“අම්මේ මට උණ වගේ!”
“කෝ බලන්න, ඔව් ටිකක් ඇඟ රස්නෙයි තමයි. එහේ මෙහේ දඟලන්නේ නැතිව ගිහින් හොදට පොරවාගෙන නිදාගන්න. රෑට කැඳ ටිකක් හදලා දෙන්නම්. බත් කන්න එපා.”
මේ වගේ සංවාදයක් සමහරවිට ඔබ විසින් අහල ඇති. මේ දරුවා ඔබ වෙන්නත් ඇති.
ඇත්තටම ඒ දේවල් පිළිපැද්ද බොහෝ වෙලාවට පසුවදා උදේට පෙරදා තිබූ කිසි අමාරුකමක් නැති බවක් ඔබටත් අනිවාර්‍යෙන්ම දැනී තිබෙනවා නොඅනුමානයි.
ඇත්තටම ඔබ මොහොතකට සිතුවාද මේ ලෙස උපදේශයකට, හෙදකමකට, අත් බෙහෙතකට හේතු සාධක වුණු කරුණු කාරණා කුමක්ද කියා, එය මෝඩ අදහසක්ද එසේ නොවේනම් දැනුම මත පදනම් වුණු පරම්පරාගත උරුමයක් ද?
මේ වගේම ඌෂ්ණ ආහාර, සිසිල් ආහාර ආදී විවිධ ආහාර ද කෑමවල විවිධත්වය සහ එකට නොගත යුතු අපත්‍ය ආහාර උදාහරණ වශයෙන් මස් සමග කිරි, මඤ්ඤොක්කා සමග ඉඟුරු, මීපැණි සමග උණු ජලය වැන්නාදිය එක්වර ආහාරයට ගැනීම නොකළ යුතු බව ආදි කාලයේ පටන් වැඩිහිටියන් විසින් සමාජය දැනුවත් කර තිබේ.
මේ කරුණු වැදගත් නැතැයි කියා බැහැර කල අයත් අද සමාජයේ බොහෝමයක් ඇත. ඒත් මට මුල සිටම මේ කරුණූ කාරණාවල සත්‍යතාවක් ඇතිද නැතිද යන්න දැනගැනීමට කුකුසක් ඇති වී තිබුණී. ඒ පිළිබඳව සොයා යෑමේදී අපේ පුංචි ලංකාව තුළ අතිමහත් වූ දැනුම් සම්භාරයක් ගබඩා වී තිබී ඇති බවත්, ඒ දැනුම් පද්ධතියන් වුවමනාවෙන් හෝ නොදැනුවත්කමින් විනාශ වී ගොස් ඇත.
අප රටේ පෞරාණික නගර, විශ්මය දනවන වාරිමාර්ග පද්ධති දෙස බැලූ කල ඔබ මොහොතකට හෝ සිතුවාද ඒ යුගවල මිනිසුන් බෙහෙත්වලින් යැපෙන මානසිකත්වයෙන් යුතු දුර්වල පුද්ගල කොට්ටාසයක් කියා…
උදාහරණ ලෙස ධාතුසේන රජු අවුරුදු 18ක් වැනි පාලන සමයක් තුළ මහා පරිමාණ වැව් 18ක්, චෛත්‍ය 18ක්, විහාරස්ථාන 18ක් ඉදිකරවූ බව ඇතැම් පොත්පත්වල සඳහන්ව ඇත. කලා වැවත්, අවුකන පිළිමගෙයත්, යෝධ ඇලත් ඒ අතර වේ. එසේ නම් කෙතරම් කාර්‍යශූර මිනිසුන් එකල සිටින්නට ඇතිද…
අද දවසේ විදේශීය යන්ත්‍ර සූත්‍ර, විදේශික ඉංජිනේරුවන්, විදේශීය අමු ද්‍රව්‍ය යොදා ගෙනත් එක වැවක් හෝ සෑදීමට අවම වශයෙන් අවුරුදු 7ක් පමණ ගතවන බව නිගමනය කර ඇත.
එලෙස සිතුණු විට ඒ දවස අපේ මුතුන් මිත්තන්ගේ දින චර්‍යාව කෙසේවන්නට ඇතිද… ඒ අය ඒ දේවල් ඉගෙන ගත්තේ කෙසේද, ඒ අයගේ නිපුනත්වය පුහුණු කලේ කෙසේද, ඒ අයගේ ගුරුවරුන් කවුරුන් වන්නැත්ද, එකල පාසල්, අධ්‍යාපන ක්‍රමයන් කුමන ආකාරයෙන් තිබෙන්න ඇත්ද, ඒ අය කුමන ආකාර ආහාර ගන්න ඇතිද, ලෙඩට දුකට අරගත් බෙහෙත් වර්ග මොනවාද යන කරුණු කාරණා මෙන්ම අද පවතින ආකාරයේ රෝහල් පද්ධති හෝ වෙද නලා අතැති වෛද්‍යවරුන් නැති කමින් ඔවුනට වැලඳි රෝග පීඩාදියෙන් දුක් වින්දාද, යුධ ගැටුම්වලදී සිදු වූ තුවාලයන්ට කෙසේ වෙදකම් කලේ ද යන්න ගැන ඔබට සිතුණේ ද…
මේ කරුණු ඔස්සේ සොයා යෑමේදී වැටහී ගිය කාරණය නම් අප රටට අයත් සිවිසල් දැනුම් සම්භාරයක් එකල පැවතී ඇති බවයි. හෙල වෙදකම ද ඒ අතර වූ ඉතා පරිනත දැනුම් පද්ධතියකින් යුත් ශාස්ත්‍රයකි.
මහා වංශයට අනුව පණ්ඩුකාභය රජු විසින් ක්‍රි.පු. 437-367 කාලය තුළ රට පුරා ආරෝග්‍යශාලා ඉදිකල බව කියැවේ. මෙය ලෝකයේ ආරෝග්‍යශාලා පිළිබඳව සඳහන් පළමු ලිඛිත සාක්‍ෂිය ලෙස ඇතැමුන් විශ්වාස කරයි.
සමහරවිට ඔබ අසා ඇති ඉංග්‍රීසි බෙහෙත්වලින් රෝග ලක්‍ෂණ පාලනය කිරීමක් සිදු කරන අතර කට වහරේ ලෙස ලෙඩ යටගැසීමක් සිදුවන අතර සිංහල වෙදකම තුළින් රෝග මූලයට පිළියමක් එසේත් නැතිනම් නිට්ටාවට සුවකිරීමක් සිදු වේ. මේ ඖෂධවල ඇති පදනම කුමක් ද, විද්‍යාත්මකව සනාථ වූ අමු ද්‍රව්‍යයෙන් සැකසුණු ඖෂධ වට්ටෝරුවන් දැයි කුතුහලයක් ඔබට ඇති.
බොහෝ ගස්වල පොතු, මුල්, මල්, කොළ උපයෝගී කරගනිමින් සාදන කසායක, ඖෂධ ගුලියක, කල්කයක, අරිශ්ඨයක පදනම් වූ සංඝඨකයන් කුමක්ද ඒ සංයෝගයන් කෙසේ සොයා ගන්න ඇති ද
දේශීය වෙදකමට අනුව බොහෝ විට එකම රෝගය හෝ රෝග ලක්‍ෂණය පවතින පුද්ගලයන් දෙදෙනෙකු සඳහා එකම ආකාරයක බෙහෙතක් හෝ බෙහෙත් වට්ටෝරුවක් ලැබෙන්නේ නැති වීමට ඇති ස්වභාවය බහුලයි. ඊට හේතුව එක් එක් රෝගියාට ලැබෙන බෙහෙත් වට්ටෝරුව පුද්ගලානුබද්ධ වීමයි. ඒ ඔහුගේ හෝ ඇයගේ කයේ ස්වභාවයට, කාලගුණයන්ට ආදී නොයෙකුත් හේතූන් මත පදනම් වන හෙයිනි. මෙය නවීන වෛද්‍ය විද්‍යාවට අනුව Personalised medicine ලෙස හඳුන්වනු ලැබේ. නමුත් මෙය අවුරුදු දහස් ගණනක් පැරණි ක්‍රමයකි.
දැනට ලංකාවේ භාවිතවන සිංහල වෙදකම යනුවෙන් හඳුන්වන්නේ වෙදකම් කිහිපයක එකතුවකි. දේශිය චිකිත්සාව, ආයුර්වේදය, යුනානි , සිද්ධ, නිල වෙදකම, අංගම් වෙදකම හා පාරම්පරික ක්‍රම වැන්න ඒ අතර වේ. ඒ අතරින් දේශීය චිකිත්සාව යනු ශ්‍රී ලංකාව තුළ භාවිතවන දේශීයව ගොඩනැගුණු වෙදකමකි. යුනානි ක්‍රමය යනු මැද පෙරදිග භාවිත වුණු වෛද්‍ය ක්‍රමයකි. මෙහිදී ආයුර්වේද යනු භාරත දේශයෙන් අපට ලැබුණු වෛද්‍ය ක්‍රමයකි. රාවණා රජ සමයේ පැවති වෙදකම සිද්ධි වෙදකම යනුවෙන් හඳුන්වා තිබේ. ඓතිහාසික පොත්පත්වලට අනුව රාවණා රජු විසින් රචිත ග්‍රන්ථ සමූහයකි. ඒ අතර කුමාර තන්ත්‍රය (ළදරුවන්ට කරන වෙද හෙදකම්) ක්‍රි.පු. 16 කටත් වඩා පැරණි බවට විශ්වාස කරන අතර අදටත් ඒ ආශ්‍රිත දැනුම අප අතර භාවිතයට ගනියි.
රාවණා රජු විසින් රචිත යැයි සැලකෙන ග්‍රන්ථ:
- රාවණා සංහිත (ජ්‍යෝතිෂ ශාස්ත්‍රය)
- කුමාර තන්ත්‍රය (ළදරුවන්ට කරන වෙද හෙදකම්)
- ඔඩ්ඩිස තන්ත්‍රය (යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්)
- අර්ක ශාස්ත්‍ර (ශල්‍ය වෛද්‍ය ක්‍රම)
- අර්ක ප්‍රකාශය (විශ්වය පිළිබඳ දැනුම)
එමෙන්ම ආයුර්වේදය (life science) යන වේද ක්‍රමයන්ගෙන් එකක් වූ වෙදකම ද අද ශ්‍රී ලංකාව තුළ භාවිත වේ. මෙය ද භාරත දේශයේ අවුරුදු දහස් ගණනක් භාවිත වූ ක්‍රමයකි. චරක සහ සුස්ඍත ඍෂිවරුන් විසින් ලොවට දායාද කළ මේ වෙදකම ද අදටත් කාලීනව පවතින වෛද්‍ය ක්‍රමයකි.
- සුස්ඍත සංහිත
- චරක සංහිත
- භේසජ්ජ වග්ගය
ආදී පුරාණ ග්‍රන්ථවලින් අදටත් බොහෝ ලෙඩ රෝගවලට වෙදකම් කරනු ලැබේ.
හෙල වෙදකමේ කොටස්:
- සර්වාංග වෙදකම
- කැඩුම් බිඳුම් වෙදකම
- සර්ප විශ සහ විශ වෙදකම
- ඇස් වෙදකම
- උන්මාද වෙදකම
- ගෙඩි, වණ, පිළිකා වෙදකම
අදටත් අප විසින් භාවිත කරන පෞරාණික ප්‍රධාන පුස්කොළ පොත්:
- සරත සංග්‍රහය
- වටිකා ප්‍රකරණය
- දේශීය චිකිත්සා සංග්‍රහය
- භේසජ්ජ මංජුසා
- ඖෂධ සංග්‍රහය
කෙසේ වුවත් මේ සියල්ලෙහි එකතුවෙන් අප සතුව ඇති දැනුම් සම්භාරය නම් අති මහත් ය.
එය ඉදිරි පරම්පරාවන් සඳහා රැකගැනීම අප සැමගේ වගකීමක් සහ යුතුකමකි. එමෙන්ම මේ අගනා ශාස්ත්‍රය ඉදිරි පරම්පරාවන් සඳහා රැකගැනීමට නම් එය මනාව අධ්‍යයනය කිරීම සහ නිපුණත්වය ලබා ගැනීමත්, මේ දැනුම අඩංගු පැරණි පොත්පත් ආදිය සංරක්‍ෂ්ණය කර ගැනීමත්, ඖෂධ පැළෑටි ඇති පරිසර පද්ධතිය රැකගැනීමත්, ශාස්ත්‍රය උගත් අය එය අවංකව සහ සදාචාරාත්මක ලෙස භාවිතා කිරීමත් කළ යුතුය.
මන්දෝදාරී