රට වෙනුවෙන් මා මැරුණොත් යම්දින-ඔබත් පෙරටු වී රට රකින්න, පුතුනේ.’ එදා ගැයූ ගීතයකි. මේ එය ලියැවුණ පසු බිමය.
යුද්ධය බියකරුය, ගාම්භීරය, සෝචනීයය. එක පැත්තක් ජයගත්තත් නියම ජයග්‍රාහකයෙක් නැත. සිටින්නේ ජයග්‍රහණයෙන් මමත්වය උදුම්මවාගත් සු දෙනෙක් පමණි.
1985 වර්ෂයේ, මම මාගේ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි ලෙස රාජකාරි කෙළෙමි. යුද්ධය තදය. කොටි ප්‍රහාර වලින් දිනපතා යුද හමුදා සෙබළු මිය යති, තුවාල වෙති. මේවනවිට මගේ රෙජිමේන්තුවේද සෙබළුන් කීපදෙනෙක් මියගොස් තිබිණ.
“සර්, කපිතාන් බුලත්සිංහලට කිලිනොච්චියේදී වෙඩි වැදිලා මැරිලා,” දිනෙක,මා යුධක්‍රම පිළිබඳ පුහුණුවක් හසුරවමින් සිටිවෙලාවක, සෙබෙලෙක් මා වෙත දිව අවුත් කීවේය.
මා සැනෙකින් පන්තිය විසුරුවාහැර, කඩිනමින් රෙජිමේන්තු මූලස්ථානයට ගියේ සිද්ධිය සැක හැර දැන ගැනීමටය. ආරංචිය ඇත්තය. කපිතාන් ශ්‍රී වසන්තරාජ් බුලත්සිංහලගේ උදරය දෙසට RPG එකක් වැදී ඔහු එතැනම මියගොස් ඇති බව සැළ විය. ඒ අප ඒකකයේ යුද්ධයෙන් මිය ගිය පළමු නිලධාරියාය. එකට යුධ බිමේ සටන් කළ, එකට නිලධාරි භෝජනාගාරයේ එක මේසයේ කෑම කාපු වසන්ත අප අතරේ නැත. මෙය අපට සෑහෙන දුකක් වුවද, යුද්ධය කරගෙන යා යුතුය.
වසන්තගේ එකම දියණියත් මගේ පුතාත් යහළුවන්ය. නිලධාරි පවුල් අතර සිදු වන හමුවීම් වලදී හමුවන ඔවුහු එකට සෙල්ලම් කරති. එකා පිටුපස එකා දුව යති. මෙවැනි සිතුවිලි දාමයන් මගේ හිත තුළ ගලා එන්නට විය.
පසුදින උදෑසන වසන්තගේ මෘත දේහය ජයරත්න මල් ශාලාවට රැගෙන එන බව පවසා , එය භාරගෙන මල් ශාලාවේ අයට නිසි උපදෙස් දීම පිණිස පිටත් වෙන්නයි මගේ අණදෙන නිලධාරි මට නියෝග කළේය. මම එම කාර්යය ඉටුකිරීමට පිටත්වූයෙමි. මෘත දේහය ගුවනින් රත්මලාන ගුවන් තොටුපොළට ගෙනවිත්, එතනින් ඇස්වාට්ටුවේ ජයරත්නමල් ශාලාවට ගෙන ඒමට තරමක් ප්‍රමාද වන බවත් මට එතනම රැඳී සිටින්නත් නියෝග ලැබිණ.
මෙසේ සිටින අවස්ථාවේදී, දහසක් දේ මගේ සිතේ එහෙ මෙහෙ දුවයි. මේ යුද්ධයේදී ජීවිතය කොතරම් අස්ථිරද? මගේ නමත් ඔය ලයිස්තුවේ කොහේ හරි ලියවිලා ඇති. සමහරවිට එය අද හෝ හෙට විය හැකිය. මම නැති උනොත් මගේ දරුවන් දෙදෙනයි, ආදරණීය බිරිඳයි මොනවා කරාවිද? මෙතැන වැඩිපුර මගේ හිතට එන්නේ මගේ පුතාය. මා මේ යුද්ධයෙන් මිය ගියහොත් ඔහුගේ ඉරණම කෙසේ ලියැවෙයිද?
ක්‍රියාන්විත ප්‍රදේශ වල විශ්‍රාම ලැබෙන සුළු වේලාවල් වල පොඩි පොඩි කවි, නිසඳැස්, ගී පදමාලා කුරුටුගෑමේ සිරිතක් මට තිබුණි. එය මට සිතුවිලි එක තැනක තියා ගැනීමට උපකාර විය. වසන්තගේ මෘත දේහය එන තුරු මා මගෙ පුතාට යමක් ලිවිය යුතුයි සිතා අවසන් වෙන්නත් ප්‍රථමයෙන් මට අදහසක් පහළ විය.
“කෝප්‍රල්, මට මොනවා හරි ලියන්න කොළයක් හොයලා දෙන්න, “ කියා අසල සිටි සෙබළෙකුට කීවෙමි.
ඔහු සැනෙකින් මල් ශාලාවේ කාගෙන්දෝ කොළයක් ඉල්ලා මට දුන්නේය. එහි මගේ හිතේ තිබු අදහස් කුරුටු ගා, “ මෙය කැප්ටන් විජේසුන්දරට දෙන්න,” කියා, මල් ශාලාවට පැමිණ සිටි කෝප්‍රල් තිලකරත්නට දුනිමි. කැප්ටන් විජේසුන්දර යුධ හමුදා තුර්ය වාදක කණ්ඩායමේ අණදෙන්නා වූ අතර ඔහු ප්‍රකට සංගීතඥයෙක්ද විය.
මේ ඒ කුරුටු ගෑ වචන මාලාවයි.
‘මගේ පුංචි පුතුනේ
රට වෙනුවෙන් මා මැරුණොත් යම්දින
ඔබත් පෙරටු වී රට රකින්න
පුතුනේ පුතුනේ
රට රකින්න පුතුනේ…
‘ඔබේ යොවුන් කල
රට කැළඹේ නම්
නොපැකිල නොබියව
මා සිහිපත් කර
රට රකින්න පුතුනේ පුතුනේ
රට රකින්න පුතුනේ…
‘රට වෙනුවෙන් ඔබ
ඇප කැප වීලා
මා මැරුණා මෙන් මැරුණත් කම් නැත
මගේ පුංචි පුතුනේ
මගේ පුංචි පුතුනේ…’
කපිතාන් ශ්‍රී වසන්තරාජ් බුලත්සිංහලගේ ආදාහන කටයුතු, අප සියල්ලන්ගේ අතිශය ශෝකය තුලින් වුවද ඉතාමත් හොඳින් කෙරුණි. මුහුණේ හරියට රැවුලවත් නොවැවුනු සෙබළුන් දෙදෙනෙක් වෙඩි වැදී මගේ තුරුලේ මියැදෙනවා දුටු මගේ ගල් වූ හිතත් මෙලෙක් වී මගේ ඇසින්ද වසන්ත වෙනුවෙන් කඳුලක් බේරුණි.
හෙට අලුත් දිනයක් වුවත් යුද්ධය පරණය. එය කරගෙන ඉදිරියට යා යුතුය. රට බේරාගත යුතුය.
ප.ලි :
- මා එදා කුරුටුගෑ පද මාලා විජේසුන්දර වෙරගොඩයන් අතින් සිංදුවකට පෙරළුනි. ඒ සින්දුව සෙබල දිරි ගීයක් වශයෙන් යුධ හමුදා මූලස්ථානයෙන් නම් කර හමුදා කඳවුරු වලට බෙදා හරින ලදී.
එය නිතර නිතර ස්වාධීන රූපවාහිනී නාලිකාවේද ප්‍රචාරය වුනි. වීඩියෝවක් බිහිවුනි. ඒ ගීතය ඇසුණු සෑම විටකම මට මතක් වුනේ මගේ පුතු නොව වසන්ත සහ ඔහුගේ චූටි දියණියය.
- ඒ කුරිරු වූ යුධයෙන් 25,000කට අධික ආරක්ෂක සේවා වල නියතු වූවෝ රට වෙනුවෙන් මියගියහ. සමහරක් අතුරුදහන් වූහ .ඒ කාගේ හෝ පුතෙකි, පියෙකි, සහෝදරයෙකි. මියගිය කාන්තා සෙබළියන්ද 24දෙනෙකි. 40,000ක් පමණ තුවාල වී ආබාධිත වූහ. ජීවිතක්ෂයට පත්වූ සිවිල් පුරවැසියන්ද එමටය.
යුද්ධය අවසන්ය. නිදහස් සුළඟ සිසිල්ය, සැහැල්ලුය, සුවඳය. එනමුත්, රට වෙනුවෙන් දිවිපිදූ, ලේ හැලූ, දහදිය හැලූ, යුදබිමේ නොකා නොබී ක්‍රියාකළ ඒ සියල්ලන්ම දැන් බොහෝ දෙනාට අමතකය. සමහරවිට, ඒ අපේ ජාතියේ දුර්වලකමක්ද විය හැක.