fbpx
16.1 C
New Zealand
Saturday, April 20, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

එස් මහින්ද හිමි 71වන ගුණ සමරුව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ඉකුත් මාර්තු  16 වැන දින, කොළඹ 7, නිදහස් මාවතේ  පිහිටි ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ‍්‍රවණාගාරයේදී, සිංහලයේ සුප‍්‍රකට කවිවරයකු වූ ඇස්.මහින්ද හිමියන්ගේ 71 වැනි ගුණ සමරු උළෙලක් පවත්වන්ට යෙදුණු අතර, එයට සමගාමිව සමුද්‍ර ප‍්‍රකාශකයින්ගේ මෙහෙයවීමෙන්  සංස්කරණය කරන  ලද එහිමියන්ගේ කාව්‍ය-ගීත සංග‍්‍රහ විසිනවයක් ජනගත කිරීමද සිදු විය.

මෙම උත්සවයේ මුලසුන හොබවන ලද්දේ සාහිත්‍ය මණ්ඩලයේ සභාපති රඹුකන සිද්ධාර්ථ මාහිමියන් විසිනි. එකී උත්සවය අමතා ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂිකා නිම්මි දේශපි‍්‍රය මහත්මිය විසින් පොත්වල සංස්කරණ විශේෂත්වය ගැන දේශනයක් පවත්වන ලදී. උත්සවය මෙහෙයවන ලද්දේ වජිර ජයවර්ධන මහතා විසිනි.  විශාරද දිස්නා අතපත්තු මහත්මිය සහ ස`දසිරි අදිකාරි මහතා මහින්ද හිමියන්ගේ තෝරාගත් කවි ගායනා ඉදිරිපත් කළහ.

ආනන්ද ශිෂ්‍ය සෙනිතුසිත් වික්‍රමසිංහ විසින් එම පොත් කටිටලය භාරගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. වත්තේවැවේ ධම්මා නන්ද හිමියන්හා ආනන්ද විදුහල්පති ඩී. ලාල් දිසානායක මැතිතුමන්ද,  සාහිත්‍ය මණ්ඩලයේ සභාපති රබුක්කන සිද්ධාර්ථ හිමියන් හා සමුද්‍ර ප්‍රකාශන සමාගමේ කලමනාකරණ අධ්‍යක්ෂිකා සමුද්‍රිකා ද සිල්වා මහත්මිය ඡායාරූපයෙහි සිටී.

පොත්වල සංස්කාරක ආචාර්ය ඩබ්ලියු.ඒ.අබේසිංහ මහතා මුඛ්‍ය දේශනය පවත්වමින් මෙසේ ප‍්‍රකාශකර සිටියේය.

⋆                     ⋆

‘‘සකස්කඩ නොකී        කට
උගේ කට හුඹස්          කට’’

විසිඑක්වැනි සියවසේ ඉළිපත්තෙන් ඇතුළු වී, දශක දෙකකුත් ගෙවා සිටින  අපේ දරුවන්, ඒ කියමන අසා නැතුවා වන්නට පුළුවනි. ඒ ගැන, ඒ දරුවනට දොස් කියන්නට බැහැ.

මුනිදාස කුමාරතුංග, මාර්ටින් වික‍්‍රමසිංහ වැනි මහා වියතුන් බිහි කළ ගුරුගෙදර, පන්සල, පිරිවෙන වැනි පැරණි සම්ප‍්‍රදායයේ අධ්‍යාපන ආයතනවලදි, ළමයින්ගේ කටේ හැක යන්ටත්, අප සිංහලයේ පමණක් නොව, පාලි සංස්කෘත ආදී මාතෘ භාෂාවන්ගේද වචන හඬනගා කියවීම හෙවත් ශබ්දෝච්චාරණය සඳහාත්, දරුවන්ට කියවන්ට සිදු වූයේ සකස්කඩ, බුද්ධගජ්ජය, ගණදෙවි හෑල්ල සහ වදන් කවි පොත වැනි පොත්. පැරණියන් කීවේ, ඒ පොත් කියවා නැති නම්, ඒ ඉගෙනීමෙන් වැඩක් නැති බව. මන්ද යත්, ඒ අධ්‍යාපනයේ සවිමත් පදනම දැමුණේ, අර පොත් කියවා, වැලිපිල්ලේද අකුරු ලියා හුරුවීමෙන් අනතුරුව වන බැවින්. ඒ නිසා, සකස්කඩ නොකී කට, නිකම්ම හුඹස් කටක් වීම ගැන අප පුදුම විය යුතු නැහැ.

ඒ සකස්කඩ කියවූ අවධිය, ගෙවී ගොස් දැන් බොහොම කල්. ඉනුත් මෑත භාගයේදි, අපේ පොඩි දරුවන්ගේ මුව රැඳුණු පුංචි කවි කිහිපයක් තිබුණා. ඒ කවි අතර, මුනිදාස කුමාරතුංගගෙ  ‘‘හා හා හරි හාවා – කැලේ මැදින් ආවා’‘ නමැති කවියත්, ආනන්ද රාජකරුණාගෙ ‘‘රෝසමලේ නටුවෙ කටූ – වනබමරෝ ඔහොම හිටූ’’ යන කවියත්, ඇස්. මහින්ද හාමුදුරුවන්ගෙ

‘‘සමන් පිච්ච මල් ඉහිරුණු

නිල් තණකොළ පිට්ටනියක්

වගෙයි අහස අන්න බලනු

කොච්චර ලස්සනද ?ට’’ යන කවියත් තිබුණා.

පසුගිය විසිවැනි සියවසේ මැද භාගය වන විට, සිංහලයේ ‘‘සකස්කඩ’’ බවට පත්ව තිබුණේ, ඒ කවි කිහිපයයි. ඒ අනුව ඇස්. මහින්ද හාමුදුරුවන්ගෙ සමන් පිච්ච මල් ඉහිරුණු කවි පංතිය කටපාඩමින් දැන නොසිටීම, එදවස දරුවකුගේ ලජ්ජාවට කාරණයක් වුණා.

ඒ, එදා.

අද සිංහල ළමා අධ්‍යාපනයට, මොනම සකස්කඩයක්වත් ඇත්තෙ නැහැ.

ශ‍්‍රී ලංකාවෙ වර්තමාන සිංහල ළමා සමූහයාගේම භාෂාවත්, සාහිත්‍යයත්, රසවින්දනයත් අත්පොත් තැබීම සඳහා, ඇස්. මහින්ද හාමුදුරුවන්ගේ ළමා කව් ගීත නමැති මහා නිධානය වෙත ආපසු ගමන් කළයුතු වන්නෙ, ඒ නිසා. අපගේ ළමා භාෂා සාහිත්‍ය අධ්‍යාපනය පිහිටුවා ලියයුතු එක් සවිමත් පදනමක් හෙවත් ප‍්‍රතිෂ්ඨාවක් වන්නේත්, මහින්ද හිමියන්ගේ අනල්ප වූ ළමා කාව්‍ය – ගීත සමුදාය කියා මා හිතනවා.

ඇස්. මහින්ද හිමියන් ලියූ කාව්‍ය රචනා විශාල සමුදාය අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක්, ළමා කව් සහ ළමා ගීත. මෙම ළමා කාව්‍ය නිර්මාණ, උන්වහන්සේ විසින් වරින් වර පළ කරන්ට යෙදුණු කුඩා කවි පොත්වල අන්තර්ගතව තිබුණා. එම පොත් පාසල් දරුවන් අරමුණු කරගෙන ලියන ලද ඒවා බවත්, සිහිපත් කළ යුතු කාරණයක්. පසු කලෙකදි එම ළමා පද්‍ය සංග‍්‍රහයන් පාසල්වල භාවිතයට ගැනුණු බවත් ප‍්‍රකට කාරණයක්.

ළමයින් උදෙසා නිර්මාණය වී, පසු කලෙක පාසල්වලද භාවිතය සඳහා ගැනුණු එම ළමා කව් ගී, මූලික වශයෙන් පොත් පේළි තෙවගක සංගෘහිත වුණා. එම පොත් පේළි තුන තමයි, කව් මිණ, කව් මුතු සහ ළමා කව් කළඹ.

කව් මිණ, පහළ බාලාංශය, ඉහළ බාලාංශය 2, 3, 4, 5 යන පංතිවලට වෙන වෙනම පොත් හයකුත්, 6, 7, 8 යන පංති සඳහා තවත් පොතකුත් වශයෙන්, පොත් හතක් හැටියට පළ වුණා. කව් මුතු පොත් පෙළ පළව ඇත්තේත්, ඒ පිළිවෙළටමයි. ඒ අතර, ළමා කව් කළඹ පොත් පෙළ, පහළ සහ ඉහළ බාලාංශ පංති දෙකත් 2, 3, 4, 5 යන පංති උදෙසාත් පොත් හයක් හැටියට පළ වුණා.  එයට අමතරව, ඔවා මුතුදම, නන්දන ගීත සහ දරුනැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල යන පොත් තුනත්, උන්වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ළමයින්ට උගන්නපු කාලයේ ලියූ  දහඅට වන්නම් පොතත් සැලකිය යුතු වන්නේද ළමා පොත් හැටියටමයි. මේ ආකාරයට, ඇස්.මහින්ද හාමුදුරුවන් ළමයින්ට ලියූ කව් ගීත පොත් සංඛ්‍යාව විසිහතරක් වෙනවා.

මහින්ද හාමුදුරුවන්ගෙ ළමා පද්‍ය ආකෘතියෙහි දක්නා ලැබෙන්නෙ, සරල සුගම හෘදයංගම රීතියක්. උන්වහන්සේ, තමන්වහන්සේගේ නිර්මාණ හුදු පද්‍ය ප‍්‍රබන්ධ හැටියටත්, බොහෝ විට ඊටත් වඩා නිදහස් රීතියක් අනුගමනය කරමින්, ගීත හැටියටත් නිමවන අයුරු දැකිය හැකියි. ගීතාකාරයෙන් කරන ලද මෙම නිර්මාණයන්හි ඉතා සුකර වූද. සුගේය වූද, ස්වයංසිද්ධ රිද්මයක් හෙවත් ‘‘තනුවක්’’ බිහි වන ආකාරයත් පෙනී යනවා. මේ ලක්ෂණය මුනිදාස කුමාරතුංග, ආනන්ද රාජකරුණා, ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සහ මහගම සේකර යන කවීන්ගේ ළමා රචනාවලත් දක්නා ලද ලක්ෂණයක්.

ඇස්. මහින්ද හිමියන්ගෙ ළමා කාව්‍ය සහ ගීතවලට වස්තු විෂයය වන්නෙ, දරුවා වටා ඇති පරිසරයත්, දරුවාගේ පෞරුෂ වර්ධනය හා ආකල්ප සම්පත්තිය කෙරෙහි බලපාන ආගම දහම හා ගුණ දහමත්, දරුවාගේ ජාතික උරුමය සහ ඉතිහාසයත් බව පෙනී යනවා. එමගින් දරුවාගේ චරිතය හා පෞරුෂය ගොඩනඟන අතරම, එයටම ආනුශංගික වූ සෞන්දර්ය වින්දනය තීව‍්‍ර කිරිමද උන්වහන්සේ අපේක්ෂා කළා. මේ සියල්ල, සාහිත්‍ය නිර්මාණ කාර්යයක් තරමටම, අධ්‍යාපන කි‍්‍රයාවලියක්ද වූ වග, විශේෂ කොට කිවයුතු කාරණයක්.

දරුවා තමා ජීවත් වන පරිසරය ග‍්‍රහණය කරන්නේ, තම නෑසියන්ද, සතා සීපාවාද, ගහකොළද, ඇළදොළද, අහස පොළොවද යන මේ සියල්ල, ගතින් සිතින් ස්පර්ශ කිරීමෙන්. එකී මූලික සංජානනය හෙවත් හඳුනාගැනීම තියුණු කරන්ටද, පෞද්ගලික අත්දැකීමක් බවට පත් කරන්ටද, එය අර්ථවත් කරන්ටද කවියා ඉදිරිපත් වෙනවා. අභූතපූර්ව වූද, ඉතා රමණීය වූද, කාව්‍ය ගීත සමුදායක් බිහි වන්නේ, එතැනදි.

මහින්ද හිමියන් ඉහළ බාලාංශ පන්තියේ දරුවන් අරමුණු කරගෙන ලියූ එක් රචනයක් හඳුන්වා තිබුණේ, ‘‘මල් උයනක්’’ යනුවෙන්.

‘‘කූඩලූ අරලිය වතුසුදු

රුක්අත්තන ගොඩමහනෙල්

බදුවද බුත්සරණ ඉද්ද

රාජපොහොට්ටුද කනේරු

මේ මල්වලින් බොහොමයක්, අද ඇහැට දකින්ටවත් නැහැ.

‘‘වෙන වෙන හොඳ පාට ඇඳුම්

ඇඳගත් පොඩි ළමයි පෙළක්

වගෙයි නේද, මේ ගස් ටික

නොයෙක් පාට මල් පිපිලා

‘‘මගෙ නංගිගෙ පොඩි හිනාව

වගේය මේ පිච්ච පොකුර

ඇගෙ කම්මුල් දෙකේ පාට

කොයින්ද මේ රෝස මලට

‘‘ඉරුගේ පොඩි පැටවුන් මෙන්

බබළන රන්වන් මල් ඇති

මේ කිණිහිරි ගහ බලන්න

මහණ වෙලා වගේ නේද’’

කිණිරි මල් ගහක් එහෙම, දැක්ක කෙනෙක් මේ සභාවෙ ඉන්නවද?

ඇත්ත වශයෙන්ම, භාරතයේ සිකිම් දේශයේ සිට බාල වියෙහිදීම ලංකාවට පැමිණි ටිබෙට් ජාතික සම්භවයක් හිමිව සිටි මහින්ද හාමුදුරුවන්, සාමණේර කාලයේ සිට උන්වහන්සේගෙ පරිණත අවධිය දක්වාම, සිංහල බසින් ලියූ ගැදි පැදි මහත් රාශිය අතර, සදාකාලික වටිනාකමක් ඇති නිර්මාණ පද්ධතිය වන්නෙ, උන්වහන්සේගෙ ළමා පද්‍ය නිර්මාණ මහ රාශියයි. මෙම ළමා කවි තමයි, කලින් සඳහන් කළ ළමා කව් කළඹ, කව්මිණ, කව්මුතු යන පාසල් පොත් පද්ධති තුන තුළ ප‍්‍රකාශයට පත් වුණේ. මා අපේ මෑණියන්ගෙ ගම වන ඇටියාවල පිරිමි පාසලේ ඉගෙනගත් මුල් අවදියෙදි, ඉහළ බාලාංශයේ සිට පස්වැනි පන්්තිය අවසන් වන තෙක්ම, ළමා කව් කළඹේ කවි සේරම තේනුවර සහ සිංහබාහු යන ගුරු දෙපළට කටපාඩම් දුන්න බව, මෙතනදි ස`දහන් කරන්නෙ, අර කවුදෝ චෝදනා කරන නොස්ටැල්ජියාවකින්් යුතුවම නෙමෙයි. ගුණපාල මලලසේකර මහාචාර්යපාදයන් නොස්ටැල්ජියා යන ඉංගිරිසි වදනට තේරුම් දෙන්නෙ ‘‘කාන්සාව’’ කියා.

මගේ පෞද්ගලික හැ`ගීම නම්, අපගේ ළමා කවියට මහත්ම සේවය ඉෂ්ට කළේ, සිංහලයකු නොවන සිකිම් මහින්ද හාමුදුරුවන් බව. මුනිදාස කුමාරතුංග, ආනන්ද රාජකරුණා යන  විශිෂ්ට කිවිවරුන්ට මා තුළ ඇති ගෞරවය අප‍්‍රමාණයි. ඒ වුණත් කිව යුතු බරපතළම සත්‍යය තමයි, ඇස්. මහින්ද හිමියන් ඔවුන් දෙදෙනාම අතික‍්‍රමණය කරමින් ළමා කව් – ගී නිර්මාණය කළ වග. ඒ නිර්මාණවල පැවති සිංහල වාග් රීතියත්, උන්වහන්සේ විසින් අතිශයින්ම අව්‍යාජ ආකාරයෙන් විවරණය කළ අපගේ ජාතිකත්වය, ඉතිහාසය, සංස්කෘතිය සහ පරිසරය යන කාරණාත් හේතුකොටගෙන, මහින්ද හාමුදුරුවන්ගෙ ළමා කව් – ගී අපගේ මෑතකාලීන සාහිත්‍යයේ ඉතා විශිෂ්ට තැනක පවතිනවා. බොහෝ ළමා කවිවලදි උන්වහන්සේ පළ කළ දරුවාගේම මානසිකත්වය තුළට ප‍්‍රවිශ්ට වීමේ ශක්තිය, ඇත්ත වශයෙන්ම විස්මයජනකයි.

කවියා විසින් පබඳන ලද මෙවන් රචනා රැසකම දක්නා ලද ප‍්‍රබල ලක්ෂණයක් තිබුණා. දරුවන් තමන්ගේ පරිසරය හඳුනාගන්නෙ, ඒ හා බැ`දුණු නෑසිය හැඟීමකින්. හුදෙක් ඈත සිට එදෙස බලා සිටීමෙන් නොවෙයි. මල් ගස් පෙළ නොයෙක් පාට ඇඳුම් ඇඳගත් පොඩි ළමයින් පෙළක් වගෙයි. පිච්ච පොකුරේ ඇත්තේ නංගිගෙ පොඩි හිනාව. රෝස මලේ තිබෙන්නෙ නංගිගෙ කම්මුල් දෙකේ පාට. මේ ලක්ෂණය තව බොහෝ පද්‍ය පන්තිවල දක්නා ලැබෙනවා. ඒ අතින් බලන විට, රාත‍්‍රිය විශිෂ්ට රචනයක්. මුලින් ස`දහන් කළ සමන් පිච්ච මල් ඉහිරුණු කවියට පසුව එන තව කවි තුනක්, මේ බලන්ඩ.

‘‘බකමූණෝ පියාඹතී

අනික් කුරුල්ලෝ නිදතී

බෝ අතුවල එල්ලීගෙන

මාවවුලෝ  කෑ ගසතී

‘‘මගෙ සුරතල් අක්කාගේ

මාලේ මුතු ඇට වාගේ

මේ වැටෙන්නෙ පිනි බින්දුත්

හදමු එකක් ඒ වාගේ’’

‘‘අහසේ තරු වැල් පිරිලා

පොළොවේ සුදු මල් පිපිලා

මඟුල් ගෙවල් දෙකක් වගෙයි

මේ දෙපලම හැඩ ගැහිලා’’

‘‘බකමූණෝ පියාඹතී’’. දැන් ඉන්න ළමයින්ගෙන් කී දෙනෙක් බණමූණෙක් – බස්සෙක්- දැකල තියෙනවද ? දැන්  අපේ කැළෑ ටික බහුජාතික සමාගම්වලට සින්නක්කරේටම දුන්නට පස්සෙ, එක්කෝ බණමූණන් ව`ද වෙලා. එහෙම නැත්නම්, රට අතහැර ගිහිල්ලා.

මහින්ද හාමුුදුරුවන්ගෙ කවියෙ ස`දහන් වෙන මාවවුලන්ගෙන් – ඒ කියන්නෙ ලොකුම වවුලන්ගෙන් – බහුතරය නම්,  මේ දවස්වල ඉන්නෙ පාර්ලිමේන්තුවෙ. පොඩි වවුල්ලූ පළාත් සභාවල සහ පාදේශීය සභාවල ෟ

මහින්ද හාමුදුරුවන් අපේ ළමා සාහිත්‍යයට දායාද කළ ඒ විශිෂ්ට  රචනය අවසන් කරන්නෙ, තරුවැල් පිරුණු අහසත්, සුදුමල් පිපුණු පොළොවත් ම`ගුල් ගෙවල් දෙකක් හැටියට උපමා ගන්වමින්.  ඔය කියන එක ම`ගුලක්වත් මේ දවස්වල අපේ රටේ හද්දා පිටිසරවත් දැකගන්ඩ නැති තරම්. ඉදිරි කාලයේදි, ඔය කියන ,ම`ගුල් ගෙවල්, ගැන අපේ ළමයින්ට ඉගෙනගන්ඩ සිදුවන්නෙ, සමාජ විද්‍යාඥයකුගෙ             පොතකින් විතරයි. අද ගෙවල්වල ම`ගුල් නෑ. ම`ගුල් තියෙන්නෙ, තමතමන්ගෙ ආර්ථික සමාජ මට්ටම්වල හැටිහැටියට පවත්වන හෝටල්වල හෙවත් ඊනියා සාද නිකේතනවල ෟ

දැන් අපි නැවතත් අපේ මාතෘකාවට බහිමු.

මහින්ද හිමියන් ස්වභාව සෞන්දර්යය විෂයය කරගෙන රචිත බොහෝ රචනාවල දක්නට ලැබෙන්නෙ, ‘‘රාත‍්‍රිය’’ නමැති කව් පෙළෙහි එන රීතියමයි. පරිසරයේ හෙවත් ජගත් සෞන්දර්යයේ ආශ්චර්යය, කවියා විසින් දරුවන්ගේ විෂය පථය තුළට ගෙන එනු ලබන්නෙ, අර බලන්නැයි අණවමින් නොව, ඒ ආශ්චර්යය හා දරුවා ඥාති සම්බන්ධයකින් මෙන් එකට බැඳ තැබීමෙන්. මෙය, ළමා සාහිත්‍ය නිර්මාණයේ අතිශයින්ම වැදගත් සාධනීය ලක්ෂණයක්. පාන්දර වැටෙන පිනි කැට දරුවා දකින්නේ, තමාගේ සුරතල් අක්කාගෙ මාලේ මුතු ඇට වගෙයි. ඒ මොහොතේම, ඒ පිනිකැට දරුවාගේ විෂයය ලෝකයෙන් තමා සතුකරගන්නා වූද, තමා ආදරය කරන්නා වූද දෙයක් බවට පත් වෙනවා. වැටෙන පිනිබිඳුවල සොබා අසිරිය, අක්කා කෙරෙහි ඇති ආදරය හා යා වන විට, කවියෙන් ලබන වින්දනයද අතිශයින් තීව්ර වෙනවා. මේ ආකාරයෙන් සාහිත්‍ය රස වින්දනයට හුරු වන දරුවා, උසස් සාහිත්‍යයට වඩ වඩාත් සමීප වන්ට පටන්ගන්නවා. අවිඥානකව මෙන්, සාහිත්‍ය රස වින්දනය තම ජීවිතයේ කොටසක් කරගන්නවා. මහින්ද හාමුදුරුවන් ස්වභාව සෞන්දර්යය ගැන ප‍්‍රබන්ධ කළ  ළමා කව් – ගී, දරුවාගේ සාහිත්‍ය රස වින්දනයේ සවිමත් අඩිතාලමක් –  පදනමක් – වෙන්නෙ, ඒ ආකාරයට.

සාහිත්‍ය රස වින්දනය, දරුවා ලෝක විෂයය පිරිසිඳ දැනගැනීමේ කාර්යයෙහිදි, තමාගේම අත්දැකීමක්, පෞද්ගලික කාර්යයක්, සමීප සබඳතාවක් ඇති ක‍්‍රියාවලියක් විය යුතුයි. එය දරුවාගේ පෞරුෂ වර්ධන ක‍්‍රියාවලියේ අනිවාර්ය අංගයක් බවට පත් කරලිය හැකි වන්නේ, එවිටයි.

දැන්, ‘‘කුකූලා කතා කරයි’’ යන මෙම කුඩා කව් පන්තියට සවන් දෙන්ඩ.

කුකුළා, ළමයින් අමතන්නෙ මෙහෙම.

‘‘නැගිටපල්ලා

ළමයිනේ

මමයි කුකුළා

කුක්කු කූ කූ

එළි වෙලා දැන්

ළමයිනේ

නැගිටපල්ලා

කුක්කු කූ කූ

 

පොත් අරන්

පාඩම් කරල්ලා

ළමයිනේ දැන්

කුක්කු කූ කූ

උදේ නැගිටින

ළමයි කවුරුත්

මගේ යාළුවො

කුක්කු කූ කූ’’

කුඩා ළමයින් මේ කව ග‍්‍රහණය කරගන්නේත්, එහි රස විඳින්නේත් ඈතින් සිටගෙන නොවෙයි. මේ කුකුළා තමන්ගේ යහළුවකු බව පසක් කරගෙන, කුකුළාගේ හඬ ඇසෙන මායිමේ සිටගෙන.

ස්වකීය ළමා පද්‍ය රචනයෙහිදී මහින්ද හිමියන් කවි බස යොදාගන්නේ, අතිශයින්ම ජීවමානාකාරයෙන්. ඒ සජීවිබවට හේතු වන කාරණා අතර, සිංහල බසෙහි ව්‍යංජන ගුණයත්, වාග් රටාවනුත් එහිමියන් විසින් පිරිසිඳ දැන සිටි ආකාරය සටහන් කිරීම යුතුකමක්. ඊටද අමතරව, අපේ සම්භාව්‍ය කවි බස මෙන්ම ජනකවි බසද ඉතා සීරුවෙන් හැදෑරීමෙන්ද, ඒ දෙබසම නිර්මාණශීලි ලෙස වහරමින්ද, උන්වහන්සේගේ කවි බස නිර්මාණය වූ වග පෙනී යනවා. නිදසුනක් වශයෙන්, ‘‘උයන් සිරි’’ නමැති රචනය ඉදිරිපත් කිරීමට මා කැමතියි.

ළමයෙක් තමන්ගෙ  නැගණිය අමතා, කියන්නෙ මෙහෙම.

‘‘ගසුත් උසයි අතුත් බරයි බිමට           නැමීලා

එහෙන් මෙහෙන් ගෙඩිත් තිබේ හොඳට       ඉදීලා

 

‘‘සුළං හමයි කොළත් සැලෙයි ගෙඩිත්         වැටෙන්නා

වටින් පිටින් රේණු වැටී ඇඟත්                    වැහෙන්නා

‘‘ගිරා පැටවු පියාඹඹා ගහේ           වහන්නා

ටිටිං ගගා ලේනො රැළක් බයේ      දුවන්නා

‘‘කුරුල්ලෙකුත් අපේ දිහා එබී            බලන්නා

යමන් නගෝ, යමන් නගෝ, වැහිත්            වහින්නා’’

මෙම රචනය මහින්ද හිමියන් විසින් ගීත සම්ප‍්‍රදාය මත නිදහස්ව පිහිටා කරන ලද සරල නිර්මාණයක්. එහෙම වුණත්, අපේ කවි බස, මෙතරම් පහසුවෙන් වහරන්ට, නිර්මාණශීලී ලෙස යොදාගන්ට, අපේ ජනතාවගේ බසත්, එතුළ වන වාග් රීතියත්, ඒ බසෙහි වන ස්වයංසිද්ධ ගීතස්වරයත් මනා කොට හඳුනාගැනීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා, දීර්ඝ කාලීන අභ්‍යාසයකුත් අවශ්‍යයි. මහින්ද හිමියන්ගේ මෙම රචනයත් සෙසු බොහෝ රචනාත් පිටුපස ඇති ඒ දීර්ඝකාලීන ශික්ෂණය, ඇත්ත වශයෙන්ම ඉතාම ප‍්‍රශංසනීයයි.

ළමා කවිය හා ගීතය සාහිත්‍ය ක‍්‍රියාවලියක් තරමටම, අධ්‍යාපන ක‍්‍රියාවලියක්ද වන බව මා මුලින් සදහන් කළා. මේ කාර්යයන්  දෙකේදීම අවශ්‍ය වන මූලික දෙයක් තමයි, දරුවන්ගේ ආකල්ප නිවැරදි කිරීම හෙවත් ඔවුන්ගේ ආකල්ප සම්පත්තිය. එහෙම නිවැරදි කොට වර්ධනය කරන ආකල්ප සමුදාය හේතුකොටගෙනයි, දරුවා තමන්ගෙ විෂය ලෝකය වටහාගන්නෙ. ජීවිතයේ අර්ථාන්විතබව මඳින් මඳ ප‍්‍රත්‍යක්ෂ කරන්නෙ. මෙම දෘෂ්ටියෙන් විමසා බැලිය යුතු රචනා මහත් රාශියක්, මහින්ද හිමියන්ගෙ පන්හිදෙන් බිහිව තිබෙනවා. ඉතාම ප‍්‍රබල නිදසුනක් හැටියට, ‘‘යුතුකම’’ නමැති රචනය ඉදිරිපත් කරන්ට මා කැමතියි. ඉතා සුප‍්‍රකට මෙම කව් පෙළෙහිදී අඹ ඇටයක් සිටුවන මහල්ලාගෙන් ළමයෙක් මෙහෙම ප‍්‍රශ්නයක් අහනවා.

‘‘දුක සේ සිටුවා අඹ ඇටයක්          අද

එක අඹයක්වත් කන්ට      ලැබේවිද’’

මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා, එක් පරම්පරාවක් විසින් ඉටු කළ යුතු යුතුකම් සම්භාරය – කළයුතු වන පරිත්‍යාගය – ළපටි වියේ සිටින මේ දරුවා දන්නේ නැහැ. මහල්ලා එය දරුවාට කියා දෙනවා.

‘‘මම ළමයෝ මින් අඹයක්            නොපතමි

යුතුකම පමණක් ඉටු කොට           තබනෙමි’’

එහෙත් මහල්ලාගේ පිළිතුරෙන් දරුවා සෑහීමට පත්් වන්නෙ නැහැ. එසේ නොවන්නෙ, මෙතැනදි, යුතුකම කියන සංකල්පය කුමක්දැයි ග‍්‍රහණය කරගන්ට ඔහු අසමත් වන නිසා. ‘‘යුතුකම’’ කියන්නෙ, හුදෙක් මනෝමූලික දෙයක්. එහි අර්ථලාභය කුමක්දැයි දරුවාට වැටහෙන්නේ නැහැ. ඒ නිසය,ි ඔහු  තවත් ප‍්‍රශ්නයක් අහන්නෙ.

‘‘තමන්ට නොලැබෙන දේකින්      ලෝකෙට

කරන්ට හැකි දේ නොම තේරේ     මට’’

තමන් අතට ටෙන් පර්සන්ට් කොමිස් එකක්වත්  ලැබෙන්නෙ නැති සංවර්ධනය මොන එහෙකටද ? ඒකත්, නිකම්ම නිකම් ගොඩිගල් කොන්කි‍්‍රට් සංවර්ධනයක් වන කොටෟ

දරුවාට, ඊට වැඩි චින්තනයක් නැහැ. ඔහුට ඊට වැඩි දෙයක් වටහාගැනීම අසීරුයි. ‘‘යුතුකම’’ නමැති සංකල්පය මිනිස් වර්ගයාගේ යහපැවැත්මට අවශ්‍ය වන්නාවූ ප‍්‍රයෝගික ක‍්‍රියාවලියක් බැව්, දරුවා වටහාගන්නේ මහල්ලා එය මේ ආකාරයෙන්  දැක්වූ පසුවයි.

‘‘පෙර උන් අය සිටවූ අඹ  ගස්වල

පලයෙන් අපි කවුරුත් ලබනෙමු     පල

අපෙන් පසුව එන අයටත් එම         පල

ලැබෙන්ට සැලසුම අපගේ         යුතුකම’’

යුතුකම යනු, හුදු මනෝමූලික සංකල්පයක් නොව, අතිශයින්ම ප‍්‍රායෝගික වූ මානව ක‍්‍රියාවලියක් බව දරුවා වටහාගන්නේ, එය, මෙම රචනයෙහි එන අනුභුතියෙහි පිහිටුවා දැක්වූ විටදි. දරුවන්ගේ ආකල්ප සම්පත්තිය කෙරෙහි මහින්ද හිමියන්ගේ කව් – ගීවල බලපෑම ඉමහත්. එය ගුණධර්ම වර්ධනයට බලපෑම් ඇති කරන්නේ, අතිශය නිර්මාණාත්මක රීතියකින්. රමණීය ආකාරයෙන්.

මහින්ද හිමියන් ලියූ තවත් බාහෝ කවි කතන්දර දරුවන්ගේ ආකල්ප වර්ධනය කෙරෙහි බලපානවා. ඇත්ත වශයෙන්ම, අපගේ ජාතියට අවශ්‍යව සිටි ගුණධර්මවලින් සපිරි නිවැරදි ආකල්පවලින් යුතු දරුපරපුරක් බිහි කිරීමේ කාර්යයේදි, මහින්ද හිමියන් අපේ ජාතියට ඉටු කළ මෙහෙවර සදානුමරණීයයි. මේ වැනි අසම්පූර්ණ දේශනයකින්, ඒ කටයුත්ත ලියා කියා අවසන් කරන්ට බැහැ. ඒ වුණත්, උන්වහන්සෙ ලියූ එක අපූරු කවි පෙළක් මට මේ දැනුත් මතක් වෙනවා. ඒ කවිය මතක් වෙන ගාණෙම දැනෙන්නෙ, බලවත් දුකක්. විස්සෝ්පයක්. උන්වහන්සෙ ශී‍්‍ර ලංකා යන හිසින් ලියූ ඒ ළමා රචනයේ මුල් පැදි තුන මෙහෙමයි.

කැලණි මහවැලී – කුරු සහ

වලවෙ ගිං ක`ථෑ

සිහිල් දිය පිරී – මහ ගං

ගලා ගලා යතී

 

කලට මිස අහෝ – අකලට

අවු වැසි නැතී

රෝ දුබික් බියක් – ඉන් මෙහි

අපට නොම ලැබේ

 

‘‘මවක් නම් පොළෝ – ඇගෙ හොඳ

දියණි සිරිලකයි

මෙලොව හැම දෙනා – තර`ගව

ඇයට පිය කරයි

මීට අවුරුදු අසූවක් තරම් ඉහතදි, අපේ රට තමන්ගෙ මවුබිම කරගෙන කවි ලියූ මහින්ද හිමියන් කියා සිටියේ, අපේ මහ ගංගා සියල්ලම, පිරුණු සිහිල් දියෙන් යුතුව ගලාගෙන ගිය බව. අද ඒ ගංගා සියල්ලම පොඩි වැස්සකටත් උතුරා පිටාර ගලා මහ ගංවතුරක් එනවා. සති දෙක තුනක නිය`ගටත්, මේ ගංගා වියළී ගොස්, අපේ මිනිසුන්ගෙ ගොවිතැන්බත් පා`ථ කරනවා. අද අපට අව්වැසි දෙකම ලැබෙන්නෙ, අකලට විතරමයි. දැන් අපට ආපදාවලටම වෙන් කරපු අමාත්‍යංශයකුත් තියෙනව. මේ මහ පොළෝ මෑණියන්ගෙ හො`දම දියණිය සිරිලක බවයි, එදා උන්වහන්සෙ කිව්වෙ. හැම දෙනාම ඒ දියණියට ආදරය කරන්ට පොරකෑවෙ, ඒ නිසයි. මහින්ද හිමියන්ගෙ කාලෙ හිටපු සිරිලකේ ඒ ආදරවන්තයින් හැමදෙනාම අද පොරකන්නෙ –  තර`ග කරන්නෙ – ඒ හො`දම දියණියගෙ රීරි මාංසය උරා බොන්ඩ. අපේ මුහුද, අපේ වරාය, අපේ භූමිය, අපේ ව්‍යාපාර, මේ සේරම කොල්ල කන්ඩ. ඒක තමයි, මිහි මවගෙ හො`දම දියණියට අද සිදුව ඇති වින්නැහිය.

 

මේ කව් පෙළ අවසන් වන්නෙ මෙහෙම.

මෙසේ සව්සිරින් සපිරුණු

රටක ඉපදුමත්

මෙඅප හැමදෙනා පෙර කළ

වාසනාවකී

 

ඒ වාසනාවන්ත තරුණයන්, තරුණියන් තමයි, අද බත්තරමුල්ලෙ පාස්පොර්ට් කන්තෝරුව ඉදිරිපිට පෙළගැහිල ඉන්නෙ.

මහින්ද හාමුදුරුවන් ලියූ දේශාභිමානී කවි සංඛ්‍යාවත් අනල්පයි. ඒ කවි තමයි. ලංකා මාතා, නිදහසේ දැහැන, නිදහසේ මන්ත‍්‍රය, දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල ආදී කෘතීන්වල සංගෘහිතව තියෙන්නෙ. මෙම කෘති සියල්ලම, එදවස උත්සන්න වෙමින් පැවති ජාතික නිදහස් අරගලයට කෙළින්ම අදාළ වූ කවි. නිදහස් මන්ත‍්‍රයෙහි එන, ඉතා සුප‍්‍රකට,

කෙස්ගහ පවා වෙන රටවල           මිනිසුන්නේ

උස් නිදහස පිණිස සටනට             සැරසෙන්නේ

හිස් මොළ තිබෙද්දිත් මේ වග        නොතකන්නේ

ඇස් ගෙඩිවලට හෙණ ගැහිලද       සිහ`ථන්නේ

වැනි කවි, කෙළින්ම ආමන්ත‍්‍රණය කළේ, එම ජාතික සටනට. දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ලද ඇතු`ථ ඒපොත් හතරේම, එවන් අධිරාජ්‍ය විරෝධී ප‍්‍රබල කාව්‍ය රචනා දක්නට ලැබෙනවා. හැබැයි, මෙතැනදීම කිව යුතු එක කාරණයක් තියෙනවා. මහින්ද හාමුදුරුවන් සිහ`ථන් කියා ආමන්ත‍්‍රණය කෙළේ, එදවස ජාතික සටන්වලට කැඳවාගත යුතු බහුතරයට මිසක්, පටු ජාතිවාදී හැ`ගීමකින් නොවෙයි. එතැන සිහ`ථන් කියා සඳහන් වුණත්, ඇත්ත වශයෙන්ම උන්වහන්සේ ආමන්ත‍්‍රණය කළේ මු`ථ මහත් පොදු ජනතාවටම බව, උන්වහන්සේ ලියූ දේශාභිමානී පද්‍ය රචනා, සියල්ල සමවායෙන් විමසන කල පෙනී යනවා.

ඉංගිරිසින්ට විරුද්ධව ජාතික සටනට එන්නැයි උන්වහන්සේ පොදු ජනතාවට ආමන්ත‍්‍රණය කරන අතරම, එදවස පවා රට තුළ පැවති සමාජ පන්ති භේදයට විරුද්ධව කතා කළා. ඇත්ත වශයෙන්ම, මහින්ද හාමුදුරුවන් හිටියේ ප‍්‍රභූ ජන නායකයන්ගේ පැත්තේ නොව පොදු ජනතාවගේ පැත්තේ බව, ඉතාම පැහැදිලි කාරණයක්. එහෙම නොවේ නම්,

හත් වේලකින් එක බතුලක් නොදැක                බැහැ-

-විත් වැ`ද වැටෙන මිනිහා දෙස නොලා         ඇහැ

උත්සව පවත්වන ජඩයිනි, තොපේ       දැහැ

රත් යහුලකින් ඇද දැමුවත් දොසක්     නැහැ

 

ලොක්කන් යයි කියන මේ කාමුක     හැත්ත

දුක් මිස අපට සැප නොයොදන බව ඇත්ත

නැත්තට නැති වුණත් නොබලා ඒ               පැත්ත

එක් වමු අපි අපිම  කරනට කළ            යුත්ත

වැනි කවි, නිදහසේ දැහැනෙහි ඇතුළත් වන්නේ නැහැ.

අප දේශයේ නිදහස් අරගලය මෝරමින් තිබුණු අවදියක තමයි, මහින්ද හාමුදුරුවන්ගෙ කවිත්වයත් මෝරා  වැඩුණෙ. උන්වහන්සෙ ඒ ජාතික නිදහස් සටනට දායක වුණේ, ඉතා වේගවත් ලෙසද, ප‍්‍රබල හැ`ගීමෙන් යුතුවද, විචිත‍්‍ර ආකාරයෙන් නිර්මාණය කළ සුවිශේෂ ජාතිකාභිමාන කාව්‍යාවලියක් මගින්.  එසේ විකසිත වුණු කවිත්වයේ ඉතාම උත්කර්ෂවත් අවස්ථාවකදි උන්වහන්සෙ ප‍්‍රකාශ කෙළේ මෙහෙමයි.

සහන ලැබෙන තුරු ලංකා                             දීපයට

ගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින්              සිට

නහන රුපුන් නහමින් යමි              ඉදිරියට

මහණකමත් බණ දහමත් එයයි              මට

 

ඇස්. මහින්ද හාමුදුරුවන්ගේ නිර්මාණ භාවිතාව, අදටත් වලංගුයි. මේ යුගයේ කවි ලියන, කවි කියවන, කවියෙන් පණ ලබන හැමදෙනාමත්, උන්වහන්සේගෙ කවි ඉතා ළැදිව හැදෑරිය යුතුය කියා මා විශ්වාස කරනවා. ඒ, අපේ කවියේ ඉතිහාසය ඉගෙනගන්ට විතරක් නෙමෙයි. අදටත් එයින් ආභාසයක් – අනුප‍්‍රාණයක් – ලබන්ට.

අන්තිම වශයෙන් කියන්ට, තව කාරණයකුත් තියෙනවා.

අපේ රට පරදේශක්කාරයන්ට යටත්ව තිබුණු අවදියක මහින්ද හාමුදුරුවන් කවි ලියුවෙ, රටේ ජාතික සටනට පන්නරය දෙන්ට. ඒ වගේම, ඒ් ජාතික අරගලය පසෙක තබා දුගීදුප්පත් ජනතාව පෙළමින්, ඔවුන් සූරාකමින් සිටි අධිපති ධනපති පන්්තියට විරුද්ධව. උන්වහන්සෙ ඒ අරගලය කළේ, ගැමි දායකයින්ගෙන් යැපුණු දුප්පත් පන්සලක ලැගුම්ගෙන මිසක්, අසපු යයි කියන මහා මාළිගාවල ලැගුම්ගෙන නොවෙයි. වතුපිටිද මිල මුදල්ද මහජන සම්මාදම්ද උතුරා යන අධිපති විහාරයක සුඛවිහරණයෙහි ගැලී සිටගෙනත් නොවෙයි. ඒ වුණත්, උන්වහන්සෙ ජාතික නිදහස් සටන වෙනුවෙන් පෙරමුණෙහිම සිටි බැව්, මේ දවස්වල අප ඉතාම සීරුවෙන් අමතක කරන කාරණයක්.

මු`ථ මහත් රටත් ජාතියත්  මොහොතින් මොහොත කඩා වැටෙමින් පවතින අන්ධකාර යුගයක, බලවතුන්ගෙ අටපිරිකර පිළිඅරගෙන, ඒ වගත් මෙසේම – මේ වගත් එසේම – කියමින් අපේ නායක හාමුදුරුවරුන්ට ජාතික වගකීමකින් දුරස්ථව සිටිය හැකිද යන ප‍්‍රශ්නය, අවුරුදු හැත්තෑඑකකට පසුව ඇස්.මහින්ද හාමුදුරුවන් වර්තමානයට වඩම්මන මේ අවස්ථාවේදි, යෝනිසෝමනසිකාරයෙන් සිහිපත් කළ යුතු නොවෙයිද ? කිසිම හැ`ගීමකින් තොරව, අපේ නායක හාමුදුරුවරු අත තියා බාරගන්න ඒ අෂ්ටපරිශ්කාරය තුළ ඇති බලවත්ම ආයුධය ගැන උන්වහන්සේලා  දැන සිටින සේක්ද ?

බුදුන්වහන්සෙ  ඇනුදැන වදාළ ඒ බුද්ධ ආයුධය කිමැයි දැන සිටි මහ කවියෙක් අපට සමීපතම ඉන්දියාවෙහි ජීවත් වුණා. ඒ අන් කවරකුවත් නොව, මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර්. තාගෝර්තුමා එවකට ශාන්ති නිකේතනයේ ඉගෙනගනිමින් සිටි අපේ උඩකැන්දවල සිරිසරණංකර පොඩිහාමුදුරුවන්ට එකරුණ පැහැදිලි කළ ආකාරය, උන්වහන්සේගෙ සටනක සටහන් නමැති අසිරිමත් ජීවන චරිතාපදානයෙහි ස`දහන් වෙනවා.

සරණංකර හිමියන් ශාන්ති නිකේතනයෙහි ඉගෙනගන්නා කාලයේදි, උන්වහන්සේට අධ්‍යාපන කටයුතු සඳහා වියපැහැදම් නොමැති තත්වයක් උදා වුණා. ආධාර කිරීමටද, කිසිවෙක් හිටියෙ නැහැ.

දැන් අපි මොහොතකට උඩකැන්දවල සරණංකර හිමියන්ට සවන් දෙමු.

”කීප දිනකට පසු තාගෝර්තුමා හමු වීමට ගියෙමි. මේ කාලය වන විට මම වංග භාෂාව කතා කිරීමට මෙන්ම ලිවීමටද පුරුදුව සිටියෙමි. මගේ විස්තරය මම ඔහුට මුල පටන් කීවෙමි. පැයක් පමණ මගේ කතාවට සවන් දුන් තාගෝර්තුමා ”භික්ෂුවකට පාත්තරය තිබෙන තුරා බිය වීමට හේතුවක් නැතැයි”ද කියා, මුදල් ගැන කිසිවෙකු කරදරයක් කළහොත්, තමා හමු වන ලෙසට කියා, මට ආපසු විදුහලට ගොස් ඉගෙනීමේ යෙදෙන ලෙස අවවාද කෙළේය.”

සිය සව්වන් වෙනුවෙන් බුදුහිමියන් විසින් අනුදැන වදාළ අෂ්ඨ පරිෂ්කාරය හෙවත් අවශ්‍යම පිරිකර අට අතර ප‍්‍රධාන වන්නෙ, බත් පිඩක් ඉල්ලාගනු ස`දහා, ගිහි දනන් වෙත පාන පාත්තරය. ඒ පාත්තරය කොතරම් බලගතුද යන්න, මහ කවි රබීන්ද්‍රනාත් ඨකුරයෝ දැන සිටියා.

එහෙත් පාත්තරයේ හැබෑම ශක්තිය තම සව්වන්ට කියා දුන්නේ අපේ බුදුහාමුදුරුවන්මයි. සමාජය පෙළන, අදමිටුකම් කරන, පිළිවෙත් කිසිවක්ම නැති, හොරකමටත් මැරකමටත් උඩගෙඩි දෙන, වංචනික රාජ රාජ මහාමාත්‍යාදීන්ට ලොකුම ද`ඩුවම දිය හැක්කේද, තමන් සි`ගමන් ඉල්ලීම ස`දහා යොදාගන්නා පාත්තරයෙන්ම බැව්, බුදුහිමියන් අපූර්වාකාරයෙන් සිය සව්වන්ට අනුදැන වදාළා. එවිට පාත්තරයෙන් කරන්ට ඇත්තේ, ඉතාම සුළු කාරියක්. එහෙත් ඒ ස`දහා නායක හාමුදුරුවන් ඇතුළු මුළු මහත් ස`ග පරපුරටම අවශ්‍ය වන දෙයකුත් තිබෙනවා. ඒ අන් කිසිවක් නොව, කෂේරුකාව කෙළින් තබාගැනීමේ හැකියාව හෙවත් ආත්ම ශක්තිය. මේ පවිටන් තමන්වහන්සේලාට දන් බෙදන්ට එන විට, උන්වහන්සේලා විසින් කළ යුතුව ඇත්තේ, අර පාත්තර මුනින් හැරවීම විතරයිෟ

 

බුදුහිමියන් සිය සව්වන්ට අනුදැන වදාළ, ඒ දණ්ඩ යෂ්ටිය හැ`දින්වූයේ    ”පත්තනික්කුජ්ජන කම්ම” කියා.

ජාතියේ මුර දේවතාවනැයි කියන, අපගේ වර්තමාන ස`ග පරපුරෙන් අතිමහත් බහුතරය, නපුරු සිහින දකිමින් ගොර ඇද ඇද නිදා සිටින මෙසමයෙහි, ඔන්ඩුවට වගේ අපට සවන් දෙන්ට තියෙන්නේ, මීට වසර හැත්තෑඑකකට පෙර අපවත් වී වදාළ සිංහල කවි ලියූ, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හාමුදුරුවන්ට විතරයි.  සමුද්‍ර ප‍්‍රකාශන ආයතනයේ සමුද්‍රිකාද සිල්වාත්, පද්මසිරිද සිල්වාත් පෙරටු කොටගෙන, අද අපි ටිබෙට් ජාතික සිකිම් මහින්ද හාමුදුරුවන් වරතමානයට වඩම්මන්නේ, ඒ නිසයි.

අදත් අපට අහන්ට සිදු වී ඇත්තේ, උන්වහන්සෙගෙ නිදහසේ දැහැනෙහි මුලටම එන, මේ ප‍්‍රශ්නයම නෙමෙයිද?

මොන කරුමයද තව ඇහැරුණු බවක්                      නැහැ

පැන පැන බියව මුලූ වැදුමෙන් පලක්                      නැහැ

දිනුම පැරදුමත් කෝකත් කමක්                             නැහැ

එනු ඉදිරියට නැතහොත් නිදහසක්                   නැහැ

 

–           ආචාර්ය ඩබ්ලියු.ඒ.අබේසිංහ

 

(ඇස්.මහින්ද හිමි 71 වැනි ගුණ සමරු උළල – මුඛ්‍ය දේශනය

2022-03-16 වැනි දින, ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛන සේවා මණ්ඩලය*

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.