2022 මාර්තු 16 වන බදාදා දිනට යෙදෙන – ඇස්.මහින්ද හිමියන්ගේ අපවත් වීමෙන් 71 වැනි සමරුව නිමිත්තෙන්, මහා කවි ඇස්. මහින්ද හිමියන්ගේ ජාතිකාභිමාන පද්‍ය – භක්ති කාව්‍ය සහ ළමා කවි කළඹ – කවිමිණ – කවිමුතු යන පාසල් පොත් පෙළ ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහගේ නිර්මාණශීලී විදග්ධ සංස්කරණයෙන් සමුද්‍ර ප්‍රකාශන සමාගමේ ආයතනික සමාජ වගකීම් සත්කාරයක් ලෙස, කොළඹ 07 නිදහස් මාවත ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී නව පරපුර වෙත පිදෙන වගයි…
ඇස්.මහින්ද කවි හිමියන් වත්මනට වැඩමවමු..
සිකිම් මහින්ද පොඩි හාමුදුරුවෝ සිය ආචාර්ය ජර්මන් ජාතික ඥානාතිලෝක හිමියන් සමග රජරට වන්දනාවේ පැමිණියහ.
ගමන ආරම්භයේ දී පොඩිහාමුදුරුවන් තුළ වූ සතුට ගමන අවසානයේ දී නැති බව පෙනිණ.
“ඇයි මහින්ද, වන්දනාවෙන් සතුටක් ලැබුණේ නැද්ද ?” ලොකු හාමුදුරුවෝ ඇසූහ.
“අර විශාල දාගැබ්, වැව්, ගල්කණු, පිළිම දැක්කාම සතුටක් ඇති වුණා. ඒත් මට පසුව දුකකුත් ඇති වුණා… ”
ඇයි ?
“ඒවා පුරාණ සිංහලයන්ගේ වැඩ බව ඔබවහන්සේ කීවා. දැන් අප දකින සිංහලයෝ ඒ පුරාණ සිංහලයන්ගෙන් පැවත එන අය නොවන බව මට පේනවා. දැන් ඉන්නෙ කවුරු ද? නිවට නියාලු මිනිස්සු රැළක්. ඒ මිනිස්සු අර පුරාණ සිංහලයන්ට අපහාසයක්”
ඥානාතිලෝක හිමියෝ නිහඬව සිටියහ. පොඩිහාමුදුරුවෝ සිංහල වංශ කතා හොඳින් කියවූහ. ඒ පොත්වල වූයේ රණශූරයෝය. උසස් නිර්මාණකරුවෝය.
පුරාණ සිංහලයන් මෙන්, මේ වර්තමාන සිංහලයන් නැගිටුවා ගතහොත් ලංකාව ඉංග්‍රීසින්ගෙන් මුදාගන්නට පුළුවන්. “මොවුන් නැගිටුවා මේ සිරිලක පුබුදුවා ගන්නට අප කුමක් කළ යුතු ද ? ”
ලොකු හාමුදුරුවෝ පිළිතුරු නොදුන්හ. බණපොත් ලිවීමට සහ භාවනාවට කැප වූ උන්වහන්සේ දේශපාලනය ගැන නොසිතූහ.
ලංකාවට පැමිණ සුළු කාලයක් තුළ මහින්ද හිමියෝ බුදුදහම, සිංහල, පාලි, සංස්කෘත සහ ඉංග්‍රීසි භාෂාව ද හැදෑරූහ. ලංකාවේ ඉතිහාසය ද සිංහලයේ සම්භාව්‍ය සෘහිත්ය කෘති ද කියවූහ. සිංහල කතා කිරීමට ද ලිවීමට ද සමතෙක් වූහ.
උන්වහන්සේගේ සිත කවියට ඇදී ගියේය.
උන්වහන්සේගේ පෑන කඩදාසියට ළං වූ සැණින් කවි ගලා ගියේය.
සිංහලයා නගා සිටුවීමට මේ කවිය අවියක් කර ගනිමියි සිතූ මහින්ද හිමියෝ, ඒ මගින් වැඩිහිටියන් ද දරුවන් ද ඇමතූහ.
සොබා සොඳුරුබව සිතට කාවද්දා, පරිසරය පිළිබඳව ප්‍රේමයක් ඇති කොට, පසුව දරුවන් තුළ ජාතික හැඟීම්, නිදහස් හැඟීම් දැනවීමට උන්වහන්සේ ළමා කවි ගී සිය ගණනක් රචනා කළහ.
වැඩිහිටියන්ගේ පිටට වැටෙන කස පහරවල් සේ උන්වහන්සේගෙන් කවි ලියවිණ. ඒවා විධාන කවි විය.
එදා සිටි රටේ නායකයෝ පෙත්සම් මගින් නිදහස යදිමින්, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිලනොලත් ආසන ගණන වැඩි කිරීමට සුද්දන්ට කන්නලවු කරමින් පැවැත්වූ නිවට නියාලු යාච්ඤාවන් ඇසූ දුටු, අප හිමියෝ මෙසේ ලියූහ.
ජනනායකයන් සම්මත පුඟුලන්ගේ අබල දුබලකම් අප ඉදිරියේ ප්‍රදර්ශනය වූ වාර බොහෝය. ඒ දුබලකම්වල අනිෂ්ට විපාකයේ සාපයෙන් අද මහ ජනතාව තැවෙති. මිරිකෙති. වැලපෙති. පොදුජන ප්‍රශ්න එමට තිබිය දී ස්වකීය වේතනය දියුණු කරගැනීමට සිංහ ලීලාවෙන් ගිගුම් දුන් කී දෙනෙක්, අපේ ශ්‍රේෂ්ඨ සභාවේ නොවෙසෙත්ද ? ඈත අතීතයේ ලංකාවේ විසුවේ යයි කියන කුම්භකර්ණයා සිහිපත් කරමින් නිදි ඇඳේ ගොරවමින් සිටින, වර්තමාන සිංහලයා කෙළින් කර සිටුවන්ට නම් මෙබඳු ජාතික කාව්‍ය අවශ්‍යය. ,
– ඇස්.මහින්ද හිමි – ලංකාමාතා පෙරවදන
මහින්ද හිමි අපේ දරුවන්ට තමා උපන් බිමේ සොඳුරුබව සොබා සිරියේ මිහිරි බව පෙන්වූයේ, මවුබිම රැකගැනීමේ වුවමනාව ද යටින් මතු කරමිනි.
ලක් දරුවකු ලවා සිය මවුබිමේ අගය මහත් පෙමින් අගයන අවස්ථාවක් කිවි හිමිපාණෝ මෙසේ මවති.
“සැඟවී තිබෙන කොට ඔබගේ සෙනේ දම
මුතු මිණි රනින් මට ඇති වන පලේ කිම
පුතු වෙමි ඔබට උපදින හැම තැනේදිම
පැතුමෙන් මගේ සිරිලක් මව වඳිමි මම
කැඳවන රසට කැඳවා ලොව දසනු දෙස
ඉඳුවා වඩා සමනොළ මල් යහන් කුස
උදුරා සමය, කුල, නිලබේ නපුරු විස
පුදුමයි ඔබ කවන සැටි සමගියේ රස”
– කව්මුතු 4 වැනි ශ්‍රේණිය-
උන්වහන්සේගේ , සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්ටනියක් , ගීය අපේ දරුවෝ අදත් ගයති. අත්‍යන්තයෙන්ම පරිසරය පිහිටි මව්බිමට ද පෙම් කරති. මව්බිම පිළිබඳ පෙමින් බැඳුණු විට එය රැකගැනීමේ වුවමනාවෙන් ඔවුන්ගේ සිත් පිරෙයි. වැඩිහිටියනට මෙන් කවියෙන් අණ නොදී මහින්ද හිමියෝ වක් මගින් දරුවනට දේශප්‍රේමය එන්නත් කරති.
ලංකා ඉතිහාසයේ වීරයන් සිහි ගන්වමින්, ලක් දරුවන්ගේ සිත් එඩිතර ගුණයෙන්, දෑහිතකාමි බවෙන් පිරවීමට අප හිමියෝ මෙසේ ලියති. ඒ, වීර කැප්පිටිපොල සිහිගන්වමිනි.
“අල්ලා ගනිව් පැන යන්නට නොදී ඉඩ
ගල් මෙන් සිටිව් කැපුවත් තෙපි කඩින් කඩ
වෙල්ලස්සෙන් එදා ඔබ නැගු සටන් හඬ
සොල්ලා රටම රැව් දිනි මුහුදෙනුත් ගොඩ
පැරදුණු නමුදු රැකගත් තම වීරකම
පරහෝදරයාණනි ඔබ සූරකම
බුරවා සිහල හැම සිතකම වීරකම
ඉර හඳ බිමේ වේවා හැම වාරෙකම”
– කව්මුතු – 4 ශ්‍රේණිය-
දරුවන් නළවන අම්මලාගේ කටට උන්වහන්සේගෙන් ලැබෙන්නේ ජාතික විමුක්තියේ ගීතයන්ය. එමගින් සිදුවනුයේ, ඒවා ගයන මවුවරුන් ළඟ වැඩෙන දරුවන් තුළ ද සිය රැස, දෙස පිළිබඳ පෙම පිරෙයි. මේ උදාහරණ කිහිපයකි.
“ජාතික රණ දෙරන මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුන්දර සුරඹුන්ගෙ අතේ
නැළවෙන බව සිතනු පුතේ
තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට, සමය වෙතේ
පුද නොකළොත් උඹෙන් පුතේ
මෙලොවට කිසි පළක් නැතේ”
– දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල-
උන්වහන්සේ වැඩිහිටියන් ඇමතුවේ වෙනත් බසකිනි. නිදහසේ මන්ත්‍රය නම් වූ ඒ කාව්‍යයට මුල පුරන්නේ” ඇස් ගෙඩි දෙකට හෙන ගහලද මිනිසුන්නේ” යයි අසමිනි. ලක්බිම සුද්දන්ගේ යටත් විජිතයක් වී ඇති සැටි වෙනත් රටවල මිනිසුන් නිදහස වෙනුවෙන් සුද්දන් සමග සටන් වදින සැටි තොපට නොපෙනේද ? එසේ නොපෙනෙන්නේ ඔය ඇස්වලට හෙන ගහලාදැයි හිමියෝ ඒ කාව්‍යයේ මුල් පැදියෙන්ම අසති.
නුඹ පිරිමියෙක් නම් මෙන්න කළ යුතු දේ. හිමියෝ මෙසේ පෙන්වා දෙති.
“හැඩි දැඩි වෙසින් මරු මර හඬ තලන කොටත්
එන වෙඩි පහර පා මුල ගිනි නගන විටත්
සිටි අඩි නොසොල්වා සිටිනට සමත් වෙතොත්
ඔබ දැඩි සිතැති විකුමැති පිරිමියෙකි කියත්”
– නිදහසේ මන්ත්‍රය-
සුද්දන් ඉදිරියේ පාන නිවටකම් නොඉවසන අප කවියා, සිංහල ලේ ඇති කොල්ලකු දැන් උපදින්නේ නැද්දැයි අසයි.
“බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙහි ලූ ලුණු සේ පුපුරන්නෙය කෝප විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අය්යෝ
දැන් උපදින්නෙම නැද්ද ? උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා”
– ලංකා මාතා-
ඇස්.මහින්ද හිමියෝ ලක් බිම උපන් අයෙක් නොවූහ. සිංහලයෙක්ද නොවූහ. එහෙත් ලාංකික සිංහලයකුට නැති කැක්කුමක්, ලක්බිම හා සිංහල ජාතිය පිළිබඳව උන්වහන්සේට තිබිණ.
කෙනකු බුදු සව්වකු බවට පත්වනුයේ නිවන අරමුණු කොටය. එහෙත් ලංකාවේ සිංහලයන්ගේ පිරිහීම දුටු උන්වහන්සේට නිවන අමතක විය. ඒ නිසාම මෙසේ කීහ.
“සහන ලැබෙන තුරු ලංකා දීපයට
ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරියට
මහණකමත්, බණ දහමත් එයයි මට”
1951 මාර්තු 16 වැනිදා ටිබෙට් ජාතික ඇස්.මහින්ද හිමියෝ අපවත් වී වදාළහ. උන්වහන්සේ වැනි අණදීමේ සමත් කවීන් පහළ වීමට කාලයයි, මේ. ජාතිය මර නින්දේය. රට ණය උගුලේය. ජනතාවට සැබෑ නායකයෙක් නැත. නායකත්වය ගසා කෑමෙන්, ප්‍රෝඩාවෙන් ගොරොසු වී කිළිටි වී ඇත.
මහින්ද හිමියන්ගේ කවි ලක් වැස්සන් යළි කියවිය යුතුය. ඇස් පාදා ගත යුතුය.
විසිනවයක් වූ උන්වහන්සේගේ කවි පොත් පසුගිය කාලයේ අතුරුදහන්ව පැවතුණි.අපේ මහා ලේඛක ආචාර්ය ඩබ්ලියු.ඒ.අබේසිංහ සූරීහු රට පුරා ගොස්, ඒ පොත් එක්රැස් කොට, සංස්කරණය කොට ජාතිය අතට පත් කිරීමේ සද්වෑයමක් දරා ඒවා සෝබන මුද්‍රණයකින් රටට පිදෙනුයේ සමුද්‍ර ප්‍රකාශකයන්ගෙනි. විජයසිරි අමරතුංගගේ චිත්‍ර මගින් කවියේ අරුත් අප සිත් තුළට පිවිසවයි. මෙය මේ යුගයේ අත්‍යවශ්‍ය වුවමනාවක් ඉටුකිරීමකි. කවියනි, ලිවියනි මහින්ද හිමියන් රැක ගැනීමට, මේ ඔබට කාලයයි.
– දෙනගම සිරිවර්ධන –