fbpx
8.5 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ස්ථාන මාරුවක් – සේවයක රස කතා | ජී.එස්.පෙරෙරා | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

හිටි හාමිල්ලාගේ සීලදාස හිස බිමටම පාත් කර මා සමීපයට තවත් කිට්ටු වුණේය. කළුපාට කලිසම උඩින් දමා ගත් ස්ටිෆ්-කොළර්, ආරියසූට් කමිසයේ රැළි ගසා දමා, හම් ගැසුණු මඩ පාට ෆයිල් කවරය තවත් කිහිල්ලට හිර කර ගෙන, ඇලයකට බර දී  ඇහි බැම එකතු කර මා දෙස  යාඥා ඇසින් බැලුවේ ය.

ඊළඟට, ‘අනේ සර්,’ යි කියමින් වරක් හිස කැසුවේය. ‘මේක නම් කොහොමහරි කරල දෙන්න ඕනැ. හොඳද සර්.’

‘මොකක්ද සීලදාස?’ මම ඇසුවෙමි. ‘සීලදාසට ඕන දෙයක් කරගන්න හොඳටම දන්න කියන  ඇමති තුමාල ඔය ඉන්නෙ.’ අසුන් පෙළ කොනේම වූ මම, කිරි සුදට ප්‍රධාන පුටු පුරවා අරා සිටි මැති ඇමති තුමන්ලා සතර දෙන දෙස බැලුවෙමි. විපරම් බැල්මත් සමග, දිසා අමාත්‍ය නන්ද මැතිව් මහතාගේ නළළත රැළි හත අටක් වැටෙනවා මම දුටුවෙමි. ගංකන්ද, හැරල්ඩ් කුලරත්න, පුංචි නිලමේ හා අබුසාලි යන මැති ඇමති වරු එකිනෙකාගේ මුහුණු විමසා, ඊළඟට බැල්ම මගේ නෙත  රඳවා ගත්හ.

‘ඔයා මෙහේ පක්ෂ සමීතියෙ ලේකම්. එතකොට මෙච්චර ඇමති තුමන්ලා කට්ටියකුත් පහු කරගෙන,  මේ නිකම් රජයේ නිලධරියෙක් වෙච්ච මා ළඟට ආවෙ මොකද,’ යි මා පවසන විට රත්නපුර මහ දිසාපති හතුරුසිංහ මහතා එය අනුමත කරන්නට හිස වනනවා මම දුටුවෙමි.

‘කමක් නෑ. මට හරියටම කියන්නකො මේක නොවරදවාම කරල දෙන්න පුළුවන්ද කියල?’ බුලත් කසට දත් පෙන්නා සිනාසුණ ඔහු, මගේ උරහිසට අත තබා යාප්පු වුණේය. ‘මං දන්නව. සර්ට මේක කරන්න පුළුවන්. දෙය්යම්ප.’

‘මොකක්ද අප්පා ඔය වැඩේ?’ නන්ද මැතිව් අමාත්‍ය තුමා නැවත නළල රැළි ගන්වා ගත්තේය. ‘ඔන්න ඔහේ පුළුවන් දෙයක් නං කරල දෙන්න පෙරේර මහත්තය. මිනිහ අපට කියන්න අදි මදි කරනවා වගෙ.’ ඔහු රැස්ව සිටි සෙනග දෙස බැලුවේය.

ඒ, රක්වාන-රත්නපුර බසයේ ආ කෙනෙකු නම්, ස්ටෝරු කඩෙන් බැස  ඇන්දාන-පන්නිල ගම් මංඩියට යන පාරේ දෙමුවාත පසු කර යන විට ඇති කඩමංඩියයි. උඩාරුවෙන් පේන වතුයාය පාමුල වූ කඩ මංඩියට, කන්ද උඩාරුවේ අවුරුද්දකට දෙකකට පමණ පෙර විවෘත කළ කිරණෝදාගම උදාගමේ  විහාරගෙයි  කොත, කොස් – පොල් රුප්පා අතරින් යාන්තමට පෙනුණේය.

එදා වූ ‘ජනහමු’ රැස්වීමට නිවිතිගල මන්ත්‍රී, මහැවලි සංවර්ධන අමාත්‍ය ගාමිණී අතුකෝරළ මහතා එන තෙක් සියල්ලන්ම බල බලා සිටි වෙලාවයි. දෙතුන් සීයක ජනකායක් සිටි තැනක, එක වරම මේ පුද්ගලයා මා ළඟට පැමිණ කරන කන්නලව්ව දෙස බොහෝ දෙනෙකු පා ඇඟිලි උස්කරමින් බලා සිටින වග මම තේරුම් ගතිමි. වඩා සුදුසු වන්නේ, මට පමණක් කළ හැකි මේ ඉල්ලීම ඉටුකර මගේ අමාත්‍ය තුමා පැමිණීමට පෙර ඔහු නිහඬ කර තබාගැණිම යැයි මම සිතුවෙමි.

‘හොඳයි, සීලදාස මහත්තය කියන්නකො ඔය ඉල්ලීම.’ මම කියා සිටියෙමි. ඔහු කිහිල්ලේ වූ ෆයිල් කවරය විවර කර හකුලා තද වන සේ නැවතත් හිර කර ගෙන තවත් යාප්පු වුණේය. ‘අනේ සර්, කරලම දෙනව නේද මං අහන්නෙ?’

‘ඉතිං මම දැන ගන්න එපායැ මොකක්ද කියල.’

‘මොකක්ද යෝදයෝ, තමන්ට තව කසාදයක් බැඳගන්න ඕනැවෙලාවත්ද?’ කුලරත්න මහතා සියල්ලන්ම සිනා ගන්වමින් උස් හඬින් ඇසුවේය. එහෙත් ඒ දෙස හැරී  හෝ බැලුවේ සීලදාස නොවේ.  දිස්ත්‍රික්කයේ බලවත්ම ඇමති වරුන්ට පිටුපා, මා ඉදිරිපිට යමක් කරදෙන මෙන් පළාතේ සමිති නායකයෙකු  පිංසෙංඩු වීම ඔවුන්ට මදි කමකි. මට ද යහපතක් නොවේ.

‘හොඳයි මනුස්සයෝ, කියනවකො ඔය ඉල්ලීම කාටත් ඇහෙන්නට.’  මම හඬ නගා කීවෙමි.

‘මං දැං කිව්වෙ, මේක සර්ට කරල දෙන්න පුළුවන්. මගෙ අම්මපල්ල.’ අනෙක් පැත්තට බර ගසා ගන්නා ගමන්, කිහිලි ගැණුන ලිපි ගොනුව තවත් තද කර අනෙක් අතින් හිස කසමින් සීලදාස නැවත ඇසුවේය. ‘කේන්ති ගන්න එපා සර්. මේකයි කෙරෙන්න ඕනෑ.’  ඔහු මට තවත් සමීප වී උරහිසට තට්ටු කර මිතුරු කමක් පෑවේය.

‘මොකක්ද?’

‘ඕං, මං  පෙරේද කිරණෝදාගම බස් එක අල්ල ගන්න කියල පන්නිල් කන්ද පල්ලංකරේ එක හැල්මෙ පනම් වෙන කොට, ඔය ඉසව්වෙ ඇහුණ නේද හඳපාන් ඇල්ල දෝතලු ලන්දට ඇදවැටෙන්නැහෙ කිඹිහුම් වලාවක්.  පැත්ත පළාතෙ මනුස්ස පුළුටක් නැති එකේ මට වැරදිලාවත්ද කියල සාංකාවෙන් කනුත් දී ගෙන මම පහළටම ආව. ඒ ගමන් මම හිතුවා,  මෙච්චර ගාම්භිර කිඹිහුමක් අරින්න පුළුවන් මේ මංඩියෙ ඉන්න එකම එක ජගත බන්ඩාරසේකරගෙ අප්පච්චි විතරයි කියල.  මේං බොලේ ඒ පාර ඇරපි තව එකක්. අප්පච්චියේ. ඒ පාර, යමින් ගමන් උන්දැත් බලාගෙන බස් එක අල්ලගන්න ඕනැ කියල හිතා ගත්ත  මං, ආව නෙවෙයි ඉගිල්ලුණා. ඇවිත් ගෙදර දිහා බලන කොට, මේං මිනිහ සුම්මරේකුත් බැඳගෙන  අගේට මිදුල අතු ගානව. යස පුතය වගෙ. ඉහෙන් බහින රෝගයක් නෑ.’

‘ඉතිං කිරණෝදාගම මිනිස්සුන්ට කිඹිහුම් යන්නෙ නැද්ද? මොකක්ද ඒකෙ ඇති අමුත්ත?’ මම ඇසුවෙමි.

‘අබුද්දස්සෙ කිරණෝදාගමට ගිය කල.’ ඔහු කම්මුලේ අත ගසා විස්සෝප වූවේය. ‘දැන් දැන් මේව අමුත්තක් නෙවෙයි.’ ඊළඟට, උඩට ඇදගත් හුස්ම පිට නොකර පපුවේ හිර කර ගත්තේය.

‘ඉතිං කියනවකො.’ මගේ ඉවසීම, මායිම පැනගෙන ආවේය.

 ‘මේක කරගන්න බැරි වුණෝතින්  අනෙ අප්පේ…’ ඔහු සිර කරගත් හුස්ම ටික-ටික ලිහා හැරියේය. ‘මට වෙන්නෙ ඔළුව විකා ගෙන මැරෙන්න තමයි.’

‘දැන් ඇමති තුමා එයි. මට තමුසෙත් එක්ක විකාර කර කර ඉන්න වෙලාවක් නැහැ.’ මම ඉවත බලා ගත්තෙමි.

‘මං හිතුවා. මං හිතුවා…’ ඔහු වටපිට බැලුවේය. ‘කවුරුහරි අලකලංචියකට කැලෑවට පාත්වුණ කෙනෙක් වෙන්න ඇති කියල යන්න හදන කොටම මේං තව එකක්  ඇරපි. ඒ පාර විහාර ගේ ඇතුළෙන්.’

‘මේ බුදු පිළිමෙ තියන විහාර ගේ?’

‘එහෙ-ක්-නං. ගඳපාන ගොල්ලයි, මානන් පඳුරු ටිකයි තලව් කරගෙන අඩියට දෙකට තුත්තිරි විමානෙ උඩින් මං ගියා විහාර ගේ ඇතුළටම. ගිහින් බැලුව. ගියා කියමුකො ආයි එකක්. දැකපු දෙයින්  අම්මප සර් මගෙ පපුව හෝස් ගාල දාල ගියා.’

ඇමති මැති වරු,  ඕං ඔය පිස්සව එලවල දාන්න කියන්නාක් මෙන් මටඇසින්-හිසින් යම් සංඥාවන් කළහ.

‘කවුද දන්නවද සර්? අනේ සර්?’

‘කවුද?’

සෙනග අතරින් කසු කුසුවක් මතු වී ආවේ ය.

‘බුදු හාමුදුරුවො. මේ අපේ ගෞතම බුදු හාමුහුරුවො. මගෙ අප්පච්චියේ.’ ඔහු කම්මුලක අතක් තබා ගෙන විස්සෝප වුණේය. ‘හිටියයින් බාගයයි. ආයිත් දුෂ්කරක්කිරියාවක් කළා ගානයි, මගේ හිතේ අර කොන්දෙ අමාරුව ආයෙ වැඩි වෙලාදත් කොහෙද.’

රැස්වූවන්ගේ කසු කුසුව සිනහවකට හැරුණේය. සීලදාස තම කතාව කර ගෙන ගියේය.

‘ඕං ඒ ගමන මේ උත්තමය කියනව, මේ බලපන් සීලදාස ගොය්යෝ.’ ඔහු ටිකකට කතාව නවතා උගුර පාදා දෙතොල තෙත් කර ගත්තේය. නැවත පටන් ගත්තේය. ‘විහාරෙ වටේම දූවිල්ල. පැත්ත පළාතෙ මනුස්ස පරාණයක් එන්නෙත් නෑ. ආවත් මේ වටෙටම තියන වල් ගොල්ල නිසා මට උන්දලා පේන්නෙත් නෑ. උන්දලාට මං පේන්නෙත් නෑ. මේ ඉස්සරහ තියන දොර රෙද්ද  පුස් කාල. නාහෙට පුස් වැදිලම මට තදේට වීස් එක. එච්චරක්යැ. ඕකෙ කොනක් මගෙ නාහෙ අස්සෙ වදින ගමනක් ගානෙ, මට නවත්ත ගන්න බෑ කිඹිසුම් යනව.’ 

‘ඉතිං?’ මට කියවුණි.

‘මේ උත්තමය තව මේං මෙහෙම කියෝනව. කිරණෝදාගම ගම් උදාවට නෙව මං ගෙනත් හිටෙව්වෙ.  අප්පේ ඒ කාලෙ මල්ද. පූජාද. නෑ තොරතෝංචියක්.  දැං බලාපන්. කවුරුහරි යන එන ගමන් ආන් අර එහා පැත්තෙ තියන පැළෙන් දාස් පෙති නැට්ටක් ගෙනත් පූජකරල යනවා. ඔය පැළේ මැරිල ගිය දාට ඒකත් ඉවරයි. අනේ සීලදාස, ඔය ඇමතියට කියල කොහොම හරි මට අලුත්  ගම් උදාවකට මාරුවක් හදෝල දීපන්. ඔය අලුතෙන් හදන එකකට. එතකොට ආයෙ හය මාසයක් වත් මට ඉන්න පුළුවන් වෙයි මේ වීස් ගතිය බැහැල යන කල්. එතන මාස හය හතක් වුණාම නෙවරදීම ඊළඟ ගම් උදාවට මාරුව මං හදව ගඤ්ඤං. ඕං ඔහොම කියාපි’

‘ඉතිං?’

‘අනේ කොහොම හරි බුදු හාමුදුරුවන්ට අලුත් ගම් උදාවකට මාරුවක් හදල දෙන්නකො. පුළුවන් වෙයි නේද සර්?’

‘පුළුවන්.’ මම ඇමති තුමන්ලා සිටි දිසාව දෙස  හොරැහින් බැලුවෙමි. සෑම කෙනෙක්ම පාහේ බිම බලා ගෙන සිටියහ.  නන්ද මැතිව් ඇමතිතුමා සාක්කුවෙන් ලේන්සුව ගෙන ගෙල වට පිස දා ගත්තේය.

‘අනේ සර්, නෙවැරදීම මේක කෙරෙයි නේද සර්?’ විමලදාසගේ පැනය සෙනඟගෙන් නැගුණ සිනාහඬ අතර යටපත් වී ගියේය.

ජී.එස්.පෙරෙරා | ඕක්ලන්ඩ්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.