1971 අප්‍රේල් කැරැල්ල ඉවර වුණත් තරුණයින් එළි-පෙහෙළියට යවන්න බයක් දැක්වූයේ කුඩා කැපුම් තුවාලයක් සීරිමක් තිබුණත් පොලිස් නිලධාරීන් සැකමුසුව බැලූ හෙයිනි. එබැවින් සිංහල අලුත් අවුරුද්ද මෙවර අපට සමරන්න ලැබුණේ නැත. මෙම අවුරුදු සමය සියල්ලන්ම මරබියේ පසුවූ අවුරුද්දකි.

මීට අවුරුදු 1940 කට පමණ පෙර ඉන්දියාවේ ශකරාජ වංශිකයින් නිසා මෙම ශක වර්ෂ ක්‍රමය ආරම්භ විය. සූර්යයා හා අනිකුත් ග්‍රහයන්ගේ ගමන් පදනම් කරගෙන නක්ෂත්‍රයට අනුව අවුරුදු සූර්ය-සංක්‍රාති උළෙල බිහි විය.

නිර්වර්තන කලාපයට වසන්තය ආරම්භ වන්නේ මෙම කාලයටය. ලංකාවාසී අපට අටු කොටු පිරී ඉතිරෙන කොවුල් නාදයෙන් මිහිරිවන මල්පල, පලතුරු සුවඳින් පිරී ඉතිරෙන වසන්ත කාලයකි, මෙම අවුරුදු සමය.

පෘතුවි අක්ෂයේ අංශක 23 ක දෝලනය එකතු කළවිට හින්දු ක්‍රමයට අනුව අප්‍රේල් 14 දින සුර්ය-සංක්‍රාන්තිය නොහොත් නව අවුරුද්ද එළඹෙන ලෙස පිළිගැනේ. මොන ගැමි විශ්වාස තිබුණත් සුර්යයා සැමරීම වැරදි නොවෙයි.

සුර්යග්‍රහ මණ්ඩලය තුළ ඇති ඉන්ධන, ගස්කොළන් සතුන් මිනිසුන්, සුළඟ හා වැස්ස ඇතුළු සියලු දේ ජනිත වන්නේ සුර්යයාගෙන් ලැබෙන ශක්තියෙනි. සුර්යයාගේ පිටවන ශක්තියෙන් අප පෘතුවිය උරා ගන්නේ 1000000000000000 න් පංගුවකි. එයින්ම සුර්යයාගේ බලපෑම අපට සිතා ගත හැක. එබැවින් ආදී කාලයේ සිට කෙරෙන මෙම සුර්ය මංගල්‍යය මුල් කරගෙන අලුත් නැවුම් වසරක් ආරමිභ කිරීම, වසරක් වෙහෙස මහන්සිවී වැඩ කළ මිනිසාට විවේකය දෙන සංක්‍රාන්ති සමයකි. එය ශාරීරිය යෝග්‍යතා න්‍යායන්ටද හරියටම හරිය. 

එවැනි විවේක කාලයක් වසර අවසානයේ බිහි නොවූවා නම් වර්තමාන දියුණු සමාජයේ එවැන්නකට නීතියක් පැනවීමට සිදුවනු නොඅනුමානය. එබැවින් අවුරුදු උත්සවය සෙල්ලමක් හෝ යල්පැනගිය චාරිත්‍රයක් නොවෙයි.

අලුත් අවුරුද්ද යනු ගහ-කොළ පලවලින් බරවී ධාන්‍ය අටුකොටු පුරවන කාලය බැවින් අලුත් සහල් මංගල්‍යය හා කැවිලි පෙවිලි තම ඥාතීන් හිතවතුන් අතර බෙදා හදා ගැනීම අප සමාජයේ අදත් දකින්නට ඇති ඉතා අගේ කළයුතු චාරිත්‍රයකි.

මෙම අවුරුදු චාරිත්‍ර වලින් කෙරෙන්නේ කුඩා පවුල, ගම, රට එකට එක් කිරීම පමණක් නොව වැඩිහිටියන් නැමදීම, තම ඥාතීන්ට අසල්වාසීන්ට තෑගි බෝග පිරි නමමින් පසුගිය වසර පුරා සිදුවූ අත් වැරදි, අමනාප, ද්වෙශ හා වෛර සිත් සමනය කොට මෛත්‍රී සිතිවිලි වඩන කදිම පුහුණුවකි. එය අලුත් නැවුම් නව වසරකට ජවසම්පන්න ආරමිභයකි.

අවුරුද්ද ඇරඹෙන්නේ නොනගතය සමග සියලු වැඩ කටයතු නැවතීමෙනි. අවුරුද්ද පුරා මුලු දවසම කුස්සියේ සිටි අම්මාටත් පවුලේ සැමටත් නිදහස් සැහැල්ලු සිතකින් පන්සල් කෝවිල් ගොස් පවුලේ අය මෙන්ම අසල්වාසීන් සැවොම සමග රබන් ගැසීම ඔලිඳ දැමීම, චක්ගුඩු ඔංචිල්ලා වැනි ගමට ආවේනික විනෝද ජනක ක්‍රියාකාරකම් වලින් එකිකොගේ සාමුහිකත්වය සුහදත්වය මෙන්ම විනෝදය, ප්‍රීතිය ළංකර ගැනීම පරපුරටම අවුරුද්දේ අමතක නොවන සිදුවීම් අතරට එක්වෙයි.

එසේම මුළු රටකම ජනයා එකම වෙලාවක ලිපගිනි මොළවා නැවුම් හටිටියක අලුත් සහල් වලින් කිරිබතක් සාදා එකම වෙලාවකට පවුලේ සැම එකට හිඳ ආහාර ගැනීම සමග අපෙන් ගිලිහී යන එකමුතු කම, අපේකම, වෙලාවට වැඩ කිරීම වැනි අප රටට ආවෙනික සංස්කෘතියක් බිහිවීමට හේතු විය.

එකල සාමාන්‍යපෙළ පන්තියේ සිටි මට අම්මා කීවේ ඈත එපිට අම්පාරෙ පදිංචිව සිටි අක්කාගේ ගෙදරට හාල්, පොල්, කැවිලි ගෝනියක් යැවීමට අවශ්‍ය බවය. දුර ගමන් යෑමට මටද එවැනි අශාවක් තිබුණ බැවින් දෙවරක් නොසිතා එයට කැමති වීමි. මාතර සිට අම්පාරට රුපියල් 7.10 ක් මිල ඇති ගමන් මග උදේ 5.30 ට පිටත්වන ලංගම බස් රථයේ යෑමට මවගේ කැමැත්තද ලැබිණ.

එකල ආප්පයක මිල සත 5ක් වන අතර හාල් සේරුවක් හෝ පාන් ගෙඩියක් ශත 25 ක්ද කොළඹට බස් ටිකටි එකක් රුපියල් 3.05 වූ බැවින්  රුපියලක් යනු සුළුපටු ගණනක් නං නොවෙයි. අම්පාරේ එවකට රාජ්‍ය සේවයේ නිල නිවාසයක පවුල පිටින් නැවතී සිටි ලොකු අක්කාගේ නිවසට ගෙන යාමට පොල් ගෝනියක් සහ ගම් කැකුළු හාල් මිටියක් සූදානම් කර තිබිණි. එකල ගල්ඔය මිටියාවතේ පොල් හිඟ වු අතර ගොවි බිමක් වූ අම්පාරට සහල් නං අරගෙන ගියේ අපේ ගෙදර අලුත් අවුරුදු  නිෂ්පාදනයක් නිසා විය යුතුය.

මාතර බස්නැවතුම්පළේ නාට්ටාමි මහතුන් ගෝනි කරේ තබා ඒවා බස්රථයේ පිටුපස ඉනිමග දිගේ බසයේ උඩ ඇති රාක්ක වලට ගෝනි පැටවිය යුතු අතර බසය තුළ ගෝනි පාර්සල් ගොඩ ගැසීමට අවසර තිබුණේ නැත. බසය උඩට ගෝනියක් දැමීමට සාමාන්‍යයයෙන් සත 50 ක් අය කළ අතර මගේ ගෝනි දෙකට රුපියල් දෙකක් ඉල්ලුවේ කුඩා ළමයකු බැවින් රවටා වැඩි මුදලක් ගැනීමට යන්න තේරුම් ගත් මා නාට්ටාමියාට බැන වැදුනු අතර එය මහා කල බැගෑනියක් වී නාට්ටාමි මහත්වරු සියල්ලම මට විරුද්ධව එක්වූහ.

අවසානයේ කීයකටවත් මගේ මලු එසවීම ඔවුන් ප්‍රතික්ෂේප කළ අතර බස්වල යාමට සිටි බාල මහලු තරුණ ගැහැණු පිරිමි සමහරෙ කු මා දෙස අනුකමිපාවෙන් බැලූ අතර නාට්ටාමියන් අහිංසක ළමයින් රැවටීම වැරදි දෙයක් බවට සමහර වැඩිහිටියෝ  කතාවූහ. බස් රථය පිටත්වීමට තවත් විනාඩි කීපයකි. තනියෙන් වෙර දමා එක්ගෝනියක් කරට ගෙන එක හුස්මට බසයේ පිටුපස ඉනිමග දිගේ බසය උඩටම ගෝනිය තබා දෙවන ගෝනියත් එලෙසම බසයට පටවා මොනම ලජ්ජාවක් නැතිව බසයට ගොඩ වී අම්පාරට පැමීණි අතර අම්පාරේදී ශත 50 බැගින් ගෙවා මලු දෙක බිමට බාගැනීමට නං මම වාසනා වීමි.

එදා වගේම අදත් මගේ ජීවිතය පුරාවට මගේ දේවල් කිරීමෙදී අනුන් හිතන විධිය ගැනවත්, ලජ්ජාව ගැනවත් ඇල්මක් නැතිව මට පැවරුණු දෙය ඉවරයක් කර ගැනීමට පෙළඹෙන නමුත්, එදා මම හද්ද ක්ෂණික කෝපය නිසා බැරිදේවල් කරන්න ගිහිං ඇද වැටෙන්නට තිබුණු ඉඩකඩ නං වැඩිය. කාලයාගේ ඇවෑමෙන් පරිණත වනවිට මෑත ඉතිහාසයේ එවැනි මෝඩ වැඩ මගේ අතින් සිදුවු අවස්ථා විරළවෙමින් ඇති නමුදු එම අවුරුදු ගමන අදටත් අමතක නොවෙයි.

දයා ප්‍රතාපසිංහ. ඕක්ලන්ඩ්