(දෙවන කොටස)
මෙතෙක් කතාව
මේනක නොහොත් බ්‍රයන් , ජැකා සහ කස්සා කොළඹ, නාරාහේන්පිට හැටේවත්තේ පදිංචි කොලුගැටයන් තුන්දෙනෙකි. ගෙන්දගම් පොළොවේ පය ගසා, විවිධ දුක් ගැහැට විඳිමින් ජීවත්වන ඔවුන්ගේ කතාවයි මේ…
***
ඊළඟ දවසේ කොල්ලෝ තුන්දෙනා ගියේ පච්ච කොටන තැනකටය. පච්චයා පොඩිවුන්ට පච්ච කොටන්න අකමැති වුවත් සල්ලි දැක්ක ගමන් කැමති විය.
‘දැන් තොපිට මොනවද ගහගන්න ඕනේ?’ තුන්දෙනාම තම තමාගේ අන්වර්ථ නම් බාහුවේ උඩට වෙන්න කොටා ගත්තේ වර්ණ යෙදූ සිතුවමක් ද සමඟය. සිත්තම තුන්දෙනාටම පොදු විය. එය උකුසු මුහුණකි. එය ඔවුන්ගේ තේරීමය.
‘මචං අපි තුන්දෙනා හොඳම යාලුවෝ, කවදාවත් වෙන් වෙන්න බෑ හරි ද ? අපි උකුස්සො වගේ වේගයෙන් ගිහිල්ලා ගොදුර ඩැහැ ගන්නවා. මතකනෙ ටීචර් කිව්ව උකුස්සා ගැන?’ බ්‍රයන් ඇසීය. සියලුදෙනා කැමති වුවෝය.
‘ඒ කියන්නේ අපි තුන්දෙනා ගැන්සියක් ?’ කස්සා ඇහුවේ ප්‍රබෝධමත් දෑසිනි.
‘ඔව් ! හැබැයි අපි ගාව රහස් නෑ, රණ්ඩු බෑ. තව අය ගැන්සියට අපි ගන්නේ අපිට ෆිට් වෙන එවුන් විතරයි හරිද ?’
බ්‍රයන් ගැන්සියේ නායකයා වූයේ නිතරගයෙනි.
‘නියමා යි… මචං. අපි උකුස්සෝ..’ ‘මචං සහන් හොඳ එකා. අපි ඌවත් ගමු’ ජැකා කීය.
‘කවුද ටොම්බ ද? අපෝ ඌ ගූ බයයි නෙ’ කස්සා විරුද්ධ විය.
‘නෑ බං ඌ බය නෑ . ඌ ඔළුව පාත් කරගෙන හිටියට මාර එකා’ ජැකා කීය. විනාඩි පහක වාද විවාද මැද ටොම්බාව ද ගැන්සියට ගන්න කැමති විය. ඒ ඌට අභියෝගයක් දී එය සමත් වුණොත් පමණය. අභියෝගය නම් ඔවුන් සියලුදෙනා අකමැති ගුරුවරයෙකුට හැංගී ඉඳ ඔහුගේ අන්වර්ථ නම කියා කෑ ගැසීමය. සිසුන් අතර එම කර්කශ ගුරුවරයා ප්‍රසිද්ධ ‘හැල ගෙම්බා’ කියා ය. ඔහුගේ ඇත්ත නම කිසිවෙක් නොදනිති. ටොම්බා කෙහෙල් පඳුරකට මුවා වී කොරිඩෝවේ යන ගුරුවරයාට කෑ ගැසුවේය. විවේක කාලය නොවන නිසා හඬ හතර අත පැතිරුනි. හිටිවනම නැවතුන ගෙම්බා සද්දය ආ දෙසට දිව්වේත් ටොම්බා පැන දිව්වේත් එකම වෙලාවකදීය. පැය බාගයක් යන්නට පෙර ගෙම්බා ටොම්බාව ඇදගෙන විදුහල්පති ළඟය. අත් දෙකට ලැබුන වේවැල් පහරවල් දහය ටොම්බ කාගෙන සිටියේ කඳුළක් සලන්නේ නැතිවය.
පසුදින පච්ච කෙටූ ටොම්බා උකුස්සෙක් විය.
හොරකම තහනම් වූ ගැන්සිය, තම ඕනා එපාකම්වලට මුදල් හොයා ගත්තේ ඔට්ටුවට ගුටි බැට ගහගෙනය. ඔවුන්ට මුදල් අවශ්‍යතා සෑහෙන තිබුණි. කැන්ටිමෙන් තෝසේ කන්න, අයිස් පැකට් බොන්න, රස කෑම ජාති කන්න, බැට් බෝල ගන්න, වීඩියෝ ගේම් ගහන්න යනා දී වශයෙන් සීයක් දේවල් කරන්නට ඔවුන්ට මුදල් අවශ්‍යය. වෙනද වගේ තාත්තලාගේ සාක්කුවලින් සල්ලි හොරා ගන්න එක ඔවුන් නතර කළේ බ්‍රයන්ගේ බල කිරීමටය. වයසින් වැඩෙත්ම අවශ්‍යතා ලැයිස්තුවට සිගරට් බීමත් එකතු විය. කෙල්ලන්ට තෑගි අරන් දීමත් එකතු විය. සිගරට් බී අහු වී ගෙවල්වලින් ගුටි කෑවත් ඔවුන් ඒවට පුරුදු වුණේ තාත්තලා , අයියලා, මාමලා මහා ආස්වාදයක් ලබමින් දුම් බොන අයුරු බලා සිටීමෙනි. වැඩිහිටියන්මෙන් දුම් බෝල හදන්නට ඔවුන් හපනුන් විය. වයස දහසය වෙද්දී වත්තේ බොහෝ එවුන් සිගරට් පමණක් නොව ගංජා ද බොන බව නොරහසකි. ඔවුන් අතරින් මුලින්ම කෙල්ලක් සමඟ යාලු වුණේ ජැකා ය. ජැකාට දහසය ය. කෙල්ලට දහතුනකි.
‘මචං අපි කුඩු බොන්න බැහැ හරිද ? අම්මා ඇඬුවා අයියා කුඩු බීලා අහුවෙලා. අම්මා මගෙන් පොරොන්දු කරවා ගත්තා මං කුඩු බොන්නෙ නෑ කියලා කවදාවත්’ බ්‍රයන් එසේ කියද්දී , ගැන්සියම එයට එකඟ වී ගිවිස ගත්හ.
තමන් තරහ එකෙකුට ගුටි දීමට අවශ්‍ය නම් කොල්ලෝ දැන් එන්නේ බ්‍රයන්ලා ළඟටය. පොඩිවුන් ළඟටත් තරහ මරහ එමටය. මෙතෙක් ගැන්සිය අය කළ ලොකුම ගාස්තුව වූයේ රුපියල් පන්සියයකි. ඒ අවුරුදු දාහතක කොල්ලෙක්ට තඩි බාන්නය. මෙය ප්‍රචලිත වීමෙන් ඔවුන්ට ගුරුවරුන්ගෙන් දැඩි දඬුවම් ලැබුනි. නමුත් එයින් හොඳක් විය. එනම් වැඩි වැඩියෙන් කොන්ත්‍රාත් වැඩ ලැබීමය. වුණ නරක නම් ලොකු කොල්ලන්ගෙන් හිටි හැටියේ ගුටි කන්න සිදු වීමය. ඒ නිසා කොහේ යතත් හතරදෙනාම එකට යන්නට තීරණය කළහ. සතියකට දිනක් බ්‍රයන්ලා ගෙදර එන්නේ ෂර්ට් ඉරා ගෙන, අත පය තුවාල කරගෙනය. මෙය ඇසී දිනක් බ්‍රයන්ට අයියා ගෙන් ගුටි කන්නට සිදුවිය. කරදඬු උස් වී ඇති බ්‍රයන් දැන් ගුටි කන්න කැමති නැත. බ්‍රයන්ගේ තර්ජනය හමුවේ ඔහු බය විය.
බ්‍රයන් ආසාවෙන් ඉගෙන ගන්නේ ඉංග්‍රීසිත් ගණිතයත් පමණි. අන් විෂයන් ඔහුට එතරම් ප්‍රිය නොවීය. කස්සා ඉගෙන ගන්න යම් දක්ෂ කමක් පෑවත් අනිත් දෙන්නා යන්නං වාලේ ඉස්කෝලේ යති. ඔවුන්ට තම දෙමව්පියන්ගෙන් ද ඊට නිසි අනුබලයක් නොලැබේ. නිතර නිතර රණ්ඩු සරුවල් නිසාත් ගුරුවරුන්ගෙන් ලැබෙන දඬුවම් හේතුවෙනුත් ගැන්සිය හංවඩු ගැසුනේ යම් වීරත්වයකිනි. ගුරුවරුන්ට නම් ඔවුන් එපා කරපු රැළක් විය. ඔවුන් ගණන්කාරයෝ වූයේ යොවුන් වියට පා තබන විටමය. බ්‍රයන් පාසලේම චණ්ඩියා ලෙස පිළිගැනීමක් විය. ඔහුගේ උස ද එයට බලපෑවේය. රණ්ඩු සරුවල් උත්සන්න වෙද්දී උකුසු ගැන්සිය ද විවිධ ක්‍රමෝපායන්ගෙන් සන්නද්ධ විය. හතරදෙනාම සාමන්‍ය පෙළ අසමත් වුණේ බලාපොරොත්තු වූ ලෙසමය.
‘අපරාදේ මේනකට විභාගෙ පාස් වෙන්න තිබ්බා ඔය පිස්සු වැඩ නැවැත්තුව නම්. ගණන්වලට A එකක් වුණත් ගන්න තිබ්බා’ ගණිතය සහ ඉංග්‍රීසි ඇතුලු විෂයන් පහක් පමණක් සමත් වූ මේනකට එසේ කීවේ ඔහුගේ ගණිත ගුරුවරියයි. ගණිතයට C සාමාර්ථයකි. ඇය ඉතා උවමනා වෙන් මේනක ඇතුලු ළමයින්ට ඉගැන්නුවාය. මේනකට දුක සිතුනි. දුප්පත් අම්මා වේදනාවෙන් පලු යන්න බැන්නේ සියලුදෙනා ඉදිරියේය. වේල් දෙකක්වත් දරුවන්ට කන්න දෙන්න ඇය අපමණ දුක් වින්දා ය. වත්තේ බොහෝදෙනාගේ කතන්දරය එසේය. නමුත් දැන් පමා වුණා වැඩිය. වරද කාගේ ද කියා පෙනෙතත් දෛවය දරුවන්ට අකාරුණික වී ඇත.
මතු සම්බන්ධයි..
භාතිය පන්තක සිරිවර්ධන, ශ්‍රී ලංකාව