එකලද සර්වෝදය විසින් ලංකාවේ ජාතික මට්ටමේ ප්‍රජා ව්‍යාපෘතීන් කරගෙන යනු ලැබීය. මෙහිදී ගමන් පහසු කම් හා ජනතා සම්බන්ධීකරණයට සහාය මෙන්ම ව්‍යාපෘතියට අවශ්‍ය අමු ද්‍රව්‍යසැයීමද සර්වෝදයෙන්ම සැලසුනි.
මෙහි විස්තර කෙරෙන ප්‍රජා ව්‍යාපෘතියට අදාළ ගම පිහිටියේ කැබිලිතිගොල්ලෑවටත් ඈත කැළෑවට යාබද ප්‍රදේශයකය. වාහනයකට ගමන නිම කර සැතපුම් පහක් පමණ දුරක් පාගමනින් යාමට සිදුවිය. ගමේ ජීවත් වූ ජනතාව හේන්වලින් ලැබෙන අල බතල වැනි දෙයකින් ජීවත් වූහ. කැළෑව ඔවුනට නිජ බිම විය. දඩයම් කිරීමට හා ඔවුන්ගේ හෙද-වෙද කම වැනි සෑම කටයුත්තකටම කැළෑ ගෙඩි සොයා ගැනීමට වන රොද අත්‍යවශ්‍ය සම්පතක් වීය. දරුවන්, තරුණ හා වැඩිහිටි සැමගේ වැසිකිළි පහසුකම් වුයේ ද කැලයේ කුඩා ඇළ මාර්ගයක් අවට ගස් මුල් මතය.
එබැවින් මෙම ප්‍රදේශයේ ජනතාවගේ පාරම්පරික ගත පැවතුම් සිරිත් විරිත් දියුණු සමාජයට යා වූයේ නැත. මෙවැනි සමාජයක ප්‍රජා සංවර්ධන කටයුතු වෙනුවෙන් ජනතාවගේ සිතුම් පැතුම්වල වෙනසක් ඇති කිරීම ලෙහෙසි පහසු නැත. ගැමි ජීවිතවල සෞඛ්‍ය හා චාරිත්‍ර පිළිබඳව කරුණු කරණා පිළිබඳව දේශනා සාකච්ඡා සිදු කිරීමට මෙම තරුණ හිමි නම ඇතුළු කණ්ඩායමට මාස කීපයක් මෙම ගම්වල සැරි සැරීමට සිදුවිය.
සර්වෝදය කණ්ඩායමේ මුල්ම ව්‍යාපෘතිය වුයේ ගම් වැසියන්ට වැසිකිලි පහසුකම් සපයා දීමය. එම කාර්යයේ හොඳ නරක පින්තූර හා දේශන මගින් පැහැදිලි කිරීමෙන් පසු ජනතාව අකමැත්නේ වුවද තම නිවසට වැසිකිළියක් සාදා ගැනීමට කැමැති වූවෝය. ඒ අනුව අවශ්‍ය සිමෙන්ති යකඩ ගඩොල් ගල් සැපයුන අතර නිවැසියෝ තම වැසිකිළි ඉදි කිරීම් කටයුතු අවසන් කළෝය. ඊට අමතරව ගමේ පාරවල් ප්‍රජා සමිති මගින් වැඩිදියුණු කළෝය. පෙර පාසැල්, සෞඛ්‍ය සායන මුලික පහසුකම් ආරම්භ කර තිබුණි. ව්‍යාපෘතීන් අවසන් කරන දින මෙම ගම් වැසියන් ඊට සර්වෝදය වෙනුවෙන් සහභාගි වූ තරුණ හිමිනම ඇතුළු කණ්ඩායමට සමුදුන්නේ තම ප්‍රජාව බැලීමට නැවත එන ලෙස හැඬු කඳුලින් ඉල්ලමිනි.
මාස හත අටකට පසු දිනක එම තරුණ හිමි නම එම ගම්වැසියන් හමුවීමට ගියේ පසුවිපරම් කිරීමට තිබූ අශාව නිසාය. ගමට යන විට එම වැසියන් ඉතා ගෞරවයෙන් පිළිගත්ත ද සිරා හා දාවිතා හාමුදුරුවන් පිළිගැනීමට පැමිණ නැත. වෙනදා ප්‍රජා කටයුතුවල පෙරමුණ ගත් මෙම පවුල් දෙක හාමුදුරුවන් මගහැරීම පුදුමයට කරුණක් වීය.
‘මොකද අද සිරාලා දාවිතාල ඇත්තො නැත්තෙ, අසනීපයක් වත්ද?’ හාමුදුරුවෝ පැමිණ සිටි අයගෙන් විමසූහ. සියල්ලන්ම එකිනෙකා මුහුණ බලමින් කුටු කුටු ගෑවත් පිළිතුරක් නැත.
‘ඇයි බණ්ඩයියා ඒ ගොල්ලන්ට මොකක්වත් කරදරයක් ද?’ හාමුදුරුවෝ බණ්ඩාගෙන් ඇසූහ.
‘නෑ නෑ හාමුදුරුවෝ එහෙම එකක් නෙවෙයි, වඩින්නකො පෙන්නන්න වෙච්ච සංගෙදිය.’ කීබණ්ඩා සමග කවුරුත් සිරාගේ ගෙදර දිසාවට ගියෝය.
‘ඕන් බලන්න හාමුදුරුවනේ වෙච්ච දේ. මේ ලජ්ජාවට තමයි මේ දෙන්නම හාමුදුරුවන්ගෙන් වහංචි වුණේ.’ බණ්ඩා අත දිගු කර පෙන්වූයේ සිරාගේ දාවිත්ගේ වැසිකිළි වහලවල් දෙසටය. වැසිකිළි වහලට දමා තිබූ කොන් ක්‍රීට් තහඩු දැඩි වෙහෙසක් දමා කඩා බිඳ දමා තිබිණි.
‘අනේ අප්පොච්චියේ කවුද මේ අපරාධය කළේ මේ අහිංසකයින්ට.’ තරුණ හාමුදුරුවෝ විමසූහ.
‘මෙන්න අල්ලං ආවා දාවිත්ව.’ හැඩි දැඩි සිරිසෝම හාමුදුරුවන් ඉදිරිපිටට දාවිත්ව ඇද ගෙන ආවේ ය.
‘ඉතිං ඉතිං දාවිත් උන්නැහැ කියන්නකො මේ අපරාධය කරපු එක්කෙනා ගැන හෝඩුවාවක්වත් තියෙනවද කියලා.’ හාමුදුරුවන් වහන්සේ ඇසූහ.
‘අනේ හාමුදුරුවෝ සමාවෙන්න ඕන, ඕක කැඩුවේ මමමයි. පළවෙනි දවස්වල හාමුදුරුවන් දේසනා කළා වගෙ වැසිකිළි යන්න මේක ඇතුළට ගියාම හිර ගෙයක් වගේ. අපි පරම්පරාවෙන් පරම්පරාවට අහස ගස්වැල් දිහා බලාගෙන කරපු වැඩේ මේක ඇතුළේ ඉඳන් වෙන්නෙ නෑ. අපෙ හාමුදුරුවනේ. පස්සෙ බැරිම තැන වහලේ කොන්ක්‍රීට් එක කැඩුවයින් පස්සෙ තමයි පරණ පුරුද්දට අහස ගහ කොළ දිහා බලාගෙන වැඩේ කෙරුනෙ.’ දාවිත් බිම බලාගෙනම එකදිගටම කියෙව්වේය.
‘ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ ඒක නෙව දාවිත් උන්නැහැ. එතකොට ඇයි සිරා ඇත්තො?’
ඊට බණ්ඩා උත්තර දුන්නේය. ‘එයාටත් ඒ ලෙඩේම තමයි හාමුදුරුවනේ.’
හාමුදුරුවන්ට මිනිසුන්ගේ ගති පැවැතුම් වෙනස් කිරීම හිතන තරම් ලෙහෙසි නොවන බවත් ඒ සඳහා සිත් සතන්වලට පවා දිගු කාලීන පුහුණුව වගේම බණ භාවනා වැදගත් බව සැමට පහදා දුන් සේක. තරුණ සමාජ සේවාවලට ඇප කැපවූ මෙම හිමිනමට තරුණ වියේදීම හතර කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියට පත් වූහ. ඒ වර්තමානයේ නවසීලන්තයේ ප්‍රධන සංඝ නායක තනතුර හොබවන වල්ගම මුනීන්ද්‍රවංශ නායක හිමිපානන් වහන්සේය.
-විභවි