‘මොනාද ආච්චි ඒ පාවෙන ලයිට්?’
‘පාවෙන ලයිට්?’
‘ඔව් ආච්චි ලයිට් දෙකක් පාවෙනවා.’
තම පුංචි මුණුපුරා පාවෙන ලයිට් යැයි අදහස් කළේ කළුවර අස්සෙන් ඉගිලෙන කණාමැදිරියන්ට විය යුතු යැයි දෑස් නොපෙනෙන රත්නාවතීට සිතුණෙන්, ‘කණාමැදිරියො වෙන්නැති පුතේ. දෙන්නයිද ඉන්නෙ. ඉස්සර නම් ඇඳිරි වැටෙද්දි කණාමැදිරියො පියාඹන්නෙ රෑන් රෑන්’යැයි පැවසුවේ ඔහුගේ සිඟිති හිස සිඹිමින්.
‘දැන් කණාමැදිරියෝ වඳ වේගෙන යනවලු අම්මේ, මම දැක්කා ෆේස්බුක් එකේ තියෙනවා. මිනිස්සුන්ගෙ වැඩ හින්දා සතෙක්ටවත් ඉන්න නැති හැටි. කෝ පුතේ කණාමැදිරියෝ . මාත් දැකල නෑ කාලෙකින්. නැත්නම් පුතාට කලින් පෙන්නන් නැතුව ඉන් නෑනෙ මගෙ පුතේ.’ කතාවට හවුල් වෙච්ච ලේලිය කියපු දෙයින් රත්නාවතීගෙ හිතට දැණුනෙ සංවේගයක්.
පෙර දිනක, තම සැමියා වැඩ මුරය අවසන් කර ගෙදර එන තෙක් තම සිඟිති පුතුට කණාමැදිරි එළි පෙන්වමින් රාත්‍රී කෑම කැවූ හැටි සිහිපත් වෙන විට නොදැනීම ඇස් අග තෙත් වී ඇති බව හැඟුණෙන් ඇය පිටි අත්ලෙන් දෑස් පිස දැමුවා.
‘ඇයි ආච්චි අඬන්නෙ? ඉස්සර තරම් ලයිට් නැති හින්දද. කලා මදුරුවනේ වරෙල්ලා ආච්චිට පේන්න.’
‘කලා මදුරුවෝ නෙමේ පුතේ කණාමැදිරියෝ,’ යැයි තම ඇකයේ සිටිනා සුරතල් මුණුපුරාගේ වත සිපගනිමින් රත්නාවතී පැවසුවේ කඳුළු අතරින් හිනා වෙමින්.
‘දැන් ඉතිං කණාමැදිරියෝ නෙමේ, ෆ්ලෑශ් ලයිට් ගැහුවත් ආච්චිට පේන්නෑනෙ පුතේ. ඔන්න අම්මෙ බාල බෙහෙත් ගෙන්නපු අයට නම් වැඩ වරදින්නයි යන්නෙ. වැඩි දවසක් නොයාම උසාවියෙන් දඬුවම් හම්බෙයි කියල තමයි මෙයාලගෙ තාත්තා නම් කිව්වෙ. අර පැමිණිලි කරන්න කියල කිව්ව වෙලේ අපිටත් ගිහින් පැමිණිල්ලක් දාලා සාක්කි දෙන්න තිබ්බා. ඒත් අම්මා කැමති උන් නෑනේ. මෙයාලගෙ තාත්තා නම් තවම ඉන්නෙ ඒකට හිත් නොහොඳින්. ඇත්තනෙ අම්මේ, අපිටත් ඕකට සම්බන්ධ වෙලා ඔය මිනිස්සුන්ට විරුද්ධව සාක්කි දෙන්න තිබ්බෙ. අම්මලගෙ නම් ඇස් පේන් නැතුව ගිහින් හරි බේරුණා, එතකොට බාල බෙහෙත් බීලා මැරිලා ගිය මිනිස්සු කොච්චර නම් පව්ද? මුන්ට දෙන්න ඕන රජකාලෙ දඬුවම්.’
‘මොනාද ආච්චි රජ කාලෙ දඬුවම් කියන්නෙ. ඒවා දුන්නොත් කලා මදුරුවො තව එයිද? එතකොට ආච්චි අඬන් නෑ නේද?’ පුංචි මුණුපුරාගෙ තොර තෝංචියක් නැති ප්‍රශ්න මැද්දෙ, ‘මොකද පුතාගෙ තාත්තා අද තාම නැත්තෙ?’යැයි රත්නාවතී ඇසුවේ, ලේලියගේ හිත ද වෙනතක යොමු කිරීමේ බලාපොරොත්තුවෙන්.
‘අන්න එනවා පුතාගෙ තාත්තා,’ යැයි ඇය එකෙණෙහිම පැවසුවේ, ඈතින් එන තම පුතාගෙ මෝටර් රථයේ හඬ හඳුනාගත් නිසාවෙනි.
මිදුලේ නතර කළ මෝටර් රථය දෙසට තම ඇකයේ සිටි සිඟිති මුණුපුරා ‘තාත්තා, තාත්තා’ යයි කියමින් දිව යන හඬත් ඉන් පසුව ‘ඇයි අද පරක්කු’ යැයි ලේලියගේ අවස්ථානුකූල ප්‍රශ්නයත්, ‘කෝච්ව්ය එද්දි රේල් ගේට්ටුව වහල නැති හින්දා ත්‍රීවීල් එකක් ගිහිල්ලා කෝච්චියෙ හැප්පිලා, ඒක හින්ද මාර ට්‍රැෆික්, පව් පොඩි එකෙකුත් හිටියලු ත්‍රීවීල් එකේ’ යැයි තම පුතා පිළිතුරු දෙන හඬත් සංතෝෂය සහ සංවේගය මුසු වූ හැඟීමෙන් රත්නාවතී අසා සිටියේ මින් වසර ගණනාවකට පෙරද එවැනිම වූ අනතුරක් නිසාවෙන් තම සැමියාද නිවසට පැමිණීමට ප්‍රමාද වූවා නේදැයි සිහිපත් කරමින්.
හෙට උදයේ පායන අලුත් ඉරේ අරුණෝදය තමන්ට දැකීම අහිමි කළ මිනිසුන් පිළිබඳව අබමල් රොනක තරම්වත් ක්‍රෝධයක් වෛරයක් නොමැති රත්නාවතී, ඒ ඉරෙන් තම මුණුපුරා අයත්වන පරම්පරාවට හෝ එළිය ලැබේවායි පතමින්, ගෙතුලට යාමට තම පුතුගේ අත් වාරුව ඇතුව, හිඳගෙන සිටි දොර පඩියෙන් නැගිට්ටා.
මලිත් චතුරංග සමරසිංහ – ඕක්ලන්ඩ්







