ගුරු තුමා- හොඳයි ටිකිරි බංඩාර. කොහේ ඉඳලද ඉස්කෝලෙට එන්නේ …
ශිෂ්‍යයා- ඇයි මොකටද අපේ ගෙදර එන්නද? … ….
ගුරු තුමා- අම්ම තාත්ත දෙන්න ඉන්නවද ගෙදර?
ශිෂ්‍යයා- ගිහිල්ල අහගන්න එකයි ඇත්තෙ උන්ගෙන්ම.
ටිකිරි බංඩාර පාසල් දරුවා අලුත් ගුරුතුමාට තමා එසේ හඳුන්වා දුන්නේය. අත පය විසි කර ගුරුතුමා හා එකට එක කියා ‘හදන්න බැරි’ හිතුවක්කාරයෙකු බව එළි කරමින් තම පවුල් පසුබිම හා සමාජ තත්ත්වය ගැන ප්‍රේක්ෂකයාට අවබෝධයක් ලබා දුන්නේය.
*** *** ***
ගුරු තුමා – ඉස්කෝල මට්ටමේදි ආදායම කියන්නෙ සල්ලි විතරක් නෙවෙයි නේද?
මධුර මුදලාලි- මොන විකාරද මහත්තයො. ආදායම කියන්නෙ සල්ලි වලට නැතිව වෙන මොන කෙං ගෙඩියකටද
ගුරු තුමා- ඒක වැරදියි. උසස් කලාව, උසස් සාහිත්‍යය, මේවයින් එන තවත් ආදායම් තියනව අපේ ළමයින්ට.
මධුර මුදලාලි- අප්පට සිරි ගජ. ආන් ඒ බිස්නස් එක අල්ල ගත්ත නම් හොඳයි වගෙ නේද?
මධුර මුදලාලි ගුරුතුමාට තමා එසේ හඳුන්වා දුන්නේය. ප්‍රේක්ෂකයා ඔහු අඳුනා ගත්තේය. සමාජ හා දේශපාලන බලය පවතින්නේ කවරාකාරයෙන් හෝ එකතු කරගත් ධනයෙන් බව සිතන සමාජ පංතිය ඔහු නියෝජනය කළේය. ඒ බව සනාථ කරමින් ගුරුතුමා හා පාසලේ සංගීත ගුරුතුමිය සමග වාද කළේය.
*** *** ***
මෙම ජවනිකා දෙකම ඇත්තේ ජයලත් මනෝ රත්නයන්ගේ ‘ගුරු තරුව’ නාට්‍යයේය. පසුව ශිෂ්‍යයා ගුරුතුමාට කීකරු ගෝලයකු වී සංවේදී දරුවෙකු බවට පත් වීය. මධුර මුදලාලි තමාට බාධකයක් වන ගුරුතුමා ට පහර දී පාසලෙන් එළවා දැම්මවීය.
උත්තරධ්‍රැවයෙන් නිර්මාණ ලෝකයට පා තබන ප්‍රධාන චරිතය දක්ෂිණධ්‍රැවයෙන් පිටවී යන බවට කතාවක් ඇත. ප්‍රධාන චරිතය කතාව අවසන චෛතසිකමය ලෙස සම්පූර්ණ පරිවර්තනයකට බවට පත් වෙන බව ඉන් අදහස් වේ. ගුරුතුමා මෙතරම් ආදරය කළ පාසල, පාසල් දරුවන් හා සංගීත ගුරු තුමිය ගැන ගොඩ නැගෙමින් ළෙන්ගතුවද අත හැර දමා පාසලින් පිට වෙයි. එහෙත් ඔහු පිටව යන්නේ දරුවන්ගේ රුචිකත්වය වින්දනය උසස් මට්ටමකට ගෙන ඒමේ අරමුණ ඉටු කර ගනිමිනි. එය නිරූපණය කරන්නේ ටිකිරි බංඩාරය. ගුරුතුමෙකුට උත්තරක් දීමට නොදත් මුරංඩු පෝරිසාදයෙක් වූ ටිකිරි බංඩාර, සාහිත්‍ය ප්‍රසංගයේ නැටුම් හා ගැයුම් රාශියකට සාර්ථකව සහභාගි වෙයි. ගුරුතුමා පාසලින් පිටව යද්දී එතුමනට රතු රෝස මලකින් සුබ පතයි.
මැර බලය, ධන බලය, මුදල් බලය, සැර පරුෂ භාෂණය හා වැඩුණු ඇඟ පත මධුර මුදලාලි සතු සම්පත් වෙයි. ප්‍රතිවාදියා ශක්තිමත් වන තරමට, ඔහුගේ බාධක වැඩි වන තරමට කතා නායකයා ලොකු වීරයකු වේ. ගුරු තරුවෙහි සඳරුවන් ගුරු තුමා වීරයෙකු කිරීමට අනෙක් උපචරිත වලට අමතරව ටිකිරි බංඩාර හා මධුර මුදලාලි ගෙන් ලැබුණු සහාය විශිෂ්ටය. සඳරුවන් ගුරුතරුව බිහිකළේ ටිකිරි බංඩාර වැනි දඩබ්බර දරුවන්ය. මධුර මුදලාලි වැනි මං මුළා වූ මිනිසුන්ය.
ටිකිරි බංඩාර සරත් චන්ද්‍රසිරි ය. මධුර මුදලාලි සම්පත් තෙන්නකෝන්ය. ඒ දෙදෙනාගේ රංගන කුශලතාවය ඇගයීමට, මනුෂ්‍ය සමාජයේ ඇති දරුණු බෙදීම හා පරතරය අඳුනා ගෙන ගුරුතරුව නාට්‍යයේ කළ රංගනය පමණක්ම වුව ප්‍රමාණවත්ය.
ගුරු ලිපි, හැටහතරයි පනස් හත, දෙසීය තුන්සීය, ඒකා-අධිපති, ජගන් මා, මාල වළලු, මායාදේවි, පුත්‍ර සමාගම්, රෝමය ගිනි ගනී, සුබ සැන්දෑවක්, සුදු රෙදි හොරු, සීමා පවුරු,මධුරී, බෝම්බ සහ රෝස, පත්තිනි, තනපතිලාගෙ ගෙදර, නිම් හිම්, කදිර දිව්‍යරාජ, තලමල පිපිලා, හිට්ලර් හා අඹු සැමියෝ සම්පත් තෙන්නකෝන් රඟ පෑ තවත් නාට්‍ය කිහිපයකි. ආරාධනා, හිමගිර, අහස් මාලිගා, මධුරී,, ගිනි අවි හා ගිනි කෙලි, සරෝජා , සිරි රජ සිරි , සිරි පැරකුම්, එකගෙයි සොකරි (ප්‍රදර්ශනයට නියමිත ) ටෙලිවිෂන් හා සිනමා කිහිපයකි. ඊට අමතරව ඔහු හින්දි හා සිංහල ගී ගායකයෙක් වීය.
ඔහුගේ බිරිය ජනප්‍රිය රංගන ශිල්පිනී රත්නා ලාලනී ජයකොඩිය. දරුවෝ ඔහුගේම අඩි පාරේ යති.
අබුද්දස්ස කෝලම,අන්දරේලා,චව්දාරි, දෙන්නෙක් නෑ එක්කෙනයි, එක සෙක්කුවෙ, කෝ කුක්කෝ, කෝළම් පුරේ, මී හරක්, නරි බුරති, පුත්‍ර සමාගම්, රාජ කපුරු, චූටි ගමරාළ හා රයිගම් බංඩා,තලමල පිපිලා සරත් චන්ද්‍රසිරි රඟ පෑ නාට්‍ය කිහිපයකි. අඩෝ, අක්කරගල, අත්තම්මා, චංඩි කුමාරි හාමි, දම්සාරි, දූ දරුවෝ, හඳපාන, ජෝඩු ගෙදර, කේතුමතී ,මහවිරු පඬු, මාලී, පබා, රැල්ල වෙරළට ආදරෙයි, රන් පෝරුව, සල්මල් ආරාමය, සිදු, සිහින සමාගම, වසන්ත කුසලාන ටෙලිවිෂන් හා සිනමා කිහිපයකි.
ඔහුගේ බිරිය චාරිකා ජයමාලි ය. පුතා කන්චුක තිලකරත්න හා දුව හසාරා නිලකක්ෂි යන දෙදෙනාම උපාධිධාරීහු ය.
2021, දෙසැම්බර් තුන්වැනි දින හැට දෙහැවිරිදි සම්පත් ද, දෙසැම්බර් විසි එක්වෙනි දින පනස්පස් හැවිරිදි සරත් ද මෙම රංගනයන් සදහටම නතර කළහ. ඒ අපෙන් හා දිවින් රඟ මඬලෙන් සමු ගැණීමටය.