෙට එල්ල

ඡන්දය ඔබෙන් ඉල්ලන නම නම බෙල්ල

හිරකාරයාගේ දුව මාලනි කෙල්ල.’

කවියෙකු ලෙස ඔහු කළ උසස්ම සේවය වූයේ සිංහල කවි සම්මේලනය ගොඩනැගිමයි. එමෙන්ම මාම්පේ විශ්ව කලා භූමිය ශාන්ති නිකේතනයක් බවට පත් කිරීමට ඔහු තුළ අභිලාෂයක් ද වීය. ඔහුගේ අනුග්‍රාහකත්වයෙන් විශ්ව කලාවේ මහා බුදුපිළිමයක් ඉදි කෙරුණු අතර ඔහු කළ ශ්‍රමදාන, වප් මඟුල්, දන්සැල් නිමක් නොවිණි. දුප්පත් ගැමියෙකුගේ නිවසට ගොඩවැදී තේ කෝප්පයක් බිව් ඔහු ගැමි පැලක වහලේ පොල් අතු ඉහලද්දි  එයටද හවුල් විය. ගනේවත්ත දේවාලයේ පෙරහැර කරවූ ඔහු නිරන්තරයෙන්ම මහජනතාව සමඟ එකට එක්ව ජීවත් වූ වචනයේ අර්ථයෙන්ම මහජන නියෝජිතයෙකු විය.

ඔහු හිටිවන කවියෙකු වු අතර ඔහු ගොඩ වූ හැම වේදිකාවකදීම මිනිස්සු කවි ඉල්ලා කෑ ගැසූහ. ඔහු ලියු හා කියූ කවි දහස් ගණනක් වන අතර ඔහු ගැන පොත් ගණනාවක් වුවද ලිවිය හැකි තරමේ රස කතා ඔහු කියා ඇත.   

උතුම් මිනිස් ගුණ මැනවින් හඳුනා සිටි ඔහු ගැමියකු, ගම්පතියෙකු, ගම් සභාපතිවරයෙකු, නගර සභාපතිවරයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා උප ඇමතිවරයෙකු මෙන්ම පිළිගත් ප්‍රභූවරයෙකු ද වූ නමුත් ඒ සියල්ලටම වෙනස් වූ නිර්ව්‍යාජ ගැමිකමට මුල් තැන දුන් සුන්දර මිනිසෙකු විය. ඔහු තුළ තිබූ සමානාත්මක ගුණයත් සරලකමත් නිසා ජනතාව සැබෑ ආදරයකින් ඔහු පිළිගත් නිසා අදටත් සෝමවීර නාමය නොමැකී අපේ පරම්පරාවේ ද කතාබහට ලක් වී තිබීම පුදුමයක් නොවේ. 

1970 සමගි පෙරමුණු රජයේ නියෝජ්‍ය සංස්කෘතික ඇමති වු ඔහු දහසක් දේ කරන්නට බලාපොරොත්තු පොදි බැඳ සිටියදී නොසිතූ ලෙසින් 1971 ජුලි මස 11 වැනිදා දෑස් පියා ගත්තේ කැස්බෑවේ ජනතාවට සුන්දර මිනිසෙකු අහිමි කරමිනි.

ඔහුගේ මළගමට දහස් ගණනක් සහභාගි වූහ. මැති ඇමතිවරු ප්‍රභූවරු මෙන්ම දහස් ගණනක් ජනතාව ඔහුගේ මළගම සිදුකළ 1971 ජුලි 15 වෙනිදා පාරවල් දිගේ රැගෙන ගිය ඔහුගේ දේහය පිටුපස ඔහු වඩාත් ආදරය කළ විශ්ව කලා භූමිය වෙත පා ගමණින් ගියහ. අපද පාසැල් සිසුන් ලෙස එදා ඒ අවමඟුල් පෙරහැර පසුපස ගිය අයුරු කිසිදා අමතක නොවේ. ඔහු සමඟ ළඟින් ඇසුරු කළ කවියන් සිය ගණනක් වු අතර ඔහු හා ළඟින්ම සිටි බටුවන්දර ගුණවර්ධන කවියා තම මිතුරා සිහි කර පසුව මෙසේ ලියා තිබුණි,

‘විශ්ව කලා බුදු පිළිමය වඳින්නට
ගනේවත්ත දේවාලය පුදන්නට
කෙම්මුරදාට ඔබ එනවලු විටින් විට
අනේ අපිට පින් මදි නොවැ දකින්නට.’

 

Indra Dayamani Colombage – Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.