fbpx
8.2 C
New Zealand
Monday, September 14, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

පමෝදලාගෙ තාත්තා | කේ. ඒ. බී. කරුණාරත්න | හැමිල්ටන්

Must read

පමෝදලාගෙ තාත්තා
‘දූලා පුතාලා… නැගි-ටින්..න.’
‘වාඩිවෙන්…න.’
‘නැගිටින්…න’
‘වාඩි-වෙන්….න’
‘නැගි-ටින්න’
‘ආයුබෝ…ව…න්.’
‘ආ-යු-බෝ-ව-න්.’

දැන් ආන්න බලන්න කවුද අර පිනි ජම්බුගහ යට ඉන්නෙ.’

සියල්ලෝම ඒ දෙස බැලූහ. පසුපෙළ සිටි නයනකාන්තිලා, තිලකලා පය උස්කර  හිස කෙලින් කර ගත්හ. සමන්තෙ අත වැනුවේය. නිලන්තිකා පමෝදා දෙස බැලුවාය. පමෝදා නිලන්තිකා දෙස බැලුවාය.

‘ක…වු…ද…?

‘තාත්තලා.’

‘කවුද දුවේ පුතේ…?’

‘අපේ තාත්තලා…’

ටීචර් වේවැලෙන් සෙම්සයට තට්ටු කළාය.  ‘පුතාලා දූලා නිශ්ශබ්ද වෙන්න. නිශ්ශබ්ද වෙන්න. අද තාත්තලා ආවේ ඇයි මොකද දන්නවද?’

‘නෑ.’

‘ඔ.ව්’.

‘අද  තාත්තලාගේ ශ්‍රමදානයක්. මොකක්ද…?’

‘තාත්තලාගේ ශ්‍රමදානයක්.’

නිශ්ශබ්ද වෙන්න. මං කියන දේ අහගෙන ඉන්න.’ ටීචර් නැවත මේසයට තට්ටු කළාය. ‘දූලා පුතාලා සෙල්ලං කරන පිට්ටනිය තාත්තලා අද සුද්ද කරනවා. මොකක්ද කරන්නෙ?’

‘සුද්ද කරනවා.’

‘පිට්ටනිය…’

‘ආං හරි. මම කිව්වට පස්සෙ ඉස්සලේලම කට්ටියම ගිහින් තම තමන්ගෙ තාත්ත ගාව හිටගන්න ඕනැ. හොදද?’

‘හොදයි ටීචර්.’

‘අපි  ඔක්කෝගෙම ෆොටෝ එකක් ගන්නවා. ඒක රාමු කරලා ඔෆිස් එකේ එල්ලලා තියනවා. මොකක්ද කරන්නෙ…?’

ෆෝටෝ එකක් ගන්නවා.’

‘එල්ලලා තියනවා.’

‘දැන් යන්න ඉස්සෙල්ල බලන්න තම තමන්ගෙ තාත්තා ඉන්න තැන.’

‘හරි  ටී-ච-ර්.’

තිලකා උඩ පැන අත වැනුවාය. සමන්ත ඇගිල්ල දිගු කෙරුවේය. නයනකාන්ති උඩපැන්නාය. ‘අපේ තාත්තා ගොඩාක් ඈ‍‍‍…ත.’ ඇය කීවාය.

‘හොදයි…දැන්  මං කිව්වට පස්සෙ පරීස්සමින් එක්කෙනා පස්සෙ එක්කෙනා යන්න. දුවන්න එපා.’

සමන්ත, වික්‍රම, මාලා ටික ටික සිමෙන්ති පොළවේ පය අද්ද අද්දා පිටතට ගොස් තාත්තලා ගාවට දුවගෙන ගියෝය.

පමෝදා දෑගිලි කටේ දාගෙන නිලන්තිකා දෙස බැලුවාය.

‘කමක් නෑ.’ නිලන්තිකා කීෟවාය. ‘අපි ටීචර්ට කියමු.’

‘හා.’ පමෝදා ඇගිලි විකාගෙන හිස සැලුවාය.

නිලන්තිකා පමෝදාගේ අත අල්ලා ගත්තාය. ‘අපේ තාත්ත අර ගහට වැහිල ඉන්නවා. ‘ ඇය අත දිගු කර පෙන්නුවාය. ‘ඔයත් මාත් එක්ක එන්න.’

පමෝදා වට පිට බැලුවාය.  ටීචර් දෙදෙනා සමීපයට ආවාය. ‘ඇයි දුව?’ ඇය පහත් වී පමොදාගේ හිස අත ගෑවාය.

‘ටීචිර්’ අතක් උස්සාගත් නිලන්තිකා  බාධා කළාය. ‘පමෝදත් අපේ තාත්ත ගාවට යන්නද?’

‘ආන්න ෂෝක් දුව.’ ටීචර් නිලන්තිකාගේ හිස පිරිමැද පමෝදාගේ අත ගත්තාය. ‘අපි යමු.’ නිලන්තිකාගේ තාත්තා සමීපයට ගිය ටීචර් ඔහු හා මොන මොනවා හෝ කතා කළාය.

‘හරි ෂෝක්. එන්න දුව.’ ටීචර් කිවූ දේ අසා සිටි පමෝදාගේ තාත්තා එක පැත්තකින් පමෝදාත් අනෙක් පැත්තෙන් නිලන්තිකාත් තබා ගත්තේය. වරෙක දෙදෙනාගේම හිස් අත ගෑවේය. දෙදෙනා සමගම සිනාසුනේය. ඉස්සරහ බලා ගත්තේය. පමෝදා නිලන්තිකාගේ තාත්තාගේ ඉණ, උරහිස, කන්, හිස දක්වා ඇස් යොමු කළාය. හතරෙ පංතියේ සර් එහේට මෙහේට යමින් ෆෝටෝ ගත්තේය. පසුව තාත්තලා  සියල්ලම සිනා වෙවී සෙල්ලම් පිටිය දෙසට ගියෝය.

‘අනිත් දවසෙත් හාද?’ නිලන්තිකා ඇසුවාය.

‘හා.’ දෙදෙනම අත් අල්ලා සුමනලතාලා පස්සෙන් පංතියට ඇදුණෝය.

***

සවස වෑන් එක නවත්වනවාත් සමගම ආ අම්මා පමෝදා  බස්සවා, වඩා ගෙන හිස සිඹිමින් අත අල්ලා ගත්තාය. සිරිත් පරිදි වයිටා පැමිණ වලිගය වනා පා සිඹ පමෝදා පිළිගත්තේය. ලේනා හයියෙන් කෑ ගැසුවේය. දෙමලිච්චන් රංචුව ඉගිල ගියෝය. වේල්ල ගාව ගිනිසීරියා ගහේ ලගින ඇටි කුකුළා ‘කුක්කුරූවං …කුක්කුරූවං…’ ගෑවේය.

‘අම්මේ,’ පමෝදා කතා කළාය. ‘අපි තාත්තලා එක්ක ෆෝටෝ ගත්තා.’

‘තාත්තලා එක්ක?’අම්මා දෑස් ලොකු කර ගත්තාය.

‘මායි, නිලන්තිකයි, තාත්තයි.’

‘ෂෝක් නෙව. ඉතිං?’

‘ඒ් තාත්තා මගේ ඔළුව අතගෑව. රස්නෙයි. සනී-ප-යි.’

‘වෙන?’

‘අත්-ත්- ලොකූ-යි.’

‘ඔව්. වෙන.?’

‘උසයි. උසා-යි. තාත්තලා ඔක්කෝම උසයි. ඇය මිදුල අද්දර තිබූ රතු පොල් ගසේ මුදුන දෙස බැලුවාය.

‘කොච්චර…’

‘අහා…ස  තරං.’

‘ඔව් රත්තරනෙ,’අම්මා පමෝදා වඩාගෙන ඇගේ ගෙල සිම්බාය..

‘තාත්තලා ඔක්කෝම  උසා-යි. අහස ත.රං.’

(කියවූ කෙටි කතාවක් ඇසුරෙන්.)

කේ. ඒ. බී. කරුණාරත්න – හැමිල්ටන්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.